“විෂ මත්ද්‍රව්‍ය නිවාරණ සතිය” අද සිට 

642345066 895337433496585 5451255798737578819 n

“රටම එකට ජාතික මෙහෙයුම” වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක වන “විෂ මත්ද්‍රව්‍ය නිවාරණ සතිය” අද (01) සිට ආරම්භ වේ.

2026 මාර්තු 01 දිනෙන් ඇරඹෙන සතිය “විෂ මත්ද්‍රව්‍ය නිවාරණ සතිය ” ලෙස ප්‍රකාශයට පත්කිරීමට විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය පිටුදැකීම සඳහා වන “රටම එකට” ජාතික මෙහෙයුම් සභාව තීරණය කරන ලද අතර, මීට අදාළ අංක 07 / 2026 දරණ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් මේ වන විට නිකුත් කර ඇත.

මෙහිදී, විෂ මත්ද්‍රව්‍ය අලෙවිය පාලනය කර මර්දනය කිරීමත් විෂ මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවන් ඉන් මුදා ගෙන පුනරුත්ථාපනයට යොමු කිරීමත් යන මූලික අරමුණු දෙක ඉටු කර ගැනීම වෙනුවෙන් අවශ්‍ය ජනතා දැනුවත් භාවය හා දියුණු සමාජ කතිකාවතක් ඇති කිරීම වෙනුවෙන් මෙම සතිය ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව, මෙම සතිය තුළ රාජ්‍ය ආයතන, පාසල් හා බිම් මට්ටමින් පුළුල් දැනුවත් කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට නියමිතය. රජයේ අමාත්‍යාංශ ඇතුලු සියලු අනුබද්ධ ආයතනයන්හි නිලධාරීන්ගේ දායකත්වයෙන් වැඩසටහන් රැසක් සංවිධානය කර තිබේ. පාසල් ගුරුවරු හා සිසු දරුවන් මෙන්ම පොදු මහජනතාව දැනුවත් කිරීම සඳහා විවිධාංගීකරණය කරන ලද නව වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත. එමෙන්ම, පොදු ප්‍රවාහනයේ නියුතු බස් රථ, ත්‍රිරෝද රථ හා පාසැල් ප්‍රවාහන රථ මූලික කර ගෙන විවිධ ප්‍රචාරක ක්‍රියාකාරකම් සිදු කිරීමට ද නියමිතය.

විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය පිටු දැකීම වෙනුවෙන් අදාළ රාජ්‍ය ආයතන ඔස්සේ අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ඇතුලු සෙසු මැදිහත්වීම් නොපිරිහෙළා ක්‍රියාත්මක කරන අතරම, මෙම ජාතික මෙහෙයුම සාර්ථක කරගැනීමට අත්‍යවශ්‍ය සාධකයක් වන පුළුල් සමාජ දැනුවත්භාවයක් ඇති කිරීමට මෙම සියලු වැඩසටහන් තුළින් අපේක්ෂා කෙරේ.