මාස දෙකකින් ගිහින් ලැබුණද නැද්ද අහන්න-ජනපති අනුර

cbab48bf cb90 4dfd 8416 df429c1f1da1 5d721ef6

ජනතාවට ආධාර ලැබී තිබේද? නැද්ද? යන්න සොයා බැලීමට තව මාස දෙකකින් ගෙයින් ගෙට යන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විපක්ෂයෙන් ඉල්ලා සිටියි. විපක්ෂය දැනට ආපදා කළමනාකරණ කමිටුවට පමණක් සහභාගි වීම ප්‍රමාණවත් යැයිද හෙතෙම කීය.

ආණ්ඩු බලය තිබෙන අය ලොකු හැඳිවලින් බෙදාගත් ඉතිහාසයක් අපේ රටේ තිබෙන නමුත් ජාතික ජන බලවේගය ආණ්ඩුව හැදුවේ ලොකු හැඳිවලින් ආණ්ඩුවට බෙදා ගන්න නොවේ යැයිද ජනාධිපතිවරයා අවධාරණය කරයි. ජනපති අනුර කුමාර දිසානායක මේ අදහස් පළ කළේ ඉකුත් (19දා) පාර්ලිමේන්තුවේදීය. එහිදී ඔහු මෙසේද පැවැසීය.

මෑත ඉතිහාසයේ අපි ඉදිරිපත් කරන විශාලතම පරිපූරක ඇස්තමේන්තුව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. අපි පසුගිය 05 වැනිදා දීර්ඝ විවාදයකින් පසු  2026 වසරට අවශ්‍ය වන අය-වැය ලේඛනය පාර්ලිමේන්තුවේ සම්මත කර ගත්තා. හැබැයි ඉතාමත් කෙටි කාලයක් තුළ අපිට නැවත රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කිරීමට සිදුව තිබෙනවා.

අපි ඉතා හොඳින් මූල්‍ය විනයක් සහ ඉලක්කයක් සහිතව වැඩ කරපු ආණ්ඩුවක්. මේ 2025 වසර ගත්තොත් මේ වසරේ අපි ආර්ථික ක්ෂේත්‍රයේ වැදගත් සාධක ගණනාවකින් ජයග්‍රහණ ලබා තිබෙනවා. මේ අවුරුද්දේ අපි අපේක්ෂා කළා බිලියන 4,960ක්, මේ 2025 දෙසැම්බර් 15 වන විට බිලියන 5,125ක ආදායමක් උපයා ගෙන තිබෙනවා. ඒ වගේම ණය සීමාව වැඩි නොකර තබා ගැනීමට අපිට පුළුවන් වුණා. මේ 2026 අය-වැය ලේඛනය ඉදිරිපත් කරන විට අපි කිව්වා බිලියන 3,800ක ණය සීමාවක් අපි අපේක්ෂා කරනවා කියලා. නමුත් අපි අය-වැය යෝජනා හරහා තවත් බිලියන 60ක් අඩු කර බිලියන 3,740ක ණය සීමාවක් පවත්වා ගෙන යනවා. අපි මේ බිලියන 500ක අතිරේක මුදල් යොදවන්නේ අපේ ණය සීමාව වැඩි කරන්නේ නැතිව.

මෙවැනි ප්‍රහාරයකට ඔරොත්තු දීමේ මට්ටමට මේ ආර්ථිකය වර්ධනය වෙමින් නොතිබූ බව අපි දන්නවා. බිඳ වැටුණු රටක් අපි පියවරෙන් පියවර ගොඩනඟමින් තිබූ අවස්ථාවක තමයි මේ කම්පනය අපේ ආර්ථිකයට ගෙනැවිත් දී තිබෙන්නේ. ඒ නිසා මේ කම්පනය සමනය කර ගැනීමට අවශ්‍ය වන ඉතා සියුම් මැදිහත්වීම ලබා දෙමින් මේ ආර්ථිකය කළමනාකරණය කර ගත යුතුයි.

 මේ ආපදා තත්ත්වයේදී ජනතාවට ආධාර ලබාදීම සඳහා අපි සතුව තිබු ට්‍රිලියන 1.2ක් වන සංචිත උපයෝගි කර ගත යුතුයි. අපි එය අතහරින්නේ නැහැ. ආණ්ඩු බලය තිබෙන අය  ලොකු හැඳිවලින් බෙදාගත් ඉතිහාසයක් අපේ රටේ තිබෙනවා.

නිවාස ගිනි තැබීමෙන් පසු මැති ඇමැතිවරුන්ට ඒවාට වන්දි ලබා දුන් ක්‍රමය සාධාරණද? තමන් විශාල පංගුවක් බෙදා ගැනීමේ පූර්වාදර්ශයක් හැමදාම මේ රටේ තිබුණා. ජනතාවට කුඩා හැඳිවලින් බෙදනවා. අපි ජාතික ජන බලවේගය ආණ්ඩුව හැදුවේ ලොකු හැඳිවලින් ආණ්ඩුවට බෙදා ගන්න නොවෙයි. අපේ අරමුණ වන්නේ ජනතාවට සාධාරණ ප්‍රතිලාභ ලබා දීමයි.  ඒ නිසා මෙම ප්‍රශ්නයෙන් ගොඩ ඒම සඳහා ජනතාවට සාධාරණ ලෙස  සහාය වීමට අපි මැදිහත් වී තිබෙනවා.

 මේ ජනතාවට යළි තමන්ගේ ජීවනෝපාය මාර්ග ආරම්භ කරමින් වඩා ස්ථාවර ජිවිතයක් ගත කිරීම සඳහා අවශ්‍ය මැදිහත් වීම අපි කරන්නේ කොහොමද කියන එකයි අපේ ප්‍රතිපත්තිමය ප්‍රවේශය වන්නේ. ඒ සඳහා තමයි අපි රුපියල් බිලියන 500ක් අපේක්ෂා කරන්නේ. අපි ලබන වසරට මිලියන 1,400ක ප්‍රාග්ධන වියදම් වෙන් කර තිබෙනවා. එම ප්‍රාග්ධන වියදම්වලිනුත් මේ ක්ෂේත්‍රයට යොමු කිරීම සඳහා බිලියන 130ක් පමණ හඳුනා ගෙන තිබෙනවා.

 බිලියන 72ත් සමඟ බිලියන 700කට වැඩි මුදලක් අපි මේ වෙනුවෙන් සමස්ත ප්‍රතිපාදන ලෙස වෙන් කර තිබෙනවා. ලෝක බැංකුව මේ පිළිබඳ සිදු කරන ලද දළ ඇස්තමේන්තුව ඇතුළත් වාර්තාවක් ලබන සඳුදා අපිට ලබා දීමට නියමිතව තිබෙනවා.

දැනට වාර්තා වී ඇති තොරතුරු අනුව පූර්ණ වශයෙන් හානි වූ නිවාස 6,228ක් තිබෙනවා. අර්ධ වශයෙන් හානි වූ NBRO අවසර ලබා නොදෙන නිවාස 4,543ක් තිබෙනවා. හානි නොමැති නමුත් NBRO අවසර නොදෙන නිවාස 6,877ක් තිබෙනවා. එසේ ගත් විට මුළු නිවාස 17, 648ක් තිබෙනවා. අපි පළමු කොටම මේ 17,648ට ජනවාරි මාසයේ සිට රුපියල් 50,000ක දීමනාවක් ලබා දෙනවා මාස 03ක් දක්වා.

අපි දන්නවා අවතැන් කඳවුරක ජීවිත මොනතරම් අසීරුද කියලා. ඒ නිසා අපේ අපේක්ෂාව වන්නේ මොවුන් ඉතා ඉක්මනින් එම ස්ථානවලින් ඉවත් කර මා පෙර පැවැසූ කාණ්ඩ 03 අනුව රුපියල් 25,000ක නිවාස කුලියක් දෙනවා ගෙදරට යන්න. ඥාති ගෙදරක ඉන්නවා  නම් ඒත් 25,000 ලබා දෙනවා. ඒ වගේම අපි තීරණය කර තිබෙනවා ඉතා වේගයෙන් නැවත වගාවන් ආරම්භ කිරීමට. වාරිමාර්ග දෙපාර්තමේන්තුව, පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ගොවි ජන සේවා දෙපාර්තමේන්තුවට අයත් ජලාශ විශාල ප්‍රමාණයකට හානි වුණා. ඒවා හැකි ඉක්මනින් ප්‍රතිසංස්කරණය කරමින් මේ මහ කන්නයේ ආරම්භය වෙනුවෙන් අවශ්‍ය ජලය ලබාදීම පිළිබඳ අපි දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට ගොස් සාකච්ඡා කළා. ඒ වගේම ඒ වගා කටයුතු නැවත ආරම්භ කිරීමට අවශ්‍ය සහන ලබා දුන්නා.

 ඒ අනුව වී, බඩඉරිඟු, රට කජු සහ ධාන්‍ය වර්ග වගා කර තිබෙනවා නම් හෙක්ටයාරයකට 150,000ක දීමනාවක් ලබා දීමට අපි තීරණය කළා. 

 ඒ වගේම මිරිස්, ලූනු, ගස් ලබු සහ කෙසෙල් වගා කළ අය එළවළු කණ්ඩායමට ඇතුළත් කර හෙක්ටයාරයකට රුපියල් ලක්ෂ 02ක් ලබාදීමට තීරණය කර තිබෙනවා.

සත්ත්ව පාලන ප්‍රශ්නය ඊළඟට අප මුහුණ දුන් විශාලතම ප්‍රශ්නයක්.

පළමු පියවර වශයෙන් ලියාපදිංචි ඒවාට අපි සැලසුම් සකස් කර තිබෙනවා. එහිදී දෙමුහුන් ගවයෙක් නැති වුවහොත්  ලක්ෂ දෙකක ආධාරයක් ලබා දෙනවා.  උපරිම ගවයන් 10ක් දක්වා රුපියල් ලක්ෂ 20ක ආධාරයක් ලබා දෙනවා. දෙමුහුන් නොවන දේශීය ගවයෙක් වෙනුවෙන්  රුපියල් 50,000 බැගින් ආධාර ලබා දෙනවා. උපරිම ගවයන් 20ක් දක්වා රුපියල් ලක්ෂ 10ක ආධාරයක් ලබා දෙනවා.

සූකර, එළු සහ බැටළු කියන සත්ත්ව වර්ග තුනෙන් එක සතෙක් අහිමිව තිබෙනවා නම් රුපියල් 20,000ක් උපරිම සතුන් 20ක් සඳහා ලබාදීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව යළි සත්ත්ව පාලනය නඟාසිටුවීමට එවැනි සැලසුම් අප සකස් කර තිබෙනවා.

 ඊළඟට කුකුළු පාලනයේදී එක එක ප්‍රබේදයන් ගණනාවක්  තිබෙනවා. මියගිය එක් ලේයර් සතෙක් සඳහා රුපියල් 500 බැගින් සතුන් 2,000ක් දක්වා ආධාර ලබා දෙනවා. එවිට සතුන් 2,000ක් අහිමිව ගියා නම් රුපියල් මිලියනයක් ලැබෙනවා. බ්‍රොයිලර් සතකුට රුපියල් 250 බැගින් උපරිම සතුන් 4,000ක් දක්වා ආධාර ලබා දෙනවා. ගොවීන් දිරි ගැන්වීම අරමුණු කර ගෙන සතුන් ලබා දුන් ගෙවතු, කුකුල් ගොවිපොළවල් විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඔවුන්ටත් අප රුපියල් 10,000ක ආධාරයක් ලබාදීමට තීන්දු කර තිබෙනවා. නැවත පළාත් සභාවෙන් පැටවුන් නොමිලේ ලබා ගන්නත් පුළුවන්.

 ධීවර කර්මාන්තයේ ප්‍රශ්න කිහිපයක් තිබෙනවා. රක්ෂණයෙන් ලැබෙන මුදල සීනෝර් ආයතනයට ලබා දෙන්නත්, සීනෝර් ආයතනයෙන් අලුත් බෝට්ටුවක් ලබා දීමට අප තීන්දුවක් ගත්තා.

 දැල් ආම්පන්න වෙනුවෙන් රුපියල් ලක්ෂයක වවුචරයක් ලබාදීමට කටයුතු කරනවා. ඒ  වවුචරය සීනෝර් ආයතනයට ලබා දීමෙන් පසු දැල් ආම්පන්න ලබා ගන්න පුළුවන්. නැවත ධීවර කර්මාන්තය දියුණු කරන්න අපිට අවශ්‍යයි.  ඒ වගේම පොඩි පොඩි හානි වී තිබෙන බෝට්ටු සීනෝර් ආයතනයෙන් නොමිලේ අලුත්වැඩියා කර යළි ලබා දෙනවා.

ඒ වගේම මිරිදිය කර්මාන්තයේ යෙදෙන ඔරුවක් වෙනුවෙන් රුපියල් ලක්ෂයක මුදලක් මෙන්ම, ධීවර සමිතිය හරහා උපරිම දැල් පහක් දක්වා එක දැලකට රුපියල් 15,000 බැගින් රුපියල් 75,000ක් ලබා දෙනවා. සමහර වැව්වල පැටවුන් සියයට 35%ක් පමණ ගසා ගෙන ගොස් තිබෙනවා. සමහර වැව්වල සියල්ලම ගසා ගෙන ගොස් තිබෙනවා. හානියට පත්ව තිබෙන ජලාශවලට ධීවර අමාත්‍යාංශයෙන් අවස්ථා දෙකකදී පැටවුන් ලබා දෙනවා.

 ආපදාවට පත්වූ පාසල් සිසුන්ට ජනාධිපති අරමුදලෙන් රුපියල් 10,000ක් සහ මහා භාණ්ඩාගාරයෙන් රුපියල් 15,000ක් ලබා දෙනවා.  අලුත් පාසල් වාරය ආරම්භ කිරීමට පෙර පාසල් සිසුන්ට මේ දීමනාව ලබාදීමට අපි උපරිම උත්සාහ කරනවා.

 ආපදාවෙන් හානි වූ ව්‍යාපාරික ස්ථානවලට කර්මාන්ත අමාත්‍යාංශයේ ලියාපදිංචි  වෙන්න කියලා අවස්ථාවක් ලබා දුන්නා, ඒ අනුව තනි ව්‍යාපාර,  ක්ෂුද්‍ර ව්‍යාපාර සහ සුළු ව්‍යාපාර  වශයෙන්  9,600ක් ලියා පදිංචි වී තිබෙනවා.  එම කර්මාන්තවලට යළි පණ දීමට මේ ව්‍යාපාර ස්ථාන  9,600ටම රුපියල් ලක්ෂ 2ක බැගින් ලබාදීමට අපි තීන්දු කර තිබෙනවා.

 ව්‍යාපාරික ගොඩනැඟිවලටද විශාල හානියක් සිදුව තිබෙනවා. අර්ධ හානියට පත් ව්‍යාපාරික ස්ථානයකට ආරම්භයක් වශයෙන් රුපියල් ලක්ෂ 5ක් ලබා දෙනවා. ඒක ප්‍රමාණවත් නොවන්නේ නම් තක්සේරු කර උපරිම ලක්ෂ 50ක් දක්වා ලබා දෙනවා.

 තමන්ට සිදුව ඇති හානිය රුපියල් ලක්ෂ 5 වැඩි නම්, රුපියල් ලක්ෂ 5 ආධාර මුදල අරගෙන තක්සේරු කරන්න බැහැ. ඊළඟට කර්මාන්ත අමාත්‍යාංශයේ ලියාපදිංචි නොවුණු, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් වෙළෙඳ බලපත්‍ර ලබා ගත් සුළු ව්‍යාපාරිකයන් විශාල ප්‍රමාණයක් සිටිනවා. නමුත් දත්ත තවම එකතු වී නැහැ. එනිසා දත්ත එකතු නොවී අපට තවම තීරණයක් ගන්න බැහැ.

 නමුත් කඩේ භාණ්ඩ සියල්ල විනාශ වුණා නම් යළි ව්‍යාපාරය ආරම්භ කරන්න  නම් ආණ්ඩුව ආධාර කරන්න අවශ්‍යයි. ඒකට  දත්ත නොමැති නිසා දිස්ත්‍රික් ලේකම්වරු හරහා ප්‍රා‍දේශීය වශයෙන් තිබෙන ව්‍යාපාර ස්ථාන සම්බන්ධව වාර්තාවක් ලබා ගෙන දීමනාවක් ලබාදීමට තීරණය කර තිබෙනවා.  ඉස්සන් වගාව වැනි මිල අධික මහා පරිමාණ ව්‍යාපාරවලට සහනශීලී ණයක් ලබාදීමට අප තීන්දු කර තිබෙනවා.

කුඩා පරිමාණ ව්‍යාපාරිකයන්ට ලක්ෂ දෙක හමාරේ සිට ලක්ෂ 10ක් දක්වාත්, මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට උපරිම ලක්ෂ 250ක් දක්වාත් ණය ලබා දෙනවා. ණය ලබා දීමේදී ආණ්ඩුව පොලියක් අය කරගන්නේ නැහැ. අපි බැංකුවලට මුදල් ලබා දෙනවා, බැංකු හරහා ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරනවා. ණය යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීමේදී පරිපාලන යම් වියදමක් යනවා. ඒ වියදමට සරිලන කුඩා පොලියක් බැංකුව අය කරයි. ණය මුදල් ලබා ගැනීමෙන් අනතුරුව නැවත ණය මුදල ගෙවීම සිදු කළ යුත්තේ මාස හයකින් පසුවයි.

 අපේ අරමුණ මේ ව්‍යසනයට පත්වූ අයගේ ජනජීවිතය යළි ගොඩනැඟීමයි. ඔවුන්ගේ ජීවිත අපට අත්හරින්න බැහැ. අපේ අභිප්‍රාය අනවසර ඉදිකිරීම් කියන එක ඉවත් කිරීමයි.  අපට මේ ආධාර ලබාදීමට යම් කාල රාමුවක් අවශ්‍යයි. මේක අද සම්මත වුණාට සඳුදා ගිහින් සල්ලි ගැන අහන්න එපා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් මේ ක්‍රියාදාමයන් සිදු වෙනවා. ඇත්ත ප්‍රශ්න විසඳන්න යම් ක්‍රම තිබෙනවා. ඇත්ත වශයෙන් මේ සියල්ල පුරවැසියන්ට ලබා දීමට නම් විපක්ෂයේද සහාය අවශ්‍යයි. පුරවැසියන්ට ආධාර ලැබී නොමැති නම් තව මාස දෙකක් ගිහින් ගෙයින් ගෙට යන්න. දැනට ආපදා කළමනාකරණ කමිටු රැස්වීමට යන්න.

 මේක අපි පියවරෙන් පියවර ආරම්භ කරනවා. පෙර සඳහන් කළ පරිදි  නාය යෑමට භාජන වූ කලාපවල පවුල් 17,648කටම මේ රුපියල් ලක්ෂ 50ක දීමනාව අපි ලබා දෙනවා. මේ සියල්ලම අවදානම් කලාපවලින් ඉවතට ගන්නවා. 2027 වන විට අධි අවදානම් කලාපවල කිසිදු පවුලකට ජීවත් වීමට නොහැකි වන පරිදි නීති සම්පාදනය කරනවා.

 ඒ වගේම පූර්ණ වශයෙන් හානි වූ නිවාස ගත් විට, කුරුණෑගල වගේ ප්‍රදේශවල පදිංචි වීමට සුදුසු ඉඩම් තිබෙන අයට රුපියල් ලක්ෂ 50 ලබා දෙනවා. නිවාස ඉදිකර දීමට  රජයේ ඉඩම් අත්පත් කර ගන්නා ලෙසට අපි දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් ලබාදී තිබෙනවා. අපි රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කළේ මේ ජනතාවගේ ජන ජීවිතය යළි ගොඩනැඟීමටයි.

යි හෙතෙම පැවසීය.