ආණ්ඩුවේ ගමන කෙලවර කොතනද? ටිල්වින් කියයි.

nw00

අවු­රුදු 05කින් වත්මන් ආණ්ඩුවේ කාර්ය­භා­රය අව­සන් නොවන බව ජනතා විමුක්ති පෙර­මුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැව­සීය. 1971 අර­ග­ලය තුළ ආත්මා­ර්ථ­කා­මී­ත්වය නොතිබූ බව සඳ­හන් කළ ප්‍රධාන ලේක­ම්ව­රයා, විශාල මහ­ජන ව්‍යාපා­ර­යක් නිර්මා­ණය කර වර්ත­මා­නයේ බලය ලබා­ගත් බවද සඳ­හන් කළේය.

විප­ක්ෂය බලා සිටින්නේ රටට විප­තක් වී හෝ තමන්ට බලය ලැබේ යැයි කියා බවද පැවසූ ටිල්වින් සිල්වා මහතා, විප­ක්ෂයේ සිටින එක් කණ්ඩා­ය­මක් බලය සඳහා පාස්කු ප්‍රහා­රය දක්වාත් ගියේ යැයි කියා මිනිස්සු සැක කර­නවා යැයිද කීය. ජනතා විමුක්ති පෙර­මුණේ ප්‍රධාන ලේක­ම්ව­රයා මෙම අද­හස් පළ කළේ ඊයේ (05) වවු­නි­යාවේ පැවැති 55 වැනි අප්‍රේල් විරු සම­රුව අම­ත­මිනි. ප්‍රධාන ලේක­ම්ව­ර­යාගේ ප්‍රධා­න­ත්ව­යෙන් පැවැති මෙම සැම­රුම සංවි­ධා­නය කරනු ලැබුවේ ජනතා විමුක්ති පෙර­මු­ණෙනි.

එහිදී විරු­වන් සිහි­ක­ර­මින් උප­හාර දැක්වීම ජනතා විමුක්ති පෙර­මුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, එහි මධ්‍යම කාරක සභික ඇමැති රාම­ලිං­ගම් චන්ද්‍ර­සේ­කර්, එහි වවු­නි­යාව දිස්ත්‍රික් සංවි­ධා­යක නියෝජ්‍ය ඇමැති උපාලි සම­ර­සිංහ හා පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන්, විරු­වන්ගේ පවු­ල්වල සාමා­ජික, සාමා­ජි­කා­වන් විසින් සිදු කරන ලදි. ඇමැති රාම­ලිං­ගම් චන්ද්‍ර­සේ­කර් මහතා එහිදී දමිළ බසින් ජන­තාව ඇම­තීය.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ ජනතා විමුක්ති පෙර­මුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා,

“මේ මොහොතේ මෙවැනි සැම­රුම් කීප­යක් පැවැ­ත්වෙ­නවා. බදුල්ලේ ලාල්කාන්ත සහෝ­ද­ර­යාගේ මූලි­ක­ත්ව­යෙන් හා විජිත හේරත් සහෝ­ද­ර­යාගේ මූලි­ක­ත්ව­යෙන් මාතර සැම­රු­මක් පැවැත් වෙනවා. රට පුරා තවත් සැම­රුම් පව­ත්ව­මින් අත්දැ­කීම් බෙදා­හදා ගන්නවා. මෙතන සැම­රුම විශේ­ෂයි, කියා මම හිත­නවා. අප පළමු වතා­වට තමයි උතුරේ මෙවැනි විශාල සමු­ළු­වක් පව­ත්වන්නේ. අප ආණ්ඩු බලය තුළ සිටින අව­ස්ථා­ව­කයි මෙය පව­ත්වන්නේ.

මෙතැන දමිළ භාෂාව කතා කරන සහෝ­දර සහෝ­ද­රි­යන් වෙනු­වෙන්ද මම චවන කීප­යක් ප්‍රකාශ කර­නවා. අප මෙතෙන්ට පැමිණ සිටින්නේ මීට වසර 55කට පෙර සිදුවූ ජනතා නැඟි­ටී­මක් අනු­ස්ම­ර­ණය කරන්න. 1971 අර­ග­ලය නිර්මා­ණය වුණේ ඇයි? එම සහෝ­ද­ර­වරු සටන් කළේ, පොදු අර­මු­ණක් වෙනු­වෙන්. අපේ රටට සැබෑ නිද­හස ගෙනෙන්න. රටේ සියලු දෙනා­ටම සමා­නව ජීවත් විය හැකි සමා­ජ­යක් හදන්න.

අයු­ක්තිය, අසා­ධා­ර­ණය නැති ලෝක­යක් නිර්මා­ණය කරන්න. ජාති­වා­ද­යෙන් තොර සමා­ජ­යක් හදන්න. එදා ඔවුන්ගේ එම අර­ග­ලය පරා­ජ­යට පත් වුණත් ඔවුන්ගේ යහ­පත් අර­මුණු අප දිග­ටම අර­ගෙන ආවා. අප කිසිම දුෂ්කර අව­ස්ථා­වක එම යහ­පත් අර­මුණු අත්හැ­රියේ නැහැ. ජාතික ජන බල­වේ­ගය ගොඩ­නඟා ආණ්ඩු බල­යට පැමි­ණී­මට.

දැන් අපට ආණ්ඩු­වක් තිබෙ­නවා. මේ ආණ්ඩුව කාගේ ආණ්ඩු­වක්ද? මේක අපේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් සියලු දෙනාගේ ආණ්ඩුව. ජාති­වා­දය අවු­ස්සන්නේ නැති ආණ්ඩු­වක් දැන් අපට තිබෙ­නවා. සැමට සාධා­ර­ණව සල­කන ආණ්ඩු­වක් දැන් අපට තිබෙ­නවා. මහ­ජන මුදල් සොර­කම් කරන්නේ නැති ආණ්ඩු­වක් දැන් අපට තිබෙ­නවා.

පොදු ජන­තාව වෙනු­වෙන් මහන්සි වෙන ආණ්ඩු­වක් දැන් අපට තිබෙ­නවා. අලුත් සමා­ජ­යක් හදන්න පොර­බ­දන ආණ්ඩු­වක් දැන් අපට තිබෙ­නවා. සහෝ­ද­ර­ත්ව­යෙන් බය නැතිව ජීවත් වෙන්න පුළු­වන් ආණ්ඩු­වක් දැන් අපට තිබෙ­නවා. ඉතින් අප මේ ආණ්ඩුව ආරක්ෂා කළ යුතු නැද්ද? ඒ නිසා අප හැම දෙනා­ගේම වග­කීම තමයි මේ ආණ්ඩුව ආරක්ෂා කිරීම.

අප මේ ආණ්ඩුව ආරක්ෂා කරන්නෙ මොක­ටද?

එය සිදු කරන්නේ අප කාට­වත් පෞද්ග­ලික දෙයක් ලබා­ගැ­නී­මට නොවෙයි. මේ සමා­ජය වෙනස් කර­මින් වඩාත් සාධා­රණ යුක්ති­ග­රුක සමා­ජ­යක් බවට පත්ක­රන්න අපට අව­ශ්‍යයි. 1971 දිවි පිදූ සහෝ­දර, සහෝ­ද­රි­යන්ගේ බලා­පො­රොත්තු ඉටු­ක­රන තැනට අප යා යුතුයි. අප කතා කරන භාෂාව නිසා, අප අඳින ඇඳුම නිසා, අප පදිංචි ප්‍රදේ­ශය නිසා කිසි­ව­කුට වෙන­ස්කම් නොක­රන, හැමෝ­ටම යුක්තිය තියෙන, සැමට සාධා­ර­ණව සල­කන සමා­ජ­යක් අප හදන්න ඕනෑ. නීතිය සැමට සාධා­රණ විය යුතුයි. ඒ සඳ­හායි අප කට­යුතු කරන්නේ. එයට මෙම ආණ්ඩුව අව­ශ්‍යයි.

අප මේ වන විට දුෂ්ක­රතා මධ්‍යයේ ගම­නක් පැමිණ තිබෙ­නවා. ඉදි­රි­ය­ටත් අපට බාධා තියේවි. විරු­ද්ධ­වා­දීන් බාධා කරාවි. ඒ සියලු බාධා මැඬ­ගෙන අප ඉදි­රි­යට යන්න ඕනෑ. විනාශ කළ රටක් හදන්න අපට, ඔබට සිදුවී තිබෙ­නවා. බංකො­ලොත් වූ රටක් ගොඩ­න­ඟන්න අපට සිදුවී තිබෙ­නවා. ඒ වෙනු­වෙන් අපට ගොඩක් මහන්සි විය යුතුව තිබෙ­නවා. ඒ සඳහා කැප­කි­රීම් කළ යුතු වෙනවා. 1971න් ඒ සඳහා අපට ආදර්ශ ගත හැකියි.

අප රට ගොඩ­න­ඟන කට­යු­ත්තේදී මහ­ජ­න­තා­වගේ ආණ්ඩු­වට විරුද්ධ වන බල­වේග පර­ද්ද­මින් ජය­ග්‍ර­හ­ණය කරා ඉදි­රි­යට යා යුතුයි. අප සෑම දෙනාම එක­තුවී අපේ දෑත්ව­ලින් අලුත් සමා­ජය හදන්න ඕනෑ. එම සාධා­රණ සමා­ජය ගොඩ­න­ඟන්න ඕනෑ. සියලු දෙනා එක්වී ජය­ග්‍ර­හණ ආරක්ෂා කර­ග­නි­මින් නව සමා­ජය නිර්මා­ණය කිරී­මට ඉදි­රි­යට යමු කියා සියලු දෙනා­ගෙන් ඉල්ලා සිටි­නවා.

ආද­ර­ණීය සහෝ­දර, සහෝ­ද­රි­යනි. අප මීට අවු­රුදු 55කට පෙර සිදුවූ සන්නද්ධ නැඟි­ටී­මක් පිළි­බ­ඳව කතා කළා. අද මෙතන සිටින බොහෝ දෙනෙක් එදා ඉප­දිලා නොසි­ටින්න ඇති. එදා එතැන හොඳ අර­මු­ණක් තිබූ නිසා අප අද එකතු වී සිටි­නවා. හැබැයි අප එක­තුවී සිටින්නේ නිකන් සම­රු­වක් කරන්න නොවේ. 1971 අර­ග­ලය කියන්නෙ අපට අත්දැ­කීම් එකතු කර­ගන්න සිදු­වී­මක්.

ලෝකය පුරා විවිධ අර­ගල පැව­තියා. අර­ග­ල­ව­ලින් ලෝක ඉති­හා­සය පිරී තිබෙ­නවා. හැබැයි ඒ හැම අර­ග­ල­ය­කම අර­මුණු හොඳ නොවෙන්න පුළු­වන්. අපේ රටේ සිදුවූ 1971 අර­ගලයේ පවිත්‍ර අර­මුණු පව­ති­නවා. එහිදී දිවි පිදූ අය දිහා බැලු­ව­හම අප දකින්නෙ මොකක්ද?. ඔවුන් ආත්මා­ර්ථ­කාමී අර­මු­ණ­කින් අර­ග­ල­යට ආපු අය නොවෙයි.

සමා­ජ­යක් වෙනු­වෙන්, රටක් වෙනු­වෙන්, දේශ­පා­ල­නය වෙනු­වෙන්, නව සමා­ජ­යක් නිර්මා­ණය කිරී­මට අපේ පන්ති­යට දේශ­පා­ල­නය කිරී­මට ඇති අයි­තිය වෙනු­වෙන් සටන් වැදී­මට මෙන්ම දිවි පිදී­මට පුළු­වන් කියා 1971 පර­පුර ඔප්පු කළා.

තමන්ට රස්සා­වක් ගන්න, තන­තු­රක් ගන්න, ඇමැ­ති­කම් ගන්න කිසිම හීන­යක් ඔවුන් තුළ තිබුණේ නැහැ. ඔවුන් රෝහණ සහෝ­ද­ර­යාගේ ප්‍රධා­න­ත්ව­යෙන් 1965 දේශ­පා­ල­න­යක් පටන් ගත්තා. අපේ තිබූ පරණ සමා­ජය වෙන­ස්කර වඩා හොඳ, වඩා යහ­පත් සමා­ජ­වාදී සමා­ජ­යක් නිර්මා­ණය කිරීම එහි අර­මු­ණයි.

තමන්ට ජීවත් වෙන්න යහ­පත් ලෝක­යක් නිර්මා­ණය කර­ගැ­නී­මට ලෝකයේ ඉප­දුන මිනි­සුන්ට අයි­ති­යක් තිබෙ­නවා. ඒ අයි­තිය සඳහා කට­යුතු කරන විට එදා සිටි පාලක කණ්ඩා­යම් ඒ සඳහා විරුද්ධ වුණා. ඒ නිසයි 1971 අර­ගල නිර්මාණ වුණේ. එහි අඩු­පා­ඩු­ක­ම්ව­ලට වඩා ගත යුතු වටිනා දේ තිබෙ­නවා. 1971 සිදු වුණේ, මාන­ව­වාදී, දුක්වි­ඳින මිනි­සුන්ට වඩා හොඳ සමා­ජ­යක් නිර්මා­ණය කර­දීමේ අර­ග­ල­යක්. ඒ අර­ග­ලයේ ප්‍රජා­ත­න්ත්‍ර­වා­ද­යත් තිබුණා. ඒ තුළ වින­යක් හා සදා­චා­ර­යක් තිබුණා. එහෙම අර­ග­ල­යක අද්දැ­කීම් තමයි අප මේ බෙදා­ගන්නෙ.

කිසිම කෙනෙක් මැරෙන්න කැමැති නැහැ. හැබැයි හොඳ අර­මු­ණක් වෙනු­වෙන් මර­ණය තෝරා­ගන්න මිනිස්සු සිටි­නවා. තමන් ජීවත් වන සමා­ජයේ ගැටලු තිබෙ­නවා නම්, වඩා හොඳ සමා­ජ­යක් නිර්මා­ණය කිරීමේ අයි­තිය ජන­තා­වට නැද්ද? ඒ සඳ­හායි අප එදා ක්‍රියා කළේ. 1970 අගෝස්තු මාසෙ 12 දින එව­කට සිටි රාජ්‍ය ආරක්ෂ අමා­ත්‍යාං­ශයේ ස්ථිර ලේකම් ආතර් රාජ්කු­මාර් රත්න­වේල් කියන මහ­ත්තයා නිවේ­ද­න­යක් නිකුත් කර­නවා.

රටේ හිස ඔස­ව­මින් සිටින චේ ගුවේරා ව්‍යාපා­රය ආණ්ඩුවේ අංක එකේ මූලික හතු­රාය, එය හඹා ගොස් මුලි­නු­පුටා දැමිය යුතුය කියා. ඒ වන විට ජනතා විමුක්ති පෙර­මුණ අායුධ අර­ගෙන නැහැ. ඒ අනුව ආණ්ඩුව තීර­ණය කර­නවා අපේ ව්‍යාපා­රය විනාශ කළ යුතු බව. ඊට පසුව ජනතා විමුක්ති පෙර­මුණ සන්නද්ධ වෙනවා.

මොක­වත් තේරෙන්නේ නැති විප­ක්ෂ­යක් අපට සිටි­නවා. එවැනි කණ්ඩා­යම් සමඟ අපට සට­නක් තිබෙ­නවා. 1818 කැරැල්ල, මාතලේ කැරැල්ල අපට ඉති­හා­සයේ මත­කයි. කැරැ­ල්ලක් සඳහා සමා­ජයේ අව­ශ්‍ය­තා­වක් තිබිය යුතුයි. අපේ ව්‍යාපා­රය සට­න්කර ගොඩ­න­ඟපු ව්‍යාපා­ර­යක්. දණින් වැටෙන්නේ නැහැ, දෙප­යින් සිට සටන් කර අවශ්‍ය නම්, දිවි පුද­න්නත් සූදා­නම් කියා ඔප්පු කළ ව්‍යාපා­ර­යක් තමයි ජනතා විමුක්ති පෙර­මුණ.

හැම­දාම මිනි­සුන් පීඩා­වට පත්ක­රන්න බැහැ. 1971 ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය අහිමි කළ නිසා ඒ සටන සන්නද්ධ අර­ග­ල­යක් වුණා. හැබැයි අප දන්නවා පසු­ගිය 2022, 2023 කාල­යේදී ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය අහෝසි කරන්න නොහැකි වූ නිසා ඒක ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය අනුව සිදුවූ මහා නැඟි­ටී­මක් බවට පත්වුණා. එදා ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාට යන්න සිදු වුණා. නාමල් රාජ­පක්ෂ දැන් රුඟු­වාට මහ­ජන විරෝ­ධය නිසා හැංඟිලා සිටියා. මේ සියලු අත්දැ­කීම් සමඟ අප නව සමා­ජ­යක් නිර්මා­ණය කරන්න කට­යුතු කර­නවා.

අපට තිබෙන්නෙ දේශ­පා­ල­න­යෙන් විස­ඳන බාධක. මේක අලුත් ආණ්ඩු­වක්. මේක ඉති­හා­සයේ පළමු වතා­වට මුළු රටම එක­තුවී හැදූ ආණ්ඩු­වක්. අලුත් සමා­ජ­යක් හැදී­මේදී විවිධ දුෂ්ක­රතා තිබෙ­නවා. අප ඇවිත් මාස ගණ­නා­ව­කින් ජන­තා­වට සහන දුන්නා.

චීනය වත්මන් තත්ත්ව­යට ගෙන ඒමට විශාල කාල­යක් ගත්තා. ඒ නිසා අවු­රුදු 05කින් අපේ කාර්ය­භා­රය අව­සන් වෙන්නෙ නැහැ. එක රැය­කින් මුළු සමා­ජ­යම වෙනස් කරන්න බැහැ. ටොපිය කාලා කොළය මඟ දමන්නේ නැති අලුත් පර­පු­රක් අපට අව­ශ්‍යයි. ක්ලීන් ශ්‍රී ලංකා­වක් අපට අව­ශ්‍යයි. කරුණු කියාදී, නීති හදලා අප සමා­ජය වෙනස් කළ යුතුයි.

අප හදා­ගත්තු න්‍යාය පත්‍ර­ය­කම අපට යා නොහැකි වේවි. රට හදන්න අප වැඩ කරන විට දිට්වා සුළි කුණා­ටුව පැමි­ණියා. හැබැයි අප ජන­තා­වගේ ගැටලු ඉක්ම­නින් විස­ඳුවා. මාලිමා ආණ්ඩුව එයට නිවැ­ර­දිව මුහුණ දුන්නා. දැන් මැද­පෙ­ර­දිග යුද්ධය පැමි­ණියා. ඒක අප විසින් සිදු කළ දෙයක් නොවේ.

අප විශාල මහ­ජන ව්‍යාපා­ර­යක් නිර්මා­ණය කර තමයි බලය ලබා­ගත්තේ. දැන් විප­ක්ෂය බලා සිටින්නෙ රටට විප­තක් වී හෝ තමන්ට බලය ලැබෙයි කියා. මේකද විප­ක්ෂයේ කාර්යය. අපේ විප­ක්ෂය කියන්නෙ රටට විප­තක්. විප­ක්ෂය කරන කුම­න්ත්‍ර­ණ­ව­ලට මුහුණ දෙන්න අපට පුළු­වන්. 1971 අර­ග­ලයේ සිට මේ දරා­ගැ­නීම අපට පැමි­ණියා.

විප­ක්ෂයේ සිටින එක් කණ්ඩා­ය­මක් තමයි බලය සඳහා පාස්කු ප්‍රහා­රය දක්වාත් ගියේ කියා මිනිස්සු සැක කර­නවා. මිනී මතින් බලය ගන්න පාස්කු ප්‍රහා­රය සැල­සුම් කළා කියා අපේ සමා­ජයේ මත­යක් තිබෙ­නවා. ඔවුන් ඒක දින­පතා තහ­වුරු කර­නවා. මේ දින­වල පාස්කු ප්‍රහා­රය පිළි­බ­ඳව පර්යේ­ෂණ සිදු වෙනවා. ඒ පිළි­බ­ඳව අව­ධා­නය වෙනත් දෙස­කට යොමු­ක­රන්න අන්න මහ මොළ­ක­රුවො පොත් ලිය­නවා.

ඇත්ත මහ මොළ­ක­රු­වන් දෙසට පර්යේ­ෂණ යන විට නැහැ නැහැ එයා නොවේ, මහ මොළ­කරු මෙයා කියා පොත් ලිය­නවා. හැබැයි මිනිහා අපට මහ මොළ­ක­රුවො ටික පෙන්නුවා. පොත භාර­ගන්න මහ මොළ­ක­රුවො සෙට් එකම ආවා. ඇත්ත විත්ති­ක­රුවා හංගන්න රකින්න සම­හරු පොත් ලිය­නවා. එවැනි බාධා අපට තියෙ­නවා.

කැප කරන්න පුළු­වන් පක්ෂ­යක් හැම තැනම නැහැ. දැන් ලංකාවේ එහෙම පක්ෂ­යක් තිබෙ­නවා. ඒ තමයි ජාතික ජන බල­වේ­ගය. ඒ සඳහා ආද­ර්ශය ගෙනාවේ ජනතා විමුක්ති පෙර­මුණ. අප අව­සන් ජය­ග්‍ර­හ­ණය කරා ගමන් කර­නවා. අතී­තයේ අප පක්ෂ­යට විවිධ අව­ලාද නැඟුවා. අප ආවොත් පන්ස­ලට දානෙ දෙන්න ඉඩ දෙන්නෙ නැහැ කීවා. ඒවා වෙනස් කරන්න අපට යම් කාල­යක් ගත වුණා.

වර්ත­මා­නයේ සමා­ජය දියු­ණුයි. විප­ක්ෂ­යට වඩා ඉස්ස­ර­හින් තමා තරුණ ප්‍රජාව ඉන්නෙ. දැන් අපේ රටේ ජන­තාව අතර විශ්වා­සය, සහෝ­ද­ර­ත්වය හැදෙ­මින් සිටි­නවා. මෙතන අද සිංහල, දෙමළ, මුස්ලිම් ජන­තාව සිටි­නවා. 1971 අර­ග­ලය අපට මනු­ෂ්‍ය­ත්වය පිළි­බ­ඳව කියා දුන්නා. දූෂිත නැති ආණ්ඩු­වක් අපට තිබෙ­නවා. අපට දැවැන්ත නිවැ­රදි තීන්දු ගන්න පුළු­වන් බව ලෝකයා විශ්වාස කර­නවා. අප මරා දැමු­වද අප නැගූ හඬ සදා නොමි­යෙනු ඇත යනු­වෙන් රෝහණ විජේ­වීර සහෝ­ද­රයා ප්‍රකාශ කළා. පොතක් ලීවා. අර­මුණ හොඳයි නම් කිසි­ව­කුට කිසි­වෙක් පර­ද්දන්න බැහැ.

අපි උත්සාහ කරන්නෙ විදුලි කප්පා­දු­වක් නැතිව රට ගෙනි­යන්න. මේ සඳහා ජන­තා­වගේ සහාය අව­ශ්‍යයි. ඒ සඳහා අපේ ගෙදර විදු­ලිය භාවි­තය අඩු කරමු. අපි වැරදි නොක­රන ආණ්ඩු­වක්. ජන­තාව ඒ ගැන විශ්වා­සය තියා­ගන්න. අනෙ­කාගේ දුක තමන්ට දැනෙන්න ඕනෑ. අපට සහ­ක­ම්ප­නය අව­ශ්‍යයි. අපට ‘පොහො­සත් රටක් -ලස්සන ජීවි­ත­යක්‘ අව­ශ්‍යයි.