ගෑස් හිගයක් එනවා-චාමර

gas 750x375

හුඹස් බියක් විතරයි-විජිත

තව මාස තුනකින් රටේ ලිට්රෝ ගෑස් හිඟයක් අනිවාර්යයෙන්ම මතුවන බව නව ප්‍රජාතන්ත්‍රවාදී  පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි චාමර සම්පත් දසනායක  පාර්ලිමේන්තුවේදී ඊයේ (18දා) අනාවරණය කළේය.රටේ පාරිභෝගිකයන් 80%ක්ම භාවිත කරන්නේ ලිට්රෝ ගෑස්  වන අතර මෙතෙක් වසර දහයක් තිස්සේ රටට ගෑස් ආනයනය කළේ ඕමාන් රජය යටතේ වන නමුත් කැබිනට් අනුමැතියකින් ස්විට්සර්ලන්තයේ සමාගමකට එය පවරා ඇති බව මන්ත්‍රිවරයා පෙන්වා දුන්නේය. කෙසේ නමුත් ස්විට්සර්ලන්තයේ  අදාළ සමාගම කොන්දේසි පනවමින් සිටින නමුත්  මෙතෙක් ගිවිසුම අස්සන් කර නොමැති බවද ඔහු පෙන්වා දුන්නේය. 

ඔය අතර,කිසිසේත්ම අනාගතයේදී ගෑස් හිඟයක් රට තුළ ඇති නොවන බව අමාත්‍ය විජිත හේරත් පාර්ලිමේන්තුවේදී පැවැසීය. ගෑස් ආනයනය සඳහා නව සමාගමක් ටෙන්ඩර් පටිපාටිය මඟින් සොයාගත් අතර  එම සමාගමේ පළමු ගෑස් නැව ජනවාරි මස 5 වැනිදා වන විට දිවයිනට පැමිණෙනු ඇතැයිද අමාත්‍යවරයා කීය.

“පසුගිය දිනවල ගෑස් ලබාදුන්නේ ඕමාන් සමාගම තමා. ඕමාන් සමාගමට වඩා ඩොලර් සත 15ක් අඩුයි අලුත් සමාගමක් ටෙන්ඩරයට ඉල්ලුම් කළා. ඒ අනුව ටෙන්ඩර් කමිටුව ඒ අලුත් සමාගමට ලබා දුන්නා. ඒ ගිවිසුම අස්සන් කරලා තියෙන්නේ. තත්ත්ව පරීක්ෂා කරන්න අනුමැතිය දීලා තියෙනවා. පළමු නැව ජනවාරි 5 වෙද්දි ලංකාවට එනවා. කිසිදු ආකාරයක ගෑස් හිඟයක් ඇති වෙන්නේ නෑ. බොරුවට බියවද්දන්න එපා. රටක් විදිහට අපි සියලුදෙනා එකාවන්ව  නැඟිටිනවා. ඒ අධිෂ්ඨානය අපිට තියෙනවා.”