පාකිස්තාන හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ පුත්‍රයකු වන කාසිම් ඛාන් ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසියක් අමතමින් පාකිස්තානයට ලබාදී ඇති GSP+ වෙළෙඳ සහනය අහෝසි කරන ලෙස යුරෝපා සංගමයෙන් ඉල්ලා තිබේ. පාකිස්තානය තුළ සිදුවන බරපතළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ විශේෂයෙන්ම තම පියා රඳවා තබාගෙන සිටින අයුක්තිසහගත ආකාරය පිළිබඳ ඔහු එහිදී ජාත්‍යන්තර ප්‍රජාවගේ අවධානය යොමුකර ඇත. යුරෝපා සංගමය විසින් පාකිස්තානයට ලබාදෙන මෙම තීරුබදු සහනය මානව හිමිකම් සුරැකීමේ කොන්දේසිය මත පදනම් වූවක් බවත්, වර්තමාන පාකිස්තාන පාලනය එම කොන්දේසි අමු අමුවේ උල්ලංඝනය කරන බවත් ඔහු පෙන්වා දී තිබේ.
මෙම ඉල්ලීමත් සමග පාකිස්තානය තුළ දැඩි දේශපාලන උණුසුමක් නිර්මාණය වී ඇති අතර, එරට රජය පවසන්නේ මෙය රටේ ආර්ථිකය විනාශ කිරීම සඳහා ඉම්රාන් ඛාන්ගේ පක්ෂය (PTI) විසින් ගනු ලබන ද්‍රෝහී පියවරක් බවයි. පාකිස්තාන අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා ඇතුළු රජයේ නියෝජිතයන් පෙන්වා දෙන්නේ, රටේ අපනයනවලින් විශාල ප්‍රමාණයක් රඳා පවතින GSP+ සහනය අහිමි වුවහොත් පාකිස්තාන ජනතාව තවදුරටත් ආර්ථික අර්බුදයකට මුහුණ දෙනු ඇති බවයි. කෙසේ වෙතත්, කාසිම් ඛාන් ඇතුළු පාර්ශ්වයන් තර්ක කරන්නේ ප්රජාතන්ත්රවාදය සහ මානව හිමිකම් සුරැකීම වෙනුවෙන් මෙවැනි ජාත්‍යන්තර පීඩනයන් අත්‍යාවශ්‍ය බවයි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී කාසිම් ඛාන් කළ මෙම ප්‍රකාශය ජාත්‍යන්තර මාධ්‍ය තුළ ද දැඩි අවධානයට ලක්ව ඇති අතර, පාකිස්තානයේ වත්මන් පාලන තන්ත්රය කෙරෙහි පවතින විශ්වාසය පිළිබඳ යුරෝපා සංගමය සිය ස්ථාවරය ප්‍රකාශ කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඉම්රාන් ඛාන්ගේ සිරදඬුවම සහ ඔහුට බන්ධනාගාරය තුළ ලබාදෙන පහසුකම් පිළිබඳවද කාසිම් ඛාන් මෙහිදී කරුණු ඉදිරිපත් කළේය. මෙම සිදුවීමත් සමග පාකිස්තානයේ ඉදිරි ආර්ථික සහ විදේශ ප්‍රතිපත්තිය කෙරෙහි දැඩි බලපෑමක් එල්ල වනු ඇති බව දේශපාලන විචාරකයෝ අනාවැකි පළ කරති.