ඕනවටත් වඩා තෙල් තියෙනවලු

23618475 bowser

වර්ත­මාන ඉන්ධන අව­ශ්‍ය­තා­වට වඩා 10%කට වැඩි ප්‍රමා­ණ­යක් ඇණ­වු­ම්කර ඇති බැවින්, රට තුළ කිසිදු ඉන්ධන හිඟ­යක් ඇති වීමට ඉඩක් නොමැති බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව අව­ධා­ර­ණය කරයි. එබැ­වින් අන­වශ්‍ය ලෙස තොග රැස්කි­රී­මෙන් වළ­කි­න්නැයි ඛනිජ තෙල් සංස්ථාව ජන­තා­ව­ගෙන් ඉල්ලී­මක් කරයි.

එළ­ඹෙන මැයි මාසයේ මැද භාගය දක්වා මෙර­ටට ප්‍රමා­ණ­වත් ඉන්ධන තොග දැන­ට­මත් පව­තින බව ලංකා ඛනිජ තෙල් නීති­ගත සංස්ථාවේ (CPC) සහ ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමා­ගමේ කළ­ම­නා­කාර අධ්‍යක්ෂ මයුර නෙත්ති­කු­මා­රගේ සඳ­හන් කරයි.

පසු­ගිය කාල­සී­මාව තුළ ඩීසල් පරි­භෝ­ජ­නය සාමාන්‍ය මට්ට­මට වඩා 150%ක ශීඝ්‍ර වර්ධ­න­යක් පෙන්වා ඇති බව අනා­ව­ර­ණය වී ඇත.

සාමා­න්‍ය­යෙන් මෙට්‍රික් ටොන් 40,000ක ඉන්ධන නෞකා­වක් ගොඩ­බෑම සඳහා අවශ්‍ය ඉඩ ප්‍රමා­ණය (gap) ගබඩා පර්යන්ත තුළ නිර්මා­ණය කළ යුතු වුවද, පරි­භෝ­ජ­නය මෙලෙස අසා­මාන්‍ය ලෙස ඉහළ ගිය­හොත් එය සැප­යුම් ජාල­යට දැඩි බල­පෑ­මක් එල්ල කළ හැකි බව කළ­ම­නා­කාර අධ්‍ය­ක්ෂ­ව­රයා පව­සයි.

ඇතැම් පාර්ශ්ව මාස 06කට සෑහෙන පරිදි ඉන්ධන තොග එක­වර ඉල්ලා සිටින අවස්ථා වාර්තා වන බවත්, සාමා­න්‍ය­යෙන් බවු­සර් 03ක් ලබා­ගන්නා ස්ථාන සඳහා බවු­සර් 18ක් වැනි විශාල ප්‍රමා­ණ­යක් ඉල්ලා ඇති බවත් හෙළි වී තිබේ.

මෙලෙස ඇතැම් පිරිස් විශාල වශ­යෙන් ඉන්ධන ගබඩා කර­ගැ­නීම හේතු­වෙන්, දෛනි­කව ඉන්ධන ලබා­ගන්නා සාමාන්‍ය ජන­තා­වට දිනක් හෝ දෙකක් ඉන්ධන නොමැති වීමේ තත්ත්ව­යක් උද්ගත විය හැකි බව සංස්ථාව පෙන්වා දෙයි.

වර්ත­මා­නයේ ක්‍රියා­ත්මක වන QR කේත ක්‍රමය හේතු­වෙන් රටට අවශ්‍ය මාසික ඉන්ධන පරි­භෝ­ජ­නය නිසි පරිදි ගණ­නය කර මෙර­ටට ගෙන්වනු ලබයි.

මේ නිසා ඉන්ධන අව­සන් වීමේ අව­දා­න­මක් නොමැති බවත්, පාරි­භෝ­ගි­ක­යන් තම සාමාන්‍ය පරි­භෝ­ජන රටාව පවත්වා ගන්නේ නම්, කිසිදු ගැට­ලු­ව­කින් තොරව ඉන්ධන ලබා­ගත හැකි බවත් කළ­ම­නා­කාර අධ්‍ය­ක්ෂ­ව­රයා වැඩි­දු­ර­ටත් සහ­තික කරයි.