ඉරානයේ ගොඩබිම් යුද මෙහෙයුමක් සිදු කිරීමට පෙන්ටගනය සුදානම් වෙමින් සිටින බව ‘වොෂින්ටන් පෝස්ට්’ පුවත්පත වාර්තා කර තිබේ.
එය සති කිහිපයක් පුරා ක්‍රියාත්මක වන දැවැන්ත මෙහෙයුමක් වනු ඇති බව එහි දැක්වෙයි.
මේ වනවිටත් යුද සැලැසුම් අමෙරිකානු ආරක්ෂක මූලස්ථානය විසින් සකස් කර අවසන් බවට සඳහන්ය.
කෙසේවෙතත් මේ සඳහා අමෙරිකානු ජනාධිපතිවරයා සිය අනුමැතිය ලබා දෙන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් මේ දක්වා ස්ථිරව ප්‍රකාශවී නොමැති බව අදාළ වාර්තාවේ දැක්වේ.
මැරීන් භටයින් 4,000ක් පමණ මැදිපෙරදිග කලාපය බලා ගොස් ඇති බවට ද මීට පෙර තොරතුරු වාර්තා විය.
82 වන ගුවන් හමුදාවේ පැරෂුට් භටයින් යුද මෙහෙයුම සඳහන් සූදානම්ව සිටින බවට වැඩිදුරටත් සඳහන්ය. මැදපෙරදිග ඇති ඊශ්‍රායල – අමෙරිකා විශ්වවිද්‍යාල ඉලක්ක කරන බව ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය අනතුරු අඟවා තිබේ.
ඉරානයේ ටෙහෙරාන්හි පිහිටා ඇති විද්‍යා සහ තාක්ෂණික විශ්වවිද්‍යාලයට ප්‍රහාරයක් එල්ලවීමත් සමඟ මෙම අනතුරු ඇඟවීම නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
ඒ අනුව කලාපයේ ඇති සියලුම විශ්වවිද්‍යාල නීත්‍යානුකූල ඉලක්ක ලෙස සලකන බවට ඔවුන් ප්‍රකාශ කර ඇත.
කලාපයේ ඇති අමෙරිකානු විශ්වවිද්‍යාලවල සියලු කාර්යය මණ්ඩල සාමාජිකයන්, සිසුන් සහ ඒ අවට පදිංචිකරුවන්ට එම ස්ථානවලින් ඉවත්ව සිටින ලෙසට ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය දන්වා ඇති බව සඳහන්ය.
කලාපයේ එක්සත් ජනපද ආයතනවලට සිදු කරන ප්‍රහාර එල්ල කිරීම වැළැක්වීම සඳහා එක්සත් ජනපදය ඉරාන විශ්ව විද්‍යාලවලට බෝම්බ හෙලීම හෙළා දැකිය යුතුය.
අදාළ හෙළාදැකීම මාර්තු 30 වෙනිදා ඉරාන වේලාවෙන් දහවල් 12:00 ට පෙර සිදු කළ යුතු බවට ද ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය දැනුම්දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දැක්වෙයි.