ශ්‍රී ලංකාවේ ප්‍රකට පුරාවිද්‍යාඥයකු මෙන්ම හිටපු පුරාවිද්‍යා කොමසාරිස්වරයකුද වූ විද්‍යාජෝති ආචාර්ය රාජා ද සිල්වා පසුගිය පෙබරවාරි 23 දා දැයෙන් සමු ගත්තේය. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 102ක් විය. මෙරට ජාතික උරුමය සුරක්ෂිත කෙරුමට, පුරාවිද්‍යා ස්ථාන ස්මාරක ආරක්ෂා කෙරුමට පමණක් නොව; සිංහල සංස්කෘතික අභිමානය සාක්ෂාත් කරගැනුමට ඔහු දැක්වූ දායකත්වයද සුවිසල්ය. සැබෑ ශ්‍රී ලාංකිකයන් ලෙස අපට එවැනි යුග පුරුෂයන්ගේ මෙහෙවර උත්කෘෂ්ටත්වයට නොනඟා සිටිය නොහැකිය.
1924 වසරේ අගොස්තු 4 දින උපත ලබා ඇති ඔහුට තැබුණු නම රාජේන්ද්‍ර හේමපාල විය. පිරිමි දරුවන් 6 දෙනෙකු සහ ගැහැනු දරුවකු සිටි පවුලක හතරවැනි පිරිමි දරුවා වූයේ ඔහුය. ඔහුගේ පියා වෛද්‍ය වෝල්ටර් තෝමස් ද සිල්වා වූ අතර මව වූයේ මංගලා ජයවික්‍රම යි.
කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඔහු උසස් අධ්‍යාපනය හැදෑරුවේ විද්‍යා විෂයන්ගෙන් වීම විශේෂත්වයකි. එහි සැබෑම වාසිය අත්වූයේ මෙරට පුරාවිද්යවටය. ලංකා විශ්වවිද්‍යාලයෙන් රසායන විද්‍යාව පිළිබඳ විද්‍යාවේදි උපාධිය (1946) ලැබ පසුව 1947 දී ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් ද තවත් විද්‍යාවේදී උපාධියක් හිමි කරගත්තේ ඒ අනුවය.
එසේම බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් කලාව ඉතිහාසය සහ එහි තාක්ෂණික අංශ පිළිබඳ පර්යේෂණ සිදු කරමින් සිය ආචාර්ය උපාධිය (PHD) ද හිමි කරගත්තේය. 1951 වසරේ සිට වසර දෙකක කාලයක් ඉන්දීය පුරාවිද්‍යා සමීක්ෂණ ආයතනය (Archaeological Survey of India) හරහා පුරාවිද්‍යා කැණීම් සහ ගවේෂණ පිළිබඳ විශේෂ පුහුණුවක් ලබාගත්තේය. මෙරට පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ අත්‍යවශ්‍ය යුගයක විෂය ක්ෂේත්‍රයේ උපරි තලයට පත් ප්‍රායෝගික විද්වතකු ලෙස ඔහුගේ ප්රවේශවීම ඓතිහාසික ආගමනයක් විය.
වර්ෂ 1949 දී ඔහු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට සහකාර කොමසාරිස්වරයකු ලෙස සම්බන්ධ විය. එම දෙපාර්තමේන්තුවේ විද්‍යාත්මක (රසායන විද්‍යාව) පසුබිමක් ඇති පළමු පුද්ගලයා සහ එයට පත් කරන ලද පළමු රසායනඥයාද ඔහු විය. ඔහු සංරක්ෂණය කෙරෙහි අවධානය යොමු කර අවශ්‍යම රසායනාගාරයක්ද ස්ථාපිත කළේය.
විශේෂයෙන් පුරාණ විහාර සිතුවම් සහ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ඉන් ඉටු වුයේ විශාල මෙහෙවරකි. ඉන් පසුව 1967 සිට 1979 දක්වා මෙරට පුරාවිද්‍යා කොමසාරිස් ධුරය හොබවමින් ලාංකේය ඉතිහාසගත උරුමය අනාගතය වෙනුවෙන් ලොවට දායාද කර දීමේ සුවිශේෂ මෙහෙයක් ඉටුකර තිබේ. ඔහු වඩාත් කතාබහට ලක් වූයේ සීගිරිය සම්බන්ධයෙනි. 1967 ඔක්තෝබර් 14 දා කිසියම් කඩාකප්පල්කාරියකු විසින් සිගිරියේ බිතු සිතුවම්වලට හානි කිරීම නිසා මෙරට උත්තරීතර පුරාවිද්‍යා උරුමය විනාශ වන්නට යෑමය. ඒ අනුව ගත හැකි ඉහළම පියවර ගනිමින් ඉතාලි ජාතික ලුසියානෝ මරන්සි (Luciano Maranzi) සමඟ එක්ව එම ලෝක උරුම චිත්‍ර සංරක්ෂණය කිරීම සඳහා එදා දැඩි පරිශ්‍රමයක් ගෙන කටයුතු කළේ ඔහුය.
ඒ සඳහා යුනෙස්කෝ (UNESCO) ආයතනයේ සහය ඇතිව ඉතාලි ජාතික විශේෂඥ ලුසියානෝ මරන්සි ලංකාවට පැමිණි අතර, ඔහුට ශක්තියක් වෙමින්, මෙම මුළු මෙහෙයුමේම ශ්‍රී ලාංකේය නියමුවා ලෙස කටයුතු කළේ එවකට සහකාර පුරාවිද්‍යා කොමසාරිස්වරයා වූ රාජා ද සිල්වාය. මේ කර්තව්‍යයේදී එවකට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සැලසුම් අංශයේ සේවය කළ, පසුව සහකාර කොමසාරිස්වරයකුද වූ එස්.එම්. සෙනෙවිරත්නද ලුසියානෝ මරන්සිට සහය විය.
මරන්සි සිතුවම් ප්‍රතිසංස්කරණයේ තාක්ෂණික ශිල්පීය කටයුතුවල නිරත වන විට, ඒ සඳහා අවශ්‍ය රසායනික විශ්ලේෂණය සැපයූවේ ආචාර්ය රාජා ද සිල්වා ය.
සීගිරි සිතුවම්වල රසායනික සංයුතිය පිළිබඳ ඔහු සතුව තිබූ හසළ දැනුම නොවන්නට, මේ ප්‍රතිසංස්කරණය සාර්ථක වීමට ඉඩක් නොතිබිණි. මෙය අතිශය සංකීර්ණ විද්‍යාත්මක හා රසායනික මෙහෙයුමක් විය. පස්වැනි සියවසට අයත් මේ ලෝක උරුමයේ පැවැත්ම තීරණය වූයේ, ඒ යටින් ඇති පැරණි ස්වාභාවික වර්ණකවලට හානි නොවන සේ මතුපිට තැවරුණු නවීන කාර්මික සායම් ඉවත් කිරීමේ සාර්ථකත්වය මතය.
ආචාර්ය රාජා ද සිල්වා යනු හුදෙක් නිලධාරියෙක් පමණක් නොවීය. ඔහු සීගිරිය ගැන ‘Sigiriya: Using the Evidence’ වැනි වටිනා ග්‍රන්ථ රචනා කර, සීගිරි සිතුවම් ‘ෆ්‍රෙස්කෝ සීකෝ’ ක්‍රමයට ඇඳ ඇති බව විද්‍යාත්මකව තහවුරු කළ විද්වතෙකි. එසේම ඔහු සීගිරිය සිතුවම් සම්බන්ධයෙන් නව මතයක් එළිදැක්වීම විශේෂත්වයකි. ඔහුගේ මතය වූයේ ඉන් නිරූපණය වනුයේ තාරා දෙවඟනගේ රූපය බවයි. මීට අමතරව ඉබ්බන්කටුව සහ පොම්පරිප්පු කැණීම් මුල්වරට කරමින් ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් මෙගලිතික සුසාන භූමි පිළිබඳව මුල්වරට ගවේෂණය කර එම ඉතිහාසය ලොවට හෙළි කිරීමට ඔහු ක්‍රියා කිරීමද විශේෂයෙන් සඳහන් කළ යුතුය. පසුකාලීන පුරාවිද්‍යාඥයන්ට බොහෝ වැදගත් වූ පුරාවිද්‍යා ස්ථාන රැසක් ඔහුගේ අවධානයට හා අධීක්ෂණයට ලක්ව තිබීම ඒවායේ විද්‍යාත්මක සනාථ කිරීම්වලට බෙහෙවින් ඉවහල් විය. ඉබ්බන්කටුව සොහොන් බිම ප්‍රථම වරට හඳුනාගනු ලැබුවේ 1970දී වන අතර එහි මූලික පර්යේෂණය එවකට පුරාවිද්‍යා කොමසාරිස් ආචාර්ය රාජා ද සිල්වා විසින් සිදු කරන ලදි. 1982දී සංස්කෘතික ත්‍රිකෝණ වැඩසටහන යටතේ මේ ස්ථානය කැණීම් කරන ලද අතර, ඔහු විල්පත්තුවේ පොම්පරිප්පු නමින් තවත් මෙගලිතික ස්ථානයක්ද කැණීම් කළේය.
පුරාණ බිතු සිතුවම් සංරක්ෂණයෙහිලා සීගිරියට අමතරව මෙරට විවිධ පුරාවිද්‍යා ස්ථානවල කළ සංරක්ෂණ කටයුතු ප්රාමාණිකව සුවිසල්ය. දෙගල්දොරුව වැනි ස්ථාන එහිදී අනිවාර්යයෙන්ම පෙන්වාදිය හැකිය.
ආචාර්ය රාජා ද සිල්වා ඍජු චරිතයක් විය. ඔහු පුරාවිද්‍යා උපදේශක සභාවේ සාමාජිකයකු ලෙස කටයුතු කළ අතර බොහෝ සාමාජිකයන් කටහඬ අවදි නොකළ තැන ඔහු සිය අදහස් නොවළහා ප්‍රකාශ කළේය. තවද ඔහු දක්ෂ පාලකයෙක් විය.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ රාජකාරි කටයුතු අපක්ෂපාතිවත් ඍජුවත් ඉටු කිරීම සම්බන්ධයෙන් අදටද දෙපාර්තමේන්තු නිලධාරීන් ප්‍රශංසා මුඛයෙන් කතා කරන්නේ ඒ නිසාය.
පුරාවිද්‍යා ක්ෂේත්‍ර කටයුතුවලදී ඔහුගේ කරෙහි නිතරම පාහේ කැමරාවක් තිබූ අතර ක්ෂේත්‍රයේ ඔහු කළ කටයුතු කටහඬ අවදි කොට පටිගත කිරීමට ඔහු පුරුදුව සිටියේය. ඔහු දිවයින මුළුල්ලේ කළ ගවේෂණ කැණීම් සහ සංරක්ෂණ ප්‍රමාණය අතිවිශාලය. විද්‍යාත්මක ක්‍රමවලින් එම පුරාවිද්‍යා අධ්‍යයන කැණීම් හා ගවේෂණ සිදු කිරීමට ඔහුගේ එකී දැනුම් සම්භාරය හා ක්ෂේත්රගත ප්‍රායෝගිකත්වයද ඉවහල් විය. 2024 අගෝස්තු 4 දින 100 වැනි උපන්දිනය සැමරූ විද්‍යාජෝති ආචාර්ය රාජා ද සිල්වා 101 වැනි විය පසු කරමින් සිටියදී අප අතරින් වියෝ වූයේ කිසිදා පිරවිය නොහැකි හිඩැසක් මෙරට පුරාවිද්‍යා හා සංස්කෘතික ක්ෂේත්රයට ඉතිරි කරමිනි.

නොබියව කතා කළ පුරාවිද්‍යාඥයා
රාජා ද සිල්වා යනු පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ අතිශය සම්භාවනාවට පත් වුණු විද්වතෙකි. ඔහු ලංකාවේ තෙවැනි දේශීය පුරාවිද්‍යා කොමසාරිස්වරයා විය. ආචාර්ය උපාධිය සඳහා ලංකාවේ කලා ඉතිහාසය පිළිබඳ තාක්ෂණික පසුබිම සිය ආචාර්ය උපාධි නිබන්ධනයෙන් ඔහු එළිදැක්වීය. 1940 වසරේදී ඔහු රසායන විද්‍යාව පිළිබඳ සහකාර කොමසාරිස්වරයා ලෙස ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සේවයට එක් වුණේය. ඒ අනුව ඔහු දෙපාර්තමේන්තුවේ විද්‍යාත්මක කාර්යභාරය දැරූ පළමුවැනි නිලධරයා බවට පත් විය.

මහාචාර්ය සෙනරත් දිසානායක
හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් සහ
කැලණිය විශ්වවිද්‍යාලයේ
පුරාවිද්‍යාව පිළිබඳ මහාචාර්ය
ආචාර්ය රාජා ද සිල්වා පැරණි ලංකාවේ විහාර බිතුසිතුවම් සංරක්ෂණය සම්බන්ධයෙන් විශේෂ උනන්දුවක් දැක්වූ අයෙකි. 1967 සිට 1979 දක්වා වසර දොළහක් ඔහු ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා කොමසාරිස්වරයා ලෙස කටයුතු කළේය. දිවයින මුළුල්ලේ සංචරණය කරමින් ඔහු කැණීම් ගවේෂණ සහ සංරක්ෂණ කටයුතුවල නියැළුණේය. පුරාවිද්‍යා උපදේශක සභාවේ ක්‍රියාශීලි සාමාජිකයකු ලෙස ඔහුගෙන් ඉටු වූ කාර්යභාරයද අනල්පය.
රාජා ද සිල්වා ඍජු චරිතයකින් යුක්ත පුරාවිද්‍යාඥයකු ලෙස පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ ප්‍රචලිතය. වෘත්තීයවේදියකු ලෙස ඔහුගේ කැපීපෙනුණු විශේෂත්වය වූයේ ඇතැම් සාමාජිකයන් කටහඬ අවදි නොකළ තැන ඔහු නොවළහා සිය අදහස් ප්‍රකාශ කිරීමය.
ඔහු විසින් ප්‍රකාශයට පමුණුවන ලද ග්‍රන්ථ අතරින් මෑතම ග්‍රන්ථය සැකසුණේ සීගිරිය සිතුවම් අලළාය. එහිදී සීගිරි සිතුවම් පිළිබඳව නව මතයක් එළි දක්වමින් ඒවායින් නිරූපණය වන්නේ තාරා දෙවඟන බව ඔහු ප්‍රකාශයට පත් කළේය. 1967 වර්ෂයේදී සීගිරිය බිතු සිතුවම්වලට තීන්ත ප්‍රහාරයක් එල්ල කිරීමෙන් සහ එහි චිත්‍ර දෙකක් වනසා දැමීමෙන් වික්ෂෝභයට පත් ඔහු ඉතාලි ජාතික ලුසියානෝ මරන්සි සමඟ එක් වෙමින් ඒවා සංරක්ෂණයට පියවර ගත්තේය.
ආචාර්ය රාජා ද සිල්වාගේ අභාවය ශ්‍රී ලාංකේය පුරාවිද්‍යා ක්ෂේත්රයට මැකිය නොහැකි අඩුපාඩුවකි.