අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අතර විශේෂ දුරකථන සංවාදයක් සිදුව තිබෙනවා. ”විවෘත හා සාධනීය” එකක් ලෙස රුසියාව එම සංවාදය නම් කර තිබෙනවා.
මැදපෙරදිග යුද ගැටුම් පිළිබඳ මෙන්ම යුක්රේන අර්බුදය පිළිබඳව ද දෙරටේ නායකයන් මෙහිදී අවධානය යොමු කර ඇති බවයි විදේශ වාර්තා පවසන්නේ.
.
මැදපෙරදිග ගැටුමට කඩිනම් දේශපාලනික සහ රාජ්‍යතාන්ත්‍රික විසඳුමක් ලබා ගැනීම සඳහා වූ යෝජනා කිහිපයක් ජනාධිපති පුටින් මෙහිදී ඉදිරිපත් කළ බව රුසියානු ජනාධිපතිවරයාගේ රාජ්‍යතාන්ත්‍රික උපදේශක යූරි උෂාකොව් ප්‍රකාශ කළා.
ඉරාන ජනාධිපතිවරයා, ගල්ෆ් කලාපයේ රටවල නායකයන් සහ අනෙකුත් ජාත්‍යන්තර නායකයන් සමඟ තමන් පැවැත්වූ සාකච්ඡා ද එම යෝජනාවල කොටස් බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
ජනාධිපති පුටින් ඉදිරිපත් කළ යෝජනාවලට ප්‍රතිචාර වශයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම දුරකථන සංවාදයේදී ප්‍රකාශ කර ඇත්තේ, යුක්රේන – රුසියානු යුද්ධයට දීර්ඝකාලීන විසඳුමක් තමා බලාපොරොත්තු වන බවයි.
යුද්ධය ඉක්මනින් අවසන් වනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ද ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.