ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්රී දයාසිරි ජයසේකර විසින් පාර්ලිමේන්තු මන්ත්රී චාමර සම්පත් දසනායකට හදිසි දුරකතන ඇමතුමක් දී තිබේ. පසුගිය 14 වැනි දා ඩුබායි සිට දයාසිරි ජයසේකර විසින් මෙම දුරකතන ඇමතුම ලබාදී ඇති බව සඳහන්.
එදින ඩාර්ලි පාරේ ශ්රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති රැස්වීමකදී චාමර සම්පත් දසනායක මන්ත්රීවරයා විසින් දයාසිරි ජයසේකර මන්ත්රීවරයාගේ මන්ත්රී ධුරය සම්බන්ධයෙන් කරන ලද අදහස් දැක්වීමක් පිළිබඳ අදාළ වීඩියෝ පටයක් දයාසිරි මන්ත්රීවරයාගේ හිතවතුන් දෙතුන් දෙනෙකු විසින් වට්ස්ඇප් මාර්ගයෙන් ඩුබායිහි සිටි දයාසිරිට යොමු කර තිබෙනවා. එම වීඩියෝව බැලීමෙන් අනතුරුව දයාසිරි, චාමර සම්පත්ට දුරකතනයෙන් කතා කොට තිබේ.
ඊට පෙර සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර විසින් මැතිවරණ කොමසාරිස් ජනරාල්ට යොමු කරන ලද ලිපියක් වට්ස්ඇප් මාර්ගයෙන් දයාසිරි, චාමර සම්පත්ට එවා ඇත. සමගි ජන බලවේගයේ මහලේකම් විසින් මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයාට යවන ලද ලිපියක පිටපතක් මෙසේ දයාසිරි විසින් එවා ඇති බව සඳහන්. එම ලිපියේ සඳහන් වන්නේ 2024 පාර්ලිමේන්තු මහමැතිවරණය සඳහා ඍජුවම තරග කළ දේශපාලන පක්ෂ හෝ සහ වෙනත් කණ්ඩායම් දේශපාලන පක්ෂ සමඟ සන්ධානගතව තරග කරනු ලැබීම සනාථ කිරීම පිළිබඳවයි.
එහි දක්වා ඇත්තේ ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් දයාසිරි ජයසේකර කුරුණෑගල දිස්ත්රික්කයෙන් සමගි ජන බලවේගය සමඟ ඇති කරගත් එකඟතා ගිවිසුමක් ඇතිව සමගි ජන බලවේගයේ පක්ෂයේ දුරකතනය ලාංඡනය යටතේ තරග කළ බවයි. ඒ අනුව ජයසේකර මන්ත්රීවරයා ශ්රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්රීවරයෙක් ලෙස තේරී පත් වී ඇති බව වැඩිදුරටත් සඳහන් කරන බවද රංජිත් මද්දුමබණ්ඩාර සමගි ජන බලවේගයේ මහලේකම්වරයා මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයාට යොමු කර ඇති ලිපියේ සඳහන් ය.
මේ ලිපිය වට්ස්ඇප් මාර්ගයෙන් යොමු කිරීමෙන් අනතුරුව චාමර සම්පත්ට දුරකතනයෙන් කතා කළ දයාසිරි පවසා ඇත්තේ “ඔයා එදා පක්ෂ මූලස්ථානයේදී කරපු කතාවට මං ඔන්න සමගි ජන බලවේගයේ මහලේකම් මැතිවරණ කොමසාරිස් ජනරාල්ට යවපු ලියුම එවුවා. එතකොට මම ශ්රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්රීවරයෙක් ලෙස තමයි පිළිගෙන තියෙන්නේ. ඒක නිසා ශ්රී ලංකා නිදහස් පක්ෂයට අදාළ තනතුරු සම්බන්ධයෙන් මට ගැටලුවක් වෙන්නේ නෑ. ඒක මේ ලියුමෙන් පැහැදිලිව පේනවා. ඔයා ගෑස් සිලින්ඩරයෙන් තමයි තරග කළේ. මට එල්ල කරන තර්කයට අනුව එතකොට ඔයාටත් ශ්රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරක් ගන්න බෑනේ.
ඒ නිසා මේවා දැනගෙන කතා කරන්න…” යනුවෙන් දයාසිරි ජයසේකර, චාමර සම්පත්ට ප්රකාශ කර ඇති බව සඳහන්.
එම දුරකතන සංවාදයෙන් අනතුරුව චාමර සම්පත්, දයාසිරිට ප්රකාශ කොට ඇත්තේ ශ්රී ලංකාවට පැමිණි පසු හමුවී මේ පිළිබඳ සාකච්ඡා කරමු කියායි.