සලේ වැඩ කළේ කාටද?

suresh salley 750x375

රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධානි, විශ්‍රා­මික මේජර් ජන­රාල් සුරේෂ් සලේ අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව මඟින් අත්අ­ඩං­ගු­වට ගනු ලැබීය. ඒ, පාස්කු ඉරු­දින ත්‍රස්ත­වාදි ප්‍රහා­රය සම්බ­න්ධ­යෙන් කරනු ලබන විම­ර්ශ­න­ය­කට අදා­ළව අනා­ව­ර­ණය වූ තොර­තුරු මතය. මෙය 2024 ඔක්තෝ­බ­රයේ සිට සිදු කළ දීර්ඝ විම­ර්ශ­න­යකි. එහිදී 200කට අධික පිරි­ස­ක­ගෙන් ප්‍රකාශ සට­හන් කර­ගෙන ඇති අතර, ඒ ප්‍රකාශ මඟින් අනා­ව­ර­ණ­යව ඇති කරුණු අනුව සුරේෂ් සලේගේ භාවි­තයේ ගැටලු රැසක් හෙළි වී තිබේ. එබැ­වින් ඔහුගේ නිශ්චිත වග­කීම වන්නේ විම­ර්ශ­න­ව­ලට සහාය දීමය. ඔහු නිදොස් නම්, එයද ඔප්පු කළ යුතුය. ඔහු වැරදි නම්, අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව අධි­ක­ර­ණ­යේදී එය ඔප්පු කළ යුතුය.

රනිල් සහ සලේ

පාස්කු ඉරු­දින ත්‍රස්ත­වාදි ප්‍රහා­රය සම්බ­න්ධ­යෙන් සොයා බැලූ ජනා­ධි­පති කොමි­ස­මේදී සුරේෂ් සලේ හිටපු ජන­පති රනිල් වික්‍ර­ම­සිංහ පිළි­බඳ සඳ­හන් කර ඇත. ඔහු පවසා ඇත්තේ තමන් අයි­එ­ස්අ­යි­එස් සංවි­ධා­නයේ කට­යුතු සම්බ­න්ධ­යෙන් එව­කට අග­මැති රනිල් වික්‍ර­ම­සිං­හට පැවසූ කරුණු කෙරෙහි ඔහු අව­ධා­නය යොමු නොකළ බවයි. රනිල් වික්‍ර­ම­සිංහ විසින්ද කොමි­ස­මේදී සලේ ගැන කියා තිබිණි. ඔහු එහිදී මාධ්‍ය කොමි­සම වාර්තා කිරී­මෙන් ඉවත් කරන ලෙස ඉල්ලා තිබිණි. මාධ්‍ය නැතිව ඔහු පවසා තිබුණේ නැඟෙ­න­හිර මුස්ලිම් ප්‍රජා­වගේ විවිධ කණ්ඩා­යම් නිර්මා­ණ­යට සලේ මැදි­හත් වූ බවයි. සලේ අන්ත­වාදි කණ්ඩා­යම් පෝෂ­ණය කිරී­මට පෞද්ග­ලි­කව මෙන්ම යුද හමුදා බුද්ධි අංශය මඟින්ද මැදි­හත් වූ ආකා­ර­යත්, ඒ ගැන තමා දන්නා සෙසු තොර­තු­රුද එහිදී රනිල් වික්‍ර­ම­සිංහ වැඩි­දු­ර­ටත් පැවසූ බව වාර්තා විය. ඒවා පාස්කු කොමි­ෂන් වාර්තාවේ රහ­සි­ගත ලේබ­ලය යටතේ තැබිණි.

මේ කොමි­ස­මේදී සිදු වූ තවත් විශේෂ කරු­ණක් වන්නේ 2014 සිට නැඟෙ­න­හිර යුද හමුදා බුද්ධි අංශ නිල­ධා­රීන් සහ­රාන් පිළි­බ­ඳව සලේට තොර­තුරු සැපයූ බව තහ­වුරු වීමයි. තමා එවැ­න්නක් මුල සිට දැන නොසිටි බව පැව­සු­වද, පසුව නීති­පති දෙපා­ර්ත­මේ­න්තුව ලිපි­යක් පෙන්වා ඔහුට කළ දැනු­ම්දී­මක් පිළි­බඳ ප්‍රශ්න කර තිබිණි. ඉන් පසු ඔහු එය පිළි­ගෙන ඇත.

හිටපු ඇමැති ඩග්ලස් දේවා­න­න්දාට දුන් ගිනි­අවි පිළි­බඳ අධි­ක­ර­ණ­යට කරුණු වාර්තා කර ඇත. ඔහුට රජ­යෙන් දුන් ගිනි­අවි නැවත දී නැත. රජ­යෙන් නොදුන් ගිනි­අ­විද භාර දී තිබේ. මේ ආකා­ර­ය­ටම පිල්ලෙ­යා­න්ටද ගිනි­අවි දුන් බව­ටත්, මුස්ලිම් කණ්ඩා­ය­ම්ව­ලට ගිනි­අවි දුන් බව­ටත් තොර­තුරු අනා­ව­ර­ණය වී ඇත. ආමි මොහි­දීන් වැනි පිරිස් යුද හමුදා බුද්ධි අංශ­යට බඳ­වා­ගෙන කට­යුතු කර තිබේ. උප­ක්‍ර­ම­ශීලි මෙහෙ­යුම් සඳහා යොදා­ගත් මේ පිරිස් මඟින් පසුව අප­රාධ සිදු කර ඇති බව­ටද තොර­තුරු ඇත. ඔවුන්ට දුන් ගිනි­අවි නැවත භාර දී නැත.

කවුද මේ සලෙයි?

ශ්‍රී ලංකා යුද හමු­දාවේ බුද්ධි අධ්‍ය­ක්ෂ­ව­රයා ලෙසත්, රාජ්‍ය බුද්ධි සේවාවේ ප්‍රධා­නියා ලෙසත් සුරේෂ් සලෙයි කට­යුතු කර ඇත. මේජර් ජෙන­රා­ල්ව­ර­යකු ලෙස කට­යුතු කළ ඔහු, දැන් විශ්‍රා­මි­කය. 1987දී හෝ ඒ ආසන්න වර්ෂ­ය­කදී යුද හමු­දා­වට බැඳී ඇති ඔහු, 1993 වසරේ සිට යුද හමුදා බුද්ධි අංශ­යට අනු­යු­ක්තව සේවය කර ඇත. 2012 වස­රේදී යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබූ ඔහු, 2016 දී ඉන් ඉවත් කැරිණි.

ඉන් පසු මැලේ­සි­යාවේ ශ්‍රී ලංකා මහකොම­සා­රිස් කාර්යා­ල­යේත්, ඉන්දි­යා­වේත් ගත කළ ඔහු, 2019 නොවැ­ම්බර් 16 පැවැති ජනා­ධි­ප­ති­ව­ර­ණ­යෙන් ගෝඨා­භය රාජ­පක්ෂ ජනා­ධි­පති ධුර­යට පත් වීමෙන් පසු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ ධුර­යට පත් කැරිණි. ඔහු ඒ තන­තු­රින් ඉවත් කරන ලද්දේ 2024 සැප්තැ­ම්බර් 21 දා පැවති ජනා­ධි­ප­ති­ව­ර­ණ­යෙන් අනුර කුමාර දිසා­නා­යක ජනා­ධි­පති ධුර­යට පත් වීමෙන් පසු­වය.

පසු­ගි­යදා (25) අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව මඟින් ඔහු අත්අ­ඩං­ගු­වට ගනු ලැබුවේ පාස්කු ඉරු­දින ත්‍රස්ත­වාදි ප්‍රහා­රය සැල­සුම් කිරීම සහ ඊට අනු­බල දීම පිළි­බඳ සැකය මතය. ත්‍රස්ත­වා­දය වැළැ­ක්වීමේ පනත යටතේ නිකුත් කළ රඳවා තබා­ගැ­නීමේ නියෝග මත සුරේෂ් සලේ පිළි­බඳ වැඩි­දුර විම­ර්ශන සිදු කැරෙ­මින් තිබේ.

දර්ගා නග­රයේ පහර දීම

සුරේෂ් සලේ යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ ධුරය දර­මින් සිටි­ය­දීය, අලු­ත්ගම – දර්ගා නග­රයේ සිංහල-මුස්ලිම් ප්‍රශ්න­යක් මතු වූයේ. 2014 ජූනි මාසයේ මේ සිදු­වීම ඇර­ඹෙන්නේ භික්ෂූන් වහන්සේ නමක මාර්ගයේ යන විට මුස්ලිම් ජාති­ක­යන් දෙදෙ­නකු පහර දුන් බවට එල්ල වූ චෝද­නා­ව­කිනි. මේ සම්බ­න්ධ­යෙන් පොලී­සි­යට පැමි­ණිලි කරන ලදි. විවිධ සංවි­ධාන මේ සම්බ­න්ධ­යෙන් හඬ­නැඟූ අතර, බොදු බල සේනා සංවි­ධා­නය විශේෂ රැස්වී­මක් සංවි­ධා­න කළේය. මේ රැස්වී­මට මුලදී ප්‍රදේ­ශයේ පොලිස් නිල­ධා­රීන් විරුද්ධ වුවද, පසුව අනු­මැ­තිය දීමට සිදු විය.

පහ­ර­දී­මට ලක් වූ භික්ෂූන් වහන්සේ සමඟ සිකු­රාදා පස්ව­රුවේ ඉස්ලාම් පල්ලිය ඉදි­රි­යෙන් පෙර­හ­රක් ගියහ. එහිදී ඇති වූ ප්‍රශ්නය බැරෑ­රුම් වූ අතර, මුස්ලිම් කඩ ගිනි­තැ­බීම, වෙඩි තැබී­මක් මෙන්ම මරණ කිහි­ප­යක්ද සිදු විය. අදාළ වෙඩි තැබීම සම්බ­න්ධ­යෙන් මෙතෙක් කිසි­වකු හෝ අත්අ­ඩං­ගු­වට ගෙන නැත. ගිනි­තැ­බී­ම්ව­ලට සම්බන්ධ පිරි­සක් එව­කට කළු­තර දිසාව භාරව සිටි නියෝජ්‍ය පොලි­ස්පති ඉන්ද්‍රන්ගේ උප­දෙස් මත අත්අ­ඩං­ගු­වට ගැනිණි. ඔවුන් ආර­ක්ෂක අංශ­වල පිරි­සක් වූ අතර, අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මට සූදා­නම් කර සිටි මේ පිරිස ඉහ­ළින් පැමිණි නියෝ­ග­යක් මත හදි­සි­යේම නිද­හස් කැරිණි. නියෝජ්‍ය පොලි­ස්ප­ති­ව­රයා මේ පිළි­බඳ සට­හන් යොදා තිබූ අතර, ඔහු පොලිස් විශේෂ විම­ර්ශන ඒක­ක­ය­ටද මේ පිළි­බඳ ප්‍රකාශ දී තිබේ.

මේ ප්‍රශ්නය පිළි­බඳ සාකච්ඡා කිරී­මට ආග­මික නාය­ක­යන්, නීති­ඥ­ව­රුන් වන අලි සබ්රි, හිජාස් හිස්බුල්ලා, ශිරාස් නූර්දීන්, මාධ්‍ය­වේදි එන්.අම්. අමීන් ඇතුළු මුස්ලිම් ප්‍රජාව නියෝ­ජ­නය කරන විද්ව­තුන් පිරි­සක් සහ ආර­ක්ෂක අංශ නියෝ­ජි­තයෝ රැසක් අලු­ත්ග­මට එක් වූහ. මේ සඳහා සුරේෂ් සලේද සහ­භාගි විය. ඒ සාක­ච්ඡා­වේදී නීතිඥ හිජාස් හිස්බුල්ලා විසින් චෝදනා කරන ලද්දේ දර්ගා නග­රයේ සිදු­වීම් පිටු­පස බුද්ධි අංශ සිටින බව­ටයි. මෙහිදී සුරේෂ් සලේ සහ හිජාස් හිස්බුල්ලා අතර උණු­සුම් සංවා­ද­යක් ඇති වූ අතර, සලේගේ මැදි­හත් වීමෙන් හිස්බුල්ලා සාක­ච්ඡා­වෙන් ඉවත් කරන ලදි.

ප්‍රගීත් එක්නැ­ලි­ගොඩ

2015 ජන­වාරි 26 දා පැවැති ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට දින 2කට පෙර, එනම් ජන­වාරි 24 වැනිදා ජ්‍යෙෂ්ඨ මාධ්‍ය­වේදි ප්‍රගීත් එක්නැ­ලි­ගොඩ අතු­රු­දන් කැරිණි. මේ ප්‍රගීත් එක්නැ­ලි­ගොඩ ය, ‘රාජ­පක්ෂ පවුල් ගස’ ලිවුවේ, ඇන්දේ. 2015 ජනා­ධි­ප­ති­ව­රණ ප්‍රති­ඵ­ල­යට එහි තීර­ණා­ත්මක බල­පෑ­මක්ද විය. මහින්ද රාජ­පක්ෂ ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමැ­ති­ව­ර­යකු වූ අරු­න්දික ප්‍රනා­න්දුත්, හිටපු නීති­පති මොහාන් පීරිස් වැනි අයත් කිවුවේ එක්නැ­ලි­ගොඩ අතු­රු­දන් වී නැති බවත්, ඔහු විදේශ රටක ජීවත් වන බවත් ය. අධි­ක­ර­ණ­යට කැඳ­වී­මෙන් පසු ඔවුන් කිවුවේ මිතු­රකු ඒ වග කී බවයි. ඒ කතා­ව­ලට අදාළ කිසිදු පිළි­ගත හැකි සාක්ෂි­යක් ඉදි­රි­පත් කර­න්නට ඔවුන් සමත් වූයේ නැත.

2015 යහ­පා­ලන ආණ්ඩුව කාලයේ ප්‍රගීත් එක්නැ­ලි­ගොඩ අතු­රු­දන් කිරීම පිළි­බඳ විම­ර්ශන අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව මඟින් ආරම්භ කැරිණි. මෙහිදී දුර­ක­තන විශ්ලේ­ෂණ වාර්තා කෙරෙහි දැඩි අව­ධා­න­යක් යොමු විය. එහිදී අනා­ව­ර­ණය වූයේ මීට බුද්ධි අංශ සම්බ­න්ධ­තා­වක් ඇති බවයි. ඒ පිළි­බඳ තොර­තුරු විම­ර්ශ­නය කිරී­මට ගත් උත්සා­හ­යන් එව­කට යුද හමුදා බුද්ධි අංශයේ ප්‍රධා­නියා වූ සුරේෂ් සලේ විසින් වළ­ක්වන ලදි. එව­කට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ සේවය කළ සහ­කාර පොලිස් අධි­කාරි ශානි අබේ­සේ­කර මේ පිළි­බඳ හෝමා­ගම මහෙ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට දැනුම් දුන්නේය. අධි­ක­ර­ණ­යෙන් සුරේෂ් සලේ කැඳ­විණි. අධි­ක­ර­ණය ඔහුට අව­වාද කළේ විම­ර්ශ­න­ව­ලට සහ­යෝ­ගය දෙන ලෙසයි. එහෙත් ඔහු එවැනි සහ­යෝ­ග­යක් දුන්නේ නැත. නැවත සලේ කැඳ­විණි. මෙසේ විම­ර්ශන ඉදි­රි­යට යන විට හදි­සි­යේම විශාල ප්‍රචා­ර­යක් කර­ළි­යට ආවේය. ඒ, එක්නැ­ලි­ගොඩ එල්ටී­ටී­ඊ­කා­ර­යකු බවයි.

කෙසේ වෙතත් රජයේ ආය­තන 10ක තොර­තුරු මත කරන ලද විම­ර්ශ­න­යට අනුව මාධ්‍ය­වේදි ප්‍රගීත් එක්නැ­ලි­ගොඩ එල්ටී­ටීඊ ත්‍රස්ත­වා­ද­යට සම්බන්ධ වී හෝ ඊට අනු­බල දී හෝ නැති බවත්, ඔහුට එරෙ­හිව කිසිදු ආය­ත­න­යක් හරහා අධි­ක­රණ ක්‍රියා­මා­ර්ග­යක් ගෙන නැති බවත් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව හෝමා­ගම මහෙ­ස්ත්‍රා අධි­ක­ර­ණ­යට නිල වශ­යෙන් දැනුම් දුන්නේය. එහෙත් ප්‍රගීත් එක්නැ­ලි­ගොඩ එල්ටී­ටී­ඊ­යෙන් මුදල් ගත් බවත්, ඔහු මරා­ගෙන මැරෙන බෝම්බ කට්ටල සඟ­ව­න්නට උදවු කළ බවත් ඇතුළු බර­ප­තළ චෝදනා රැසක් යුද හමුදා බුද්ධි අංශය මගින් ප්‍රසිද්ධ කෙරිණි. ඒ අත­ර­වා­රයේ මේ සිද්ධි­යට සම්බන්ධ ගිරි­තලේ යුද හමුදා බුද්ධි කඳ­වුරේ ලිපි­ගොනු සඟ­ව­න්න­ටද උත්සාහ දැරූ බවට චෝදනා එල්ල විය.

සලේ මැලේ­සියා යයි

2016 වසර අගදී සාධා­රණ සමා­ජ­යක් සඳහා වූ ජාතික ව්‍යාපා­රය ඇතුළු සිවිල් සංවි­ධාන කිහි­ප­යක් මාධ්‍ය හමු­වක් පව­ත්ව­මින් චෝදනා කරන ලද්දේ යුද හමුදා බුද්ධි අධ්‍ය­ක්ෂ­ව­රයා රාජ්‍ය විරෝධි කුම­න්ත්‍ර­ණ­යක් සිදු කරන බව­ටයි. ඒ අනුව එව­කට ජනා­ධි­පති මෛත්‍රි­පාල සිරි­සේන විසින් 2016 නොවැ­ම්බර් මාස­යේදී ඔහු යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ ධුර­යෙන් ඉවත් කරන ලද අතර, 2016 දෙසැ­ම්බර් 1 හෝ ඊට ආසන්න දින­කදී ඔහු මැලේ­සි­යාවේ පිහිටි ශ්‍රී ලංකා තානා­පති කාර්යා­ලයේ රාජ­කාරි සඳහා පිටත්ව ගියේය.

ඉන් පසු නැව­තත් සලේ ශ්‍රී ලංකා­වට පැමි­ණියේ 2017 නොවැ­ම්බර් 4 දා හෝ ඊට ආසන්න දිනක ය. 2017 නොවැ­ම්බ­රය අග යළිත් ඔහු රටින් පිටව ගියේය.

2018 දෙසැ­ම්බ­ර­යේදී සුරේෂ් සලේ නැව­තත් මෙර­ටට ආවේය. 2019 ජන­වාරි 3දා ඔහු යළිත් ඉන්දි­යා­වට ගියේ පාඨ­මා­ලා­ව­කට බව පැව­සිණි. මේ අත­ර­වා­ර­යේය, මාව­නැල්ල සහ ඒ ආශ්‍රිත ප්‍රදේශ කිහි­ප­යක බුදු පිළි­ම­ව­ලට හානි වූයේ. ඒ, හරි­ය­ටම 2018 දෙසැ­ම්බර් 24 – 26 අතර ය. එව­කට කෑගල්ල දිසාව භාර නියෝජ්‍ය පොලි­ස්පති පාලිත සිරි­ව­ර්ධ­නගේ උප­දෙස් මත මීට අදාළ විම­ර්ශන ඇර­ඹිණි. එම විම­ර්ශ­න­ව­ලදී අනා­ව­ර­ණය වූයේ සහ­රාන් නම් තැනැ­ත්තකු මේ බුදු පිළිම සිදු වීමට සම්බන්ධ බවයි. එහෙත් කුමක් හෝ හේතු­වක් මත සහ­රාන් නමැ­ත්තකු මේ සිදු­වී­ම්ව­ලට සම්බන්ධ බව විම­ර්ශ­ක­යන් විසින් අධි­ක­ර­ණ­යට වාර්තා කර තිබුණේ නැත.

ජමීල්ගේ කතාව

ශිව­නේ­ස­තු­රෙයි චන්ද්‍ර­කා­න්තන් හෙවත් පිල්ලෙ­යාන්ගේ ලේකම් අසාද් මවු­ලානා පව­සන්නේ පාස්කු ඉරු­දින ප්‍රහා­රය සිදු වූ දිනයේ සලේ විසින් දුර­ක­ත­න­යෙන් තමා අමතා ජමීල් ගන්නා ලෙස පැවසූ බවයි. ජමීල් යනු ටාජ් හෝට­ලයේ බෝම්බය පුපු­රුවා ගැනී­මට ගොස්, කුමක් හෝ හේතු­වක් නිසා පුපු­රුවා නොගත් බෝම්බ­ක­රුය. ඉන් පසු ඔහු යන්නේ දෙහි­වල එබ­නිසා පෙදෙ­ස­ටය. අසාද් මවු­ලා­නාගේ නිවෙස ඇත්තේද එපෙ­දෙසේ ය. වීඩියෝ සාක්ෂි­ව­ලට අනුව ජමීල්ගේ අතේ දුර­ක­ත­න­යක් ඇත. පසුව එය අස්ථා­න­ගත වී තිබේ. යුද හමුදා බුද්ධි අංශය ජමීල් පිළි­බඳ නිර­න්තර අව­ධා­න­යෙන් සිටි බවද අනා­ව­ර­ණය වී තිබේ.

එප­ම­ණක් නොවේ, සාරා මිය­ගිය බව තහ­වුරු කිරීම සඳහා සලේට තිබූ අව­ශ්‍ය­තාව කොත­රම්ද යත්: ඇයගේ තුන්වැනි ඩීඑන්ඒ වාර්තාව ගැනීම සඳහා සලේ රස පරී­ක්ෂක දෙපා­ර්ත­මේ­න්තු­ව­ටද ගොස් ඇත. ඉන් පසු එව­කට පොලිස් මාධ්‍ය ප්‍රකා­ශක නිහාල් තල්දූව සාරා මිය­ගිය බවක් ප්‍රසිද්ධ කළේය. එහෙත් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ විම­ර්ශ­ක­යන් එවැ­න්නක් මෙතෙක් නිල වශ­යෙන් සඳ­හන් කර නැත.

සලේගේ සාක්ෂිය

පාස්කු ඉරු­දින ත්‍රස්ත­වාදි ප්‍රහා­රය පිළි­බඳ සොයා බැලූ ජනා­ධි­පති කොමි­ෂන් සභා­වේදී සුරේෂ් සලේ පිළි­ගත්තේ තවු­හිද් ජමාත් සංවි­ධා­නයේ පිරිස් සහ බොදු බල සේනා සංවි­ධා­නයේ පිරිස් එකට කැඳවා සාකච්ඡා කළ බවයි. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති අනුර සේනා­නා­ය­කගේ කාර්යා­ල­යට ශ්‍රී ලංකා තවු­හිද් ජමාත් නායක අබ්දුල් රාසික් සහ සලේ පැමිණි බවට සාක්ෂි ඉදි­රි­පත් වී තිබේ. කොමි­ස­මේදී නීති­පති දෙපා­ර්ත­මේ­න්තුව පාර්ශ්ව­යෙන් කළ ප්‍රශ්න­කි­රී­ම්ව­ලදී සලේ පිළි­ගෙන තිබුණේ නැඟෙ­න­හිර බුද්ධි ප්‍රධා­නීන් සහ­රාන් පිළි­බඳ තොර­තුරු දුන් බවයි. එසේම බුද්ධි අංශ­වල පිරිස් බෝම්බ­ක­රු­වන්ගේ කණ්ඩා­ය­ම්වල සිටි බවද ඔහු මෙහිදී පවසා තිබිණි.

සාරාගේ තුන්වැනි ඩීඑන්ඒ වාර්තාව

2019 ජනා­ධි­ප­ති­ව­ර­ණ­යෙන් ගෝඨා­භය රාජ­පක්ෂ ජනා­ධි­පති ධුර­යට පත් වීමෙන් පසු සුරේෂ් සලේ රාජ්‍ය බුද්ධි ප්‍රධානි ධුර­යට පත් කැරිණි. ඉන් පසු පාස්කු ප්‍රහාර විම­ර්ශන අධී­ක්ෂ­ණ­යට සලෙයි මැදි­හත් විය. ආන්දෝ­ල­න­යට තුඩු දී ඇති පුල­ස්තිනී මහේ­න්ද්‍රන් හෙවත් සාරා ජස්මින් පිළි­බඳ තුන්වැනි ඩීඑන්ඒ පරී­ක්ෂ­ණ­යක් කරන ලෙස බල­පෑම් කර ඇත්තේ සලේය. එය තහ­වුරු කෙරෙන ප්‍රකාශ මේ වන විට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ එව­කට සිටි නිල­ධා­රීන් විසින්ම දෙනු ලැබ තිබේ. සාරා යනු කටු­වා­පි­ටිය බෝම්බ­කරු වූ හස්තූන්ගේ බිරි­යය. ඇය හින්දු ආගමේ සිට ඉස්ලාම් භක්ති­ක­යකු බවට පත්ව ඇත්තේ අබ්දුල් රාසික්ගේ පල්ලි­යේදී බව අනා­ව­ර­ණය වී ඇත.

එප­ම­ණක් නොවේ, සාරා මිය­ගිය බව තහ­වුරු කිරීම සඳහා සලේට තිබූ අව­ශ්‍ය­තාව කොත­රම්ද යත්: ඇයගේ තුන්වැනි ඩීඑන්ඒ වාර්තාව ගැනීම සඳහා සලේ රස පරී­ක්ෂක දෙපා­ර්ත­මේ­න්තු­ව­ටද ගොස් ඇත. ඉන් පසු එව­කට පොලිස් මාධ්‍ය ප්‍රකා­ශක නිහාල් තල්දූව සාරා මිය­ගිය බවක් ප්‍රසිද්ධ කළේය. එහෙත් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ විම­ර්ශ­ක­යන් එවැ­න්නක් මෙතෙක් නිල වශ­යෙන් සඳ­හන් කර නැත.

අත්අ­ඩං­ගු­වට ගත් සුරේෂ් සලේගේ භූමි­කාව ශ්‍රී ලංකාවේ දේශ­පා­ල­නයේ තීර­ණා­ත්මක සාධ­ක­යක් වන්නේ කෙසේද යන්න පැහැ­දිලි වන්නේ මේ කරුණු එකි­නෙක ගෙන බැලී­මේ­දීය.

සිළුමිණ- ශාලික විමලසේන