ඉකුත් 13 වැනිදා පස්වරුවේ තලංගම පොලිස් වසමේ, අකුරේගොඩ-පොතුඅරාව මාර්ගයේ සුපිරි වෙළෙඳසලක් ඉදිරිපිටදී නීතිඥ බුද්ධික ගයාන් මල්ලවාරච්චි (44) සහ ඔහුගේ බිරිය වන වෙල්ලාලආරච්චිගේ නිසංසලා (42) සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් දෙදෙනකුගේ වෙඩි ප්‍රහාරයෙන් ඝාතනය වූයේ ඔවුන්ගේ BCM 6640 දරන නවීන මෝටර් රථය තුළදීය.
නීතිඥ බුද්ධික එදින කඩුවෙල අධිකරණයේ පැවති නඩු කටයුතු අවසන් කොට බිරිය සේවය කළ බත්තරමුල්ලේ මහාමාර්ග අමාත්‍යාංශයෙන් ඇයද රියට නංවාගෙන සුපිරි වෙළෙඳසලින් අවැසි බඩුබාහිරාදිය රැගෙන අතුරුගිරිය, පෝරේ ප්‍රදේශයේ පිහිටි සිය නිවෙසට යන අතරතුර මෙලෙස අපරාධකාරයන්ගේ ගොදුරක් බවට පත්ව තිබිණි. සුපිරි වෙළෙඳසලේ සිට බුද්ධික සහ නිසංසලා ගමන්ගත් කාරය හරස් කොට වෙඩික්කරුවන් පැමිණි සුදු පැහැති නිශාන් සනී වර්ගයේ කාරය නතර කර ඉන් බැසගත් ටී56 සහ පිස්තෝලයක් අතැති ඝාතකයන් දෙදෙනා බුද්ධිකට සහ නිසංසලාට වෙඩි තබා පලා යන ආකාරය අසල සීසීටීවී කැමරාවක මනා සේ සටහන් වී තිබිණි.
ඝාතනය සිදු වී විනාඩි 10ක් වැනි කාලයකදී පැමිණි පොලිස් නිලධාරීන් මූලික විමර්ශන සිදු කරද්දී පොලීසිය මාධ්‍ය මඟින් නිවේදනය කළේ ඝාතකයන් පැමිණි කාරය ගිය පොතුඅරාව මාර්ගයේ ගමන්ගත් රථවාහනවල කැමරාවල එම රථයේ දසුන් සටහන් වී තිබේ නම් පොලීසියට සපයන ලෙසයි. ඊට ප්‍රතිචාර ලෙස බොහෝ දෙනකු එම කාරය ඝාතනයෙන් පසු පලා යන ආකාරය සටහන් වූ වීඩියෝ දර්ශන පොලීසියට සපයා තිබිණි.
ඒ අනුව ඝාතකයන් පලා ගිය කාරය පොතුඅරාව, අතුරුගිරිය, කොට්ටාව ඔස්සේ මාකුඹුර ඇතුළු ප්‍රදේශවල සැරිසරා ඇති බව හෙළි විය. අතුරුගිරිය, සිකුරාදා පොළ හන්දියෙන් ගමන් කරද්දී එම කාරය යතුරුපැදියක්ද අනතුරට පත් කරමින් ගමන් කළ අයුරුද සීසීටීවී කැමරාවක සටහන් විය. මේ අනතුර සිදු වූ ස්ථානයේ EP KI-7738 දරන කාරයේ අංක තහඩුව වැටී තිබී පොලීසියට හමු විය. පසුව එම අංක තහඩුව ඔස්සේ කාරය ගැන සොයා බලද්දී එම අංක තහඩුව එම කාරයට අයත් නොවූවක් බව හෙළි වී තිබිණි. අනතුරුව විමර්ශන සිදු කළ බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ පොලිස් නිලධාරීන්ට සැල වූයේ එලෙස පලා ගිය කාරයට සමාන කාරයක් බද්දේගම පොලිස් වසමේ අගලිය, කුට්ටියාවත්ත මාර්ගයේ මුල්කඩ පාලම අසල අතුරු මඟක ගිනි ගනිමින් තිබෙන බවයි. එම ස්ථානය පිහිටා තිබුණේ බද්දේගම අධිවේගි පිවිසුමට කිලෝමීටර් එකහමාරක පමණ දුරකිනි.
විමර්ශන නිලධාරීන් සැක කළේ ඝාතකයන් පලා ගිය කාරය සාක්කි වසන් කිරීමේ අරමුණින් එලෙස ගිනි තබා විනාශ කරන්නට ඇති බවය. එලෙස ගිනි ගත් කාරය පිළිබඳ රස පරීක්ෂණය ඉකුත් 17 දා සිදු කෙරිණි. මේ රස පරික්ෂක වාර්තාව මඟින් එම කාරය නිශ්චිත ලෙසම ඝාතනයට පැමිණි කාරයද යන්න තහවුරු කරගැනීමට හැකි වනු ඇත.
ඝාතනයෙන් පසු විමර්ශන ඇරඹූ පොලිස් කණ්ඩායම් 12න් බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුමිත් ජයසිංහගේ ප්‍රධානත්වයෙන් උපපොලිස් පරීක්ෂක බී.එම්.එස්.ඩී. බස්නායක ඇතුළු කණ්ඩායම සුපිරි වෙළෙඳසල අවට සීසීටීවී කැමරා පරීක්ෂාවේදී එදින සවස ඝාතනයට පැය බාගයකට පමණ පෙරදී ඝාතකයන් පැමිණි නිශාන් සනි වර්ගයට අයත් කාරය සුපිරි වෙළෙඳසල රථ ගාලේ තාප්පයක් ඉදිරිපිට නතර කර තිබෙන ආකාරය සීසීටීවී කැමරාවක සටහන්ව තිබිණි. එලෙස කාරය නතරකොට විනාඩි 10ක් පමණ ගත වෙද්දී පැමිණි කළු පැහැති විවා එලයිට් වර්ගයට අයත් WP KS 8987 දරන කාරයද එම ස්ථානයට පැමිණ, නිසාන් කාරය අසලින්ම නතර කෙරිණි. අනතුරුව එලයිට් කාරයෙන් බැසගත් අයකු බෑගයක් දෙන ආකාරයද සීසීටීවී කැමරාවලින් හඳුනාගැනීමට පොලිස් නිලධාරීන්ට හැකි විය.
අනතුරුව එලයිට් කාරය එම ස්ථානයෙන් ගිය අතර, නිසාන් කාරය සුපිරි වෙළෙඳසලේ රථ ගාලෙන් ගොස් ක්ෂණයෙන් පැමිණි රථගාලේ වෙනත් ස්ථානයක ගාල් කෙරිණි. ඒ අතර තවත් සීසීටීවී කැමරාවකින් පොලීසිය අනාවරණය කරගත්තේ එලයිට් කාරය අකුරේගොඩ දෙසට ගමන් කරද්දී නීතිඥවරයා පැදවූ රථයද සුපිරි වෙළෙඳසල දෙසට එන ආකාරයයි. අනතුරුව, ඝාතකයන්ගේ කාරයට බෑගය දුන් කාරයේ අංකය වූ WP KS 8987 අංකයෙන් එහි ලියාපදිංචි අයිතිකරු කවුරුන්ද යන්න මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මඟින් තහවුරු කරගැනිණි. එම කාරය අයත්ව තිබුණේ මහරගම, නීලම්මහර පාරේ තරුණියකටය. පොලිස් නිලධාරින් ඇය සොයා ගියද නිවෙසේ නොසිටි ඇය මහරගම උකස් මධ්‍යස්ථානයක සේවය කරන බව හෙළි විය. එම ස්ථානයේදී පොලීසියට ඇය හමු විය.
“සර්… මගේ ඔය කාර් එක කොට්ටාව, මාලබේ පාරේ ‘රෙන්ට් අ කාර්’ ආයතනයකට දුන්නා…” යැයි ඇය පැවසුවාය.
ඉකුත් 16 දා පොලිස් නිලධාරීන් මාලබේ මාර්ගයේ පිහිටි එම ස්ථානයට ගොස් ‘රෙන්ට් අ කාර්’ ආයතනයේ හිමිකරුගෙන් අදාළ කාරය ගැන විමසීය.
“13 වැනිදා හවස 2ට විතර තමයි ඔය කාර් එක දෙන්නෙක් අරගෙන ගියේ, දවස් හතකට කියලා. හැබැයි අද (16) උදේ කතා කරලා කිවුවා අද ගෙනත් දෙනවා කියලා…” යැයි පැවසූ ‘රෙන්ට් අ කාර්’ හිමිකරු කාරය කුලියට ගත් තැනැත්තාගේ ඔහු ලබාගත් ඡායාරූපය ඇතුළු නම්ගම් සියල්ල පොලීසියට පැවසීය. ඒ අනුව කාරය රැගෙන ගොස් තිබුණේ අතුරුගිරිය, රතුවිලවත්ත, පැරඩයිස් සිටිහි පදිංචි 27 හැවිරිදි සනෝජ් කෝකිල නමැත්තෙකි. එදින කාරය නැවත රැගෙන එන බව කීමත් සමඟ උපපොලිස් පරීක්ෂක බස්නායක ඇතුළු කණ්ඩායම රෙන්ට් අ කාර් ආයතනය අවට රැකවල්ලා සිටියේ කාරය රැගෙන එන තෙක්ය. 16 දා සවස 1.30ට පමණ කාරය රැගෙන එද්දී සනෝජ් රෙන්ට් අ කාර් ආයතනයට ආසන්නයේදී අත්අඩංගුවට ගැනිණි. අත්අඩංගුවට ගත් සනෝජ්ගෙන් පොලිස් නිලධාරීන් විසින් ප්‍රශ්න කරනු ලැබීය.
“සර්… එදා ඩිලා එක්ක ඇවිල්ලා තමයි මම කාර් එක රෙන්ට් එකට ගත්තේ. ටුටූ තමයි කතා කරලා කිවුවේ වැඩක් තියෙනවා, දවස් හතකට කාර් එකක් කුලියට ගනිං කියලා…” යැයි සනෝජ් පැවසීය. සනෝජ් එම වාහන කුලී පදනම මත සපයන ආයතනය සොයාගෙන තිබුණේ ඔහුගේ පියා ඊට පෙර එම ආයතනයෙන් කාරයක් කුලියට ගෙන තිබූ හෙයිනි. පොලීසිය අනාවරණය කරගත්තේ සනෝජ් සමඟ කාරය කුලියට ගැනීමට පැමිණි ඩිලා හෙවත් 28 හැවිරිදි ඩිලිත ප්‍රමෝද්‍ය පොල්ගස්ඕවිට, සියඹලාගොඩ පදිංචිකරුවකු බවයි. සැණින් පොලිස් නිලධාරීන් ඩිලා අත්අඩංගුවට ගැනීමට ඔහුගේ නිවෙසට ගියද ඩිලා නොසිටියේය.
13 වැනිදා ඔවුන්ට දුරකතන ඇමතුමක් දෙමින් කාරය කුලියට ගැනීමට කී තරිඳු මධුෂාන් හෙවත් මල්වානේ ටුටූ ඩුබායිහි සිටින මෙරට තුළ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන අයකු බව හෙළි විය. ටුටූගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයකු ලෙසද පොල්ගස්ඕවිට ඩිලා සැලකේ.
එලෙස 13දා කාරය කුලියට ගත් දෙදෙනා මුලින්ම ගොස් තිබුණේ පන්නිපිටියේ හෝටලයකටය. එහි සනෝජ්ගේ බාල සහෝදරයා වන 22 හැවිරිදි නඳුන් කවිෂ සිටියේය. කාරයට නඳුන්ද නංවාගත් තිදෙනා ඉන් පසුව ගොස් තිබුණේ ටුටූගෙන් එන ඇමතුම් අනුව කොටිකාවත්ත කොමර්ෂල් බැංකුව අසලටය. ඒ ස්ථානයට රතු පැහැති ත්රීවීලරයකින් පැමිණි පුද්ගලයකු ත්‍රීවීලරයේ පසුපස තිබුණු කළු පැහැති බෑගයක් තිදෙනාට දුන්නේය. ඒ වන විට එම ත්‍රීවීලරයේ කුඩා දරුවකු සමඟ තරුණියකද සිටි බව එම තිදෙනා දැක තිබිණි.
“කවුද ඒ ත්‍රිවීල් එකේ ආපු කෙනා?” පොලීසිය ප්‍රශ්න කළේය. එහෙත් අත්අඩංගුවට ගත් සනෝජ් කිවුවේ එම පුද්ගලයා හෝ දුන් පාර්සලයේ තිබුණේ කුමක්ද යන්න ඔවුන් නොදැන සිටි බවයි.
එම බෑගය ගත් තිදෙනා ඊළඟට ගියේ අකුරේගොඩ සුපිරි වෙළෙඳසල අසල නතර කර තිබුණු නිසාන් කාරය සමීපයටය. සුපිරි වෙළෙඳසල ආසන්නයේදී කළු පැහැති බෑගය නිසාන් කාරයට දෙන ආකාරය සීසීටීවී කැමරා දසුන් මඟින් පොලීසිය ඒ වන විටත් අනාවරණය කරගෙන තිබිණි. 16 දා කාරය සමඟ සනෝජ් අත්අඩංගුවට ගත් සැණින් පොලීසිය ඔහුගෙන් අනාවරණය වූ තොරතුරු මත අතුරුගිරිය නිවෙසේ සිටියදී එදිනම සනෝජ්ගේ මල්ලි නඳුන් කවිෂද අත්අඩංගුවට ගත්තේය. එලෙස අත්අඩංගුවට ගත් අයිය-මලෝ දෙදෙනාගෙන් ප්‍රශ්න කළේ ඩුබායි සිට ටුටූගෙන් ලැබුණු ඇමතුම් අනුව කළු පැහැති බෑගය සුපිරි වෙළෙඳසල අසලදී ලබාදුන් පුද්ගලයන් කවුරුන්ද යන්නය. “ඒ කට්ටිය කවුද කියලා දන්නේ නෑ. හැබැයි ඒ වෙලාවේ කාර් එකේ තුන්හතර දෙනෙක් සිටිය බව නම් පෙනුණා,” යැයි කීවේය.
එලෙස කළු පැහැති බෑගය දුන් සැණින් තිදෙනා කළු පැහැති කාරයෙන් අකුරේගොඩ දෙසින් පන්නිපිටිය හෝටලයට පැමිණියේය. හෝටලයේ නඳුන්ගේ යතුරුපැදියද තිබිණි. අනතුරුව සනෝජ් සමඟ කාරයට නැඟුණු ඩිලා ඔහුගේ පොල්ගස්ඕවිට නිවෙසට ගිය අතර ඒ පසුපසින් යතුරුපැදියේ නඳුන්ද පැමිණියේය. කාරය ඩිලාගේ නිවෙසේ නතර කෙරිණි. ඩිලා ද නිවෙසේ නතර විය. නඳුන්ගේ යතුරුපැදියට නැඟුණු සනෝජ් සහ නඳුන් ඔවුනගේ අතුරුගිරියේ පිහිටි නිවෙසට පැමිණියේය.
දින තුනක් පමණ ඉක්ම ගියේය.
16 දා පෙරවරුවේ ඩිලා, සනෝජ්ට දුරකතන ඇමතුමක් දුන්නේය: “සනෝජ්… වහාම අදම ඇවිත් කාර් එක රෙන්ට කාර් එකට භාර දීපන්…” යැයි කීවේය. එසැණින් සනෝජ් 16දා ඩිලාගේ නිවෙසට ගියේය. ඔහු යන විට ඩිලා නිවෙසේ නොසිටි අතර, ඔහුගේ බිරිය සහ දරුවා පමණක් එහි විය. කාරය එම නිවෙසෙන් ගත් සනෝජ් රෙන්ට් අ කාර් ආයතනයට පැමිණෙද්දී පොලීසියට කොටු විය. අනතුරුව, ඉකුත් 17 දා සවස් යාමයේ උපපොලිස් පරීක්ෂක බස්නායක ඇතුළු නිලධාරීන් ඩිලා අත්අඩංගුවට ගත්තේ ඔහුගේ පොල්ගස්ඕවිට නිවෙසේ සිටියදීය.

දැඩි සේ අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම හේතුවෙන් අපරාධකාරයන්ට සම්බන්ධව නීතිඥයා සහ බිරිය ඝාතනයට ගිනිඅවි සැපයීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් අයිය-මලෝ දෙදෙනා හොඳින් අධ්‍යාපනය ලත් දෙදෙනෙකි. මේ වන විට පොලීසිය අනාවරණය කරගෙන ඇත්තේ විදෙස් රටක සිටින කරන්දෙණියේ සුද්දාගේ උපදෙස් මත ඩුබායි සිටින මෝදර නිපුණ සහ ඩුබායි සිටින ගොත අසංකගේ ගෝලයකු වන මල්වානේ ටුටූගේ මෙහෙයවීමෙන් මෙකී ද්විත්ව ඝාතනය සිදු කර ඇති බවයි. ඒ, ඇල්පිටිය, පිටිගල උපන්නකු වන නීතිඥ බුද්ධික කරන්දෙණිය සුද්දාගේ නඩුහබවල නීතිඥයා ලෙස කටයුතු කරමින් සිටියදී අනතුරුව සුද්දාගේ ප්‍රතිවාදියකු වන රුවන් කුමාර හෙවත් අහුංගල්ලේ ලොකු පැටිගේ නඩුවලටද පෙනී සිටීම හේතුවෙනි. ඝාතනයට ලක් වූ දිනද නීතිඥ බුද්ධික ‘ක්ලබ් වසන්ත’ ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන ලොකු පැටී වෙනුවෙන් කඩුවෙල අධිකරණයේ පැවැති නඩුවටද පෙනී සිට ඇත.
කෙසේ හෝ, යුවළ ඝාතනයට ගිනිඅවි සැපයූ තිදෙනා දින තුනක් ඉක්ම යන්නත් මත්තෙන් අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකි වූයේ පුළුල් විමර්ශනයකින් අනතුරුවය. බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත සහ බස්නාහිර දකුණු දිසා භාර නියෝජ්‍ය පොලිස්පති සාමන්ත විජේසේකරගේ උපදෙස් මත, බස්නාහිර දකුණු දිසා අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි ජනක කුමාරගේ මෙහෙයවීමෙන් එහි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුමිත් ජයසිංහගේ ප්‍රධානත්වයෙන් පොලිස් පරික්ෂක හේමන්ත කුමාර, උපපොලිස් පරීක්ෂක බී.එම්.එස්.ඩී. බස්නායක, සැරයන්වරුන් වන ප්‍රසන්න (40428), ලලන්ත (72338), ගුණසේකර (56805), චමින්ද (72979), කොස්තාපල්වරුන් වන කුමාර (89762), සේනානායක (19369), ධර්මකීර්ති (15449) සහ කෞශල්‍යා (10648) වැඩිදුර විමර්ශන සිදු කරති.
සිළුමිණ