ඉරානය සමඟ පවත්වන සාකච්ඡා අසාර්ථක වුවහොත්, එම රටට එරෙහි ප්‍රහාර තවදුරටත් දැඩි කරන බව ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් මහත්මිය පවසයි.
ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ අපේක්ෂාව සාමය උදා කිරීම බවත්, තවදුරටත් සිදුවන ජීවිත හානි හා විනාශයන් ඔහු අනුමත නොකරන බවත් ඇය සඳහන් කළාය.
කෙසේ වෙතත්, ඉරානය මේ වන විට හමුදාමය වශයෙන් පරාජයට පත්ව ඇති බවත්, පවතින යථාර්ථය පිළිගැනීමට ඉරානය අපොහොසත් වුවහොත් පෙර නොවූ විරූ ආකාරයේ ප්‍රහාරයකට මුහුණ දීමට සිදුවන බව ජනාධිපති ට්‍රම්ප් සහතික කර ඇති බවත් ධවල මන්දිර මාධ්‍ය ලේකම්වරිය වැඩිදුරටත් පවසා සිටියාය.
මේ අතර,ඉරානය සහ ඊශ්‍රායලය අතර පවතින දරුණු යුදමය වාතාවරණය සමනය කිරීම සඳහා අමෙරිකානු රජය විසින් කරුණු 15කින් සමන්විත විශේෂ යෝජනාවලියක් ඉරානය වෙත ඉදිරිපත් කර ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරයි.
ජනාධිපතිවරයා පවසන්නේ ඊශ්‍රායලය සහ ඉරානය අඛණ්ඩව ප්‍රහාර හුවමාරු කර ගනිමින් සිටින අතර, දකුණු ලෙබනනයේ පදිංචිකරුවන්ට ඊශ්‍රායල හමුදාව ඉවත් වන ලෙස අනතුරු අඟවා ඇති බවය.
අමෙරිකාව යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් ඉරානයට ඉදිරිපත් කර ඇති යෝජනාවලියට ඇතුළත් ප්‍රධාන කරුණු අතර ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සඳහා දැඩි සීමාවන් පැනවීම සහ ගෝලීය වෙළෙඳ ගමනාගමනයට අතිශය වැදගත් වන හෝර්මුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) කිසිදු බාධාවකින් තොරව නැවත විවෘත කිරීම වැනි තීරණාත්මක කොන්දේසි ඇතුළත් බව වාර්තා වේ. කෙසේ වෙතත්, මෙම කරුණු 15ක සැලැස්ම අඩංගු නිල ලේඛනය මෙතෙක් ප්‍රසිද්ධියට පත් කර නොමැති බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරයි.
යුද්ධය ආරම්භ වූ දා සිට ගුවන් ප්‍රහාරවලින්ඉරානයේ ස්ථාන 82,000කට හානි සිදුවී ඇති බව අමෙරිකාව සහ ඊශ්‍රායල පවසයි.