CID කියාගත් කණ්ඩායමක් මුජීව ෆලෝ කරලා

mujibur rahuman 1

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ යැයි කියාගත් කණ්ඩායමක් තමා බිය වැද්දීමේ අරමුණින් තම ඥාති නිවෙස්වලට පැමිණ විවිධ ප්‍රශ්න කිරීම් කරන්නට පටන් ගෙන ඇති බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රි මුජිබර් රහුමාන් පැවසීය.

මේ සම්බන්ධයෙන් තමා පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව මන්ත්‍රිවරයා කීය. මෙය තමා අනියම් ආකාරයෙන් බිය වැද්දීමේ අරමුණින් කරන ලද ක්‍රියාවක් හැටියට සැක කරන බව ද ඔහු සඳහන් කළේ ය.මුජිබර් රහුමාන්ගේ සහෝදරියගේ ගල්කිස්සේ නිවසට ඉකුත් 12 වන සිකුරාදා ගොස් ඇති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ යැයි කියා ගත් කණ්ඩායමක් මන්ත්‍රිවරයා පිළිබඳව දීර්ඝව විමසීම් කර ඇතැයි වාර්තා වේ.

මේ පිළිබඳව රහුමාන් මන්ත්‍රිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිටට පැමිණිලි කර ඇති අතර එහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ, සිම් කාඩ්පතක් නැති වීමක් සම්බන්ධයෙන් මන්ත්‍රිවරයා පැමිණිල්ලක් කර ඇති හෙයින් ඒ ගැන විමසීමට මෙම කණ්ඩායම පැමිණ තිබෙන බව ය

තමා කිසිවිටෙකත් එවැනි පැමිණිල්ලක් කර නොමැති බව මුජිබර් රහුමාන් පැවසීය.

මීට පෙර තමා නිවෙසේ නොමැති අවස්ථාවක මෙවැනි ම කණ්ඩායමක් කොලොන්නාවේ නිවෙසට පැමිණ තමා පිළිබඳව බිරියගෙන් කරුණු විමසා තිබූ බව පැවසූ මන්ත්‍රිවරයා ඊට ප්‍රථම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් යැයි කියාගත් කණ්ඩායමක් බිරියගේ බොරැල්ලේ මහගෙදරට ද පැමිණ තමා පිළිබඳව විමසා තිබූ බව ද හෙතෙම වැඩිදුරටත් කීය.