අර්බුධ මැද ඉලක්කයට යනහැටි ගැන IMF ප්‍රධානියා සතුටින්

662925053 1530160321813525 588937813898482688 n

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම වැඩසටහනේ පස්වන සහ සයවන සමාලෝචනයන්හි වත්මන් ප්‍රගතිය පිළිබඳ සොයා බැලීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ප්‍රධානී Evan Papageorgiou මහතාගේ නායකත්වයෙන් යුත් නියෝජිත කණ්ඩායම, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ සාකච්ඡාවක නිරත වුණි.

ඒ අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ය.

ආර්ථික වර්ධන ඉලක්ක සපුරා ගැනීම, ආදායම් කළමනාකරණය සහ විදේශීය සංචිත ගොඩනඟා ගනිමින්, කම්පනවලට ඔරොත්තු දිය හැකි මට්ටමේ ආර්ථිකයක් මේ වන විට ශ්‍රී ලංකාව තුළ නිර්මාණය වී තිබීම මෙහිදී ඇගයීමට ලක් වූ අතර, එම ආර්ථික ස්ථායිතාව අඛණ්ඩව පවත්වාගෙන යාම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා විය.

බාහිර අභියෝගයක් වූ මැදපෙරදිග යුදමය තත්ත්වයෙන් ශ්‍රී ලංකාවට සිදු වන බලපෑම නොවැළැක්විය හැකි වුවත්, එය නිසි පරිදි කළමනාකරණය කර ගනිමින්, ඉන්ධන මිලට සහ බලශක්ති සැපයුමට එල්ල වී ඇති බලපෑම හමුවේ ඉලක්කගත කණ්ඩායම් වෙත අවශ්‍ය සහන සැලසීම පිළිබඳව රජයේ ප්‍රමුඛ අවධානය යොමු වී ඇති බව මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දුන්නේය.