“දැනට සිදුව ඇති අත්අඩංගුවට ගැනීම පිළිබඳව විවිධ අර්ථකථන දී, සමාජය තුළ වැරදි ආකල්ප සහ වැරදි අදහස් ගොඩනගන්නා ඕනෑම උත්සහයක් දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන,” බව අගරදගුරු මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමා බ්‍රහස්පතින්දා (පෙබ:26) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
‘කතෝලික සභාවේ ස්ථාවරය පැහැදිලි කිරීමේ’ අරමුණින් පැවැත්වූ මාධ්‍ය හමුවේදී අගරදගුරු මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමන් ඊයේ (පෙබ:25) සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම පිළිබඳව ද අදහස් පළ කළේ ය.
“අපි දැක්කේ, මේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ආගමික නායකයෙක්, ආරක්ෂක අංශයක නිලධාරියෙක්, හමුදා සාමාජිකයෙක්, දේශපාලකයෙක් හෝ ප්‍රභූවරයෙක් යන හැඳින්වීම් ඉදිරිපත් කරමින්, නීතියෙන් වෙන් කර බැලිය යුතු පුද්ගලයෙකු ලෙස පෙන්වීමට උත්සහ කරන අදහස්. එවැනි අදහස් සම්පූර්ණයෙන් ම වැරදි යි.”
“අපි මතක තබා ගත යුතු මූලික කරුණක් තියෙනවා. ඒ තමයි නීතිය හැම කෙනෙකුට ම එක සේ, සාධාරණව ක්‍රියාත්මක විය යුතු බව. කවුරුත් නීතියට ඉහළින් නැහැ කියන මූලධර්මය යි නීතියේ ආධිපත්‍යය කියන්නේ. ඒ නිසා, කෙනෙකුගේ තනතුර, වෘත්තිය, හෝ අතීතයේ කළ යහපත් කාර්යයන් කිසිවක් නීතිය ක්‍රියාත්මක වීමේදී අදාළ නොවෙයි. නීතියේ ආධිපත්‍යය සත්‍ය ලෙස ස්ථාපනය වීමට නම්, එය බාධාවකින් තොරව ක්‍රියාත්මක වීමට හැමෝම දායක විය යුතු යි. ඒකට බාධා කිරීම කිසිසේත් ම සුදුසු දෙයක් නෙමෙයි.”
“අපි හැමෝම දන්නා කරුණක් තමයි, පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පසුගිය වසර කිහිපය පුරා නිසි විමර්ශනයක් සිදු නොවූ බව. විශේෂයෙන් ම, පසුගිය ආණ්ඩු කාලවලදී මේ විමර්ශන ප්‍රායෝගිකව ඇණහිට තිබුණා කියන එක ප්‍රසිද්ධ කරුණක්. කතෝලික සභාව හැටියට අපි අවුරුදු හතක් පුරා ඉවසීමෙන් යුක්තිය, සාධාරණත්වය සහ සත්‍යය ඉල්ලා සිටියා. අපි නිතර ම ඉල්ලා සිටියේ, ස්වාධීන, පක්ෂපාතී නොවන විමර්ශනයක් සිදු කරලා, මේ මහත් ඛේදවාචකය පිටුපස සැඟවී ඇති සත්‍යය හෙළි කරලා, වරදකරුවන් සියලු දෙනාට නීතිය අනුව දඬුවම් ලබා දෙන ලෙස යි.”