එය චිත්‍රපට කතාවක් වැනි කෘතිය කි. ආරම්භ වන්නේ ගැටුමකි නි. ගැටුම අතිශය දරුණුය. කොටින්ම එය එසේමෙසේ ගැටුමක් නොවේ. තම පක්ෂයේ නායකයා පක්ෂයෙන් නෙරපා හැරීමේ යෝජනාව ස්ථිර කළ මට්ටමේ ගැටුම කි. ඒ තරමට ඔහු සිය නායකයා කෙරෙහි අකමැතිව සිටියේ ය. වරප්‍රසාද ලත් පන්තිය ආරක්ෂා කරන දැඩි දක්ෂිණාංශික නායකයෙකු ලෙස සිය නායකයාව සැලකූ ඔහු ඇතුලු තරුණ පිරිස ස්වකීය තරුණ බලය සමඟ එක්ව නායකයා සමඟ ද්වන්ද අරගලයක නිරත විය. අන්තිමට සිදුවූයේ කුමක් ද?.
ඒ නායකයා කවුද? ඔහු ජේ ආර් ජයවර්ධනය. මේ තරුණයා කවුද? ඔහු ඉම්තියාස් බාකිර් මාකාර් ය. මේ සියල්ල දිගහැරෙන කෘතිය කුමක්ද?‘ ඒ ‘මා අකමැතිව සිටි ජේ ආර්‘ ය.

මෙරට දේශපාලන ඉතිහාසයේ වැඩිම බලපෑම් සහගත යමක් සිදුකළ දේශපාලන චරිතය ජේ ආර් ජයවර්ධන ය.
ජේ.ආර්. ජයවර්ධන යනු කියවා අවසන් කළ නොහැකි චරිතයකි. සියුම් ලෙස අධ්‍යයනය කළ යුතු සහ පර්යේෂණයට භාජන කළ යුතු චරිතයකි. බොහෝ ඇසූ පිරූ තැන් ඇතිව, අති විශාල දේශපාලන අත්දැකීම් රාශියක් ලද දේශපාලන නායකයකු වූ ජේ.ආර්. ජාතිවාදී, ආගම්වාදී, කුලවාදී, වර්ගවාදී කොටු පවුරු බිඳ දේශපාලනයේ යෙදුණු නායකයෙකි.
1960 දී යළිත් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය භාරගත් ඩඩ්ලි සේනානායක සහ පක්ෂයේ උප නායක ජේ.ආර් ජයවර්ධන අතර ගැටුම දීර්ඝ කාලයක් දිග හැරෙමින් තිබුණ අතර, 1970 න් පසු එම බල අරගලය අධිකරණය තෙක් ගමන් ගත් තියුණු ගැටුමක් බවට පවා පත් විය.
ජේ.ආර් ජයවර්ධන වෙනුවෙන් පක්ෂයේ ප්‍රබලයන් කණ්ඩායමක් පෙනී සිටීම නිසා ‘නායක පොරය’ පක්ෂය අසීරු තත්ත්වයකට පත් කරන ලද අතර, ජයවර්ධන එජාපය අත් හරිමින් එවකට බලයේ සිටි සමඟි පෙරමුණු ආණ්ඩුවට එක්වීමේ සැලැස්මක් පිළිබඳවත් එකල තොරතුරු පැතිර යමින් තිබුණි.ඉම්තියාස් වැනි තරුණයින්ට අවැසි වූයේ ජයග්‍රාහී පක්ෂයකි.තරුණ බලය හදුනන නායකයෙකි.

1943 වර්ෂයේ ආරම්භ වූ ජනාධිපති ජයවර්ධන මහතාගේ ක්‍රියාකාරී දේශපාලනය 1988 ජනාධිපති ධුරයෙන් සමුගන්නා තෙක් ගලා ගියේ වෙනස්ම ආකාරයකටය. ඉතා අපහසුවෙන් දේශපාලනයට පිවිසි ඔහු ඒ මාවතේ ගමන් කරනු ලැබූයේද විවිධ බාධක රැසකට මුහුණ දෙමිනි. ඒ අතර පක්ෂය අභ්‍යන්තර ගැටලු මෙන්ම බාහිර ගැටලු රැසකටද ඔහුට මුහුණ දීමට සිදුවිය. මේ සියල්ල ජයගෙන ඔහු මෙරට ජනාධිපති ධුරයට පත්වන්නේ ජීවන ගමනේ 72 වන කඩඉමේදීම ය.
නායකයාට එදිරිව කැරලි ගැසූ ඉම්තියාස්ට වෙනත් ඕණෑම නායකයෙකුගෙන්නම් සිදුවිය යුතුව තිබුණේ කුමක්ද?.ඇතැම්විට ඉම්තියාස්ගේ දේශපාලන දිවිය අවසන්වනු ඇත. ඇතැම්විට ඉම්තියාස්ගේ සමාජ ගමන හමාරවනු ඇත.දිගින් දිගටම සිදුවන කැපිලිමත දුක්විඳින්නට සිදුවනු ඇත. ඒකාන්ත වශයෙන්ම ඉම්තියාස්ට පක්ෂයේ දොරටු වැසෙනු ඇත.
එහෙත්, ඉම්තියාස් අකමැතිව සිටි ජේ ආර් එවැන්නෙක් නොවේ.

ඉම්තියාස් ඒ ගැන අපූරු උදාහරණයක් දෙයි.
1981 කළුතර දිස්ත්‍රික් සංවර්ධන සභා මැතිවරණයේදී දිස්ත්‍රික්කයේ ප්‍රබල අමාත්‍යවරයෙකු ඉම්තියාස්ගේ නම නාමයෝජනා ලැයිස්තුවේ පස්වැනි තැනට දමා තිබුණි. “දිස්ත්‍රික්කයේ මුස්ලිම් ඡන්ද ඇත්තේ 8% ක් පමණයි” යන පටු තර්කය ඊට හේතු විය . මෙය දැනගත් ජේ.ආර්. පැවසුවේ, “අපි බලන්න ඕන එයා පක්ෂයට කරපු වැඩ කොටස මිසක්, එයා කවුරුන්ගේ පුතාද නැත්නම් එයා මුස්ලිම්ද කියන එක නෙවෙයි” කියායි. ඔහු වහාම ඉම්තියාස්ව ලැයිස්තුවේ දෙවැනි ස්ථානයට පත් කළේය.
තමන්ව නෙරපන්නට අත ඉස්සූ තරුණයාට ජේ ආර් සැලකුවේ එහෙම ය.
විවේචනයක් දරාගත නොහැකි,අවිචාරවත් නායකයින් අතර ජේ ආර් අපූරු චරිතයක් වග ඉම්තියාස්ට පසක් විය.
1956 අප්‍රේල් මාසයෙහි පැවැත්වුණු මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය තරග කළ පාර්ලිමේන්තු ආසන 76 යෙන් ආසන අටක් පමණක් ලබා අන්ත පරාජයට පත්වීම, ජයවර්ධනගේ පෞරුෂත්වය උරගා බැලූ සිද්ධියක් විය. බොහෝ නායකයන් පරාජයට පත්ව පසු බා ගියෙන් ක්‍රියාකාරී නායකත්වයකට පත් ඔහු ඒ දැඩි අර්බුදකාරී තත්වයට අපරාජිතව මුහුණ දෙමින් වෘත්තීය සමිති ශක්තිමත් කිරීමට සාමාජිකත්වය වඩා ප්රජාතන්ත්රවාදී සමාජවාදී අත්තිවාරමක් මත පුළුල් කිරීමට,හෙතෙම කටයුතු කළේය.ආසන 8ට වැටී හතරගාතේ වැටී තිබූ පක්ෂයක් හයෙන් පහක බලයක් දක්වා වූ විප්ලවීය පරිවර්තනයට හැරවූයේ ඔහුය.
විපක්ෂ නායක තනතුරට පත් ඔහු රජයේ කටයුතු අතරින් ජනසෙත සඳහා පියවරවලට සහයෝගය දිය යුතු බව පැවසීමෙන් පක්ෂ නායක ඩඩ්ලි සේනානායක හා මත ගැටුමකට එළඹිණි. 1973 අප්‍රේල් මස සේනානායක දිවංගත වීමෙන් පක්ෂ නායක තනතුරට පත් ජේ.ආර්. එහි කටයුතු තවත් ප්රජාතන්ත්රකරණයට පත් කරමින් ‘‘රුපියලේ අරමුදල’’ ආරම්භ කෙළේය. තවද රජය මගින් හදිසි නීතිය පවත්වාගෙන යෑම අදහස් ප්‍රකාශන අයිතිය සීමා කිරීම සහ ආහාර හා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සොයා ගැනීමට අසිරුවීම ගැනද ඒ කෙරෙහි මහජන අවධානය යොමු කිරීම සඳහා සිය පක්ෂය යෙදුණු සත්යග්රහ කටයුතුවලට රජය තර්ජන එල්ල කිරීම ගැනද මහජන ඇස යොමු කිරීමේ අරමුණින් ස්වකීය ආසනයෙන් ඉල්ලා අස් වී (1975) ඔහු යළිත් ඉදිරිපත්ව කිසිදු ප්රචාරක රැස්වීමක් නොපවත්වා වැඩි ඡන්ද 26000කින් ජයග්‍රහණය කෙළේය.
1956 දී ලැබූ අන්ත පරාජයෙන් පසුව පක්ෂය යළි ගොඩනැගීමට ඔහු දැක්වූ නොපසුබට උත්සාහය සිය කෘතියෙන් කතුවරයා පෙන්වා දෙයි. ජේ.ආර්. සතු වූ ඒ ස්වයං විනය සහ අරමුණ කෙරෙහි වූ ඒකායන භක්තිය ඉම්තියාස් මනාව ඉස්මතු කරයි.
මේ කාලසීමාවේ මුල් හය වසර නූතන ශ්‍රී ලංකාවේ සංවර්ධන වේගය අපූර්ව සේ දියුණුවට පත් කාලපරිච්ඡේදයක් වශයෙන් පිළිගැනේ. ජල සම්පාදන කටයුතු ව්‍යාප්ත වූයෙන් කෘෂි නිෂ්පාදන දියුණුවට පත්විණි. නව කර්මාන්ත ආයතන බිහිවන්නට වීමෙන් නිෂ්පාදන තත්වය වැඩි දියුණු විය. නව බැංකු ඇරඹිණි. මූල්‍ය කටයුතු වර්ධනයට විණි. බාහිර වාණිජ ක්ෂේත්රයෙහි සුබදායක ප්‍රවර්ධන පහළවනු පෙනිණ. ආයෝජනය තුන් ගුණයකින් දියුණු වූ අතර විශේෂයෙන්ම කඩිනම් (පස් අවුරුදු) මහවැලි ව්‍යාපාරය ආරම්භවීමෙන් විරැකියා සංඛ්‍යාව අඩකින් අඩුවිය. විශාල ජලාශ සමූහයකින් යුක්ත වූ මේ මහා පරිමාණ ව්‍යාපෘති පිළිබඳ ප්‍රධාන කටයුතු කෙළවර වීමෙන් දිවයිනෙහි අනාගත සංවර්ධනය සඳහා ඉමහත් විදුලි බලයක් නිෂ්පාදනය වන්නට විය. වියළි කලාපයේ පුරාණ වැව් නොකඩවා පිරී පවතින්නට වූයෙන් ද නව වැව් බිහි වීමෙන් ද එහි නව ජනාවාස ඇතිවිණි. ගොවි නිෂ්පාදන ප්‍රමාණය වැඩිවිණි. නව කර්මාන්ත ආයතන වැඩි වැඩියෙන් බිහිවීමෙන් සමස්ත වර්ධන වේගය දෙගුණ විය. යුනෙස්කෝ ශ්‍රී ලංකා සංස්කෘතික ත්‍රිකෝණ ව්‍යාපෘති ආරම්භ වීම හේතු කොට ගෙන පුරා විද්‍යා ක්ෂේත්රයේ අපූර්ව දියුණුවකට මග පැදිණි.
ආර්ථිකය හුදෙක් පරිභෝජනවාදය සඳහා නොව, නිෂ්පාදන ආර්ථිකයක් සඳහා වූ පදනමක් සහිත විවෘත ආර්ථිකයක් ජේආර් හදුන්වා දුන බව ඉම්තියාස් සිය කෘතියෙන් මනාව පැහැදිලි කරයි.
ඒ වගේම තම නායකයා පිළිබඳව අන්ධ විශ්වාසයකින් වන්දනා කරනවා වෙනුවට ඔහුගේ ව්‍යාකූල තැන්ද මේ කෘතිය හරහා ඉම්තියාස් ඉතාම සංයමයෙන් ඉදිරිපත් කරයි.
බලවත් ජාතීන්ගේ න්‍යාය පත්‍ර හමුවේ ජේ.ආර්. වැනි නායකයෙකුට පවා සියල්ල පාලනය කළ නොහැකි වූ බව ඔහු සඳහන් කරන්නේ ඉන්දු-ලංකා ගිවිසුමේ දී ජේආර්ගේ ස්වභාවය උපුටා දක්වමිනි. එය ඉන්දු ලංකා හිතවත්කම් බලහත්කාරය තෙක් පෙරැලී තිබූ අවදියක් විය.

1987 ජුනි 4 වැනිදා පස්වරු 3.55ට ඉන්දියාවේ බැංගලෝරයේ පිහිටි ශ්‍රී ලංකා හමුදා ගුවන් තොටුපොළෙන් භාණ්ඩ ප්‍රවාහනය කරන ගුවන් යානා 5ක් ටොන් 25ක වියළි ආහාර ද්‍රව්‍යද රැගෙන ශ්‍රී ලංකාවට පියාසර කළහ. එදින පස්වරු 5ට යාපන අර්ධද්වීපයේ ඉහළ අහසේ සිට එම ගුවන්යානා මගින් පැරෂුට්වල සවිකරන ලද භාණ්ඩ පෙට්ටි බිම හෙළන ලදී.
ඉන්දු-ලංකා ගිවිසුමට පක්ෂ වෙමින් ජනාධිපති ජයවර්ධනගේ සහායට හිටියේ වමේ නායකයන් වූ පීටර් කෙනමන් හා කේ.පී. සිල්වාගේ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයත්, වාසුදේව නානායක්කාරගේ නව සම සමාජ පක්ෂයත් ඇතුළු පක්ෂ කිහිපයක් පමණි.

ඉන්දු – ලංකා ගිවිසුම සම්බන්ධයෙන් එජාප ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය තුළද බෙදීමක් ඇති විය. අගමැති ප්‍රේමදාස ප්රමුඛ කණ්ඩායම ගිවිසුමට විරුද්ධ ස්ථාවරයක සිටියහ. 1987 ජූලි 29 වැනි දින පෙරවරු 10.30ට අගමැති රජීව් ගාන්ධි කොළඹට පැමිණීමට නියමිත විය. පෙරවරු 11.30ත් 12.30ත් අතර ඔහු ජනාධිපති ජයවර්ධන හමුවීමටත් පස්වරුවේ ගිවිසුම අස්සන් කිරීමටත් 30 උදෑසන පිටත්ව යෑමටත් න්‍යාය පත්‍රය සකස් කර තිබිණි.
එහෙත් ගිවිසුමට එරෙහි දේශපාලන බලවේග විසින් සංවිධානය කළ දැවැන්ත පෙළපාළි ජූලි 28 වැනිදා සිවුදිගින් කොළඹට ඇදී එන්නට විය.
හදිසියේම 28 වැනිදා ඉන්දීය තානාපති ඩික්සිත් වෝඩ් ප්ලේස් නිවෙසට කැඳවූ ජනාධිපති ජයවර්ධන ඔහුගෙන් ඉල්ලා සිටියේ අගමැති රජීව් ගාන්ධිගේ පැමිණීම අවම වශයෙන් සති දෙකකින් පමා කරන ලෙසය. සියල්ල සැලසුම් කර තිබියදී ජනාධිපති ජයවර්ධන විසින් සිදුකළ ආයාචනය හේතුවෙන් තමා විමතියට පත්වූ බව ඩික්සිත් මෙසේ සඳහන් කර තිබේ.
“ඉන්දු – ලංකා ගිවිසුම අස්සන් කරනවාට එරෙහිව රටේ බලවත් විරෝධයක් පැනනැඟී ඇති බව පවසමින් ජනාධිපති ජයවර්ධන මා විමතියට පත්කළේය. ඇමැති මණ්ඩලයේ ඇතැමුන් සහ තමාගේ පක්ෂයේ පිරිසක්ද එයට විරුද්ධ බව ඔහු මා සමඟ පැවැසීය. පක්ෂයට සහ රටේ ජනතාවට විධිමත් දැනුවත් කිරීමක් සඳහා අගමැති රජීව් ගාන්ධිගේ පැමිණීම සති කිහිපයක් පමා කරන්නට නොහැකි දැයි ඔහු මගෙන් විමසීය. රනිල් වික්‍රමසිංහ සහ ඇතුළත්මුදලි ජනාධිපතිගේ යෝජනාවට කැමැත්ත පළකළ අතර ගාමිණී දිසානායක පැවැසුවේ මේ අවස්ථාවේ ගිවිසුම අස්සන් නොකොට පස්සට ඇද්දොත් මහා විනාශයක් සිදුවිය හැකි බවය.
අගමැති රජිව් ගාන්ධිගේ පැමිණීම ප්‍රමාද කළහොත් එය කිසිදිනක සිදු නොවීමට ඉඩ ඇති බවත් ගිවිසුම කාලයේ වැලිතලාවේ සදාකාලිකව සැඟවී යනු ඇති බවත් මම ඔවුන්ට පැහැදිලි කළෙමි.”
ආණ්ඩුව ගිවිසුමේ විලිරුදාවෙන් පෙළෙද්දී අගමැති රණසිංහ ප්‍රේමදාස දිවයිනෙන් බැහැරව සිටි අතර ඔහු ලංකාවට පැමිණියේ ජූලි 27 වැනි දිනය. එදින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ඔහු ගිවිසුමට එරෙහිව අදහස් පළකර තිබිණි.
මේ ව්‍යාකූල මොහොතේ ජේආර් පත්ව සිටි නොසන්සුන් බව ඉම්තියාස් සිය කෘතිය හරහා පැහැදිලි කරයි.
විශේෂ අන්තර්ජාතික කීර්තියට පත්වූයේ 1951 දී ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ සැන් ෆැන්සිස්කෝ පුරවරයේ දී පවත්වන ලද සාම සම්මේලනයේදීය. ලංකා නියෝජිතයකු වශයෙන් එයට සහභාගි වුණු ඔහු දෙවැනි ලෝක සංග්රාමයෙන් පරාජයට පත් ජපානය ‘‘මිත්‍ර රාජ්‍යවලට’’ ගෙවිය යුතු වන්දිය පිළිබඳ සාකච්ඡාවේ දී ‘‘වෛරයෛන් වෛරය නොසංසිඳේ’’ යන බුදු වදනට මුල් තැන දෙමින් ඉදිරිපත් කළ දේශනයෙන් ඒ සම්මේලනයෙහි සාමාජිකත්ව දැරූ ජාතීන් පනස් පහක නියෝජිතයන්ගේ ආකල්ප පරිවර්තනයට පත් වූයෙන්, ජපානය ඒ දඬුවමෙන් සපුරා නිදහස් වූයේය. එපමණක් නොව ඒ රාජ්‍ය ඉදිරි කල්හිදී අධිවේගී ආර්ථික හා කාර්මික සංවර්ධනය සඳහා අවස්ථා ලද්දේ එයින් ස්ථාපිත වුණු අත්තිවාරම මතය.
ඉම්තියාස් බාකීර් මාකර් මහතා සිය කෘතිය අවසන් කරන්නේ ආරම්භය තරම්ම අපූරු බවකි නි. ජේ.ආර්. වෙනුවෙන් ඇමෙරිකානු ජනපති රොනල්ඩ් රේගන් පැවැත්වූ භෝජන සංග්‍රහයකදී ෆ්රෑන්ක් සිනාත්‍රා ගැයූ “My Way” ගීතය හෙතෙම සිහිපත් කරයි.
“මම කළා, මට කරන්න තිබුණු දේ… මම ඒක කළේ මගේ ක්‍රමයටයි” (I faced it all, and I stood firm, and I did it my way).
ජේ ආර් පිළිබඳව සිතන්නට නව මාවතකුත්, නායකයෙකු කෙරෙහි මැදිහත්ව බලන අනුගාමිකයෙකුගේ දැක්මත් යන දෙකම ‘මා අකමැතිව සිටි ජේආර්‘ හරහා අත්විඳිය හැකිය.