කුරුගොඩින් බිහිවුණු මාතලෙන් මතුවුණු සංහිඳියාවේ ප්‍රතිමූර්තිය

598760313 1381230566777028 3595326558700983427 n

“මාතලේ මීසාන් හාජියාර් නොහොත් මීසාන් මුදලාලි” ගේ ජීවිත කතාව එළිදක්වීමේ උත්සවය පසුගිය දා පැවැත්විණි.

1925 වසරේදී මීසාන් හාජියාර් මාතලේ නගරයේ මුලින් කුඩාවට සිය වෘත්තිය අරඹා ඉන් පසුව මධ්‍යම පළාතේ වැඩිම ආදායම් බදු ගෙවන්නා දක්වා ආ ගමන් මගත්, ඔහු විසින් සිදුකළ සමාජ දායකත්වයන් ගැනත් මීසාන් සමූහ ව්‍යාපාරයට සියවසක් ගතවන මේ මොහොතේ එලිදක්වන මෙම කෘතියේ සදහන්ව ඇත. මෙම කෘතිය මාතලේ සාහිරා විද්‍යාලයේ හිටපු විදුහල්පතිවරයෙකු වන මොහමඩ් ෆුවාජි මහතා විසින් රචනා කර ඇත.

මාතලේ මීසාන් හාජියාර් හෝ මීසාන් මුදලාලි [1911-1964] වශයෙන් වඩාත් හොඳින් හඳුනන සත්කෝරළේ මුහන්දිරම්ලෑගෙදර සේගු අබ්දුල් කාදර් හාජියාර් මොහමඩ් ස්වෝත්සාහයෙන් දියුණු වූ ශ්‍රේෂ්ඨ ශ්‍රී ලාංකේය ව්‍යාපාරික ධනපතියකු සහ සමකාලීනයන් අතර සියලු ආගම් සහ සමාජ කටයුතු සඳහා එක සේ සිය දායකත්වය ලබාදුන් පරිත්‍යාගශීලියකු වශයෙන් ප්‍රකටය.

 ගමේ ගරුකටයුතු පුද්ගලයකුද ප්‍රසිද්ධ ආගමික වියතකු වූ අබ්දුල් කාදර්ගේ පවුලෙන් ඔහු පැවත ආවේය. කාදර්ගේ දරුවෝ ගමේ පාසලෙන් ඔවුන්ගේ අධ්‍යාපනය ආරම්භ කළත් වයස අවුරුදු දොළහක් වන විට කුඩා මොහිඩීන් තීරණය කළේ සිය උපන්ගම අතහැර ගොස් එවකට ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් අත්දකිමින් සිටි මාතලේ දිස්ත්‍රික්කයේ මාතලේ ටවුම මධ්‍යයේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය සිය ඥාතියකු යටතේ ආධුනිකයකු වශයෙන් පුරුදු-පුහුණු වීමටය. ව්‍යාපාර දැවැන්තයන් බවට පසුකාලීනව පරිවර්තනය වූ බොහෝ අය ව්‍යාපාරයන් ආරම්භ කිරීමට පෙර ආධුනිකයකු වශයෙන් කවුරුන් හෝ යටතේ සේවය කරමින් ව්‍යාපාර කටයුතු පිළිබඳව ඉගෙන ගැනීම නිදහසට පෙර ශ්‍රී ලංකාවේ ඉතා සාමාන්‍ය සංසිද්ධියක් වූ බව ද මෙහිලා සඳහන් කළ යුතුය.     

600333451 1381230346777050 1207073733322659644 n

               නමුත් ඔහු වැඩි කලක් එම තත්ත්වයේ රැඳී නොසිටියේය. කොකෝවා, එනසාල්, කරාබුනැටි සහ පුවක් වෙළෙඳාම් කිරීමේ ව්‍යාපාරයෙන් ඔහුගේ උපදේශකයා පාඩු ලැබීමට පටන්ගෙන ව්‍යාපාරය වසා දැමීමට තීරණය කළ විට තරුණ මොහිඩීන් එම ව්‍යාපාරය තමන් යටතට ගෙන කල් යත්ම ඉන් මහත් සාර්ථකත්වයක් අත්කර ගත්තේය. ඔහුගේ ව්‍යාපාරය සාර්ථක වූයේ ඔහුගේ ගැනුම්කරුවන්  සහ ඔහුට නිෂ්පාදන විකිණූවන් යන දෙපාර්ශ්වයේම විශ්වාසය ඔහු දිනාගත් හේතුවෙනි. ඔහු සිංහල හා දමිළ ගොවීන්ගේ හා වැවිලිකරුවන්ගේ මිතුරකු වූ අතර ඔහු විසින් කෙමෙන් වැඩිදියුණු කළ ව්‍යාපාරය සීමාසහිත මීzසාන් (තුලාව) වෙළෙඳ සමාගම ලෙස නම් කළේය. එනයින්, වැඩි කල් නොගොස්, මොහිඩීන් නම් වූ ඔහු ජනතාව අතර මීසාන් මුදලාලි යනුවෙන් ප්‍රචලිත විය – සමහරවිට එවකට මාතලේ සිටි ඔහුගේ සමකාලීන සාර්ථක ව්‍යාපාරිකයන් අතර ප්‍රමුඛස්ථානය  ඔහු දෙසට නැඹුරු වන්නටද ඇත. නාගරික නිශ්චල දේපළ හා ඉඩකඩම් සම්බන්ධයෙන් මෙන්ම තේ හා රබර් වතු දෙසටද ඔහුගේ ව්‍යාපාරික අභිලාෂයන් නැඹුරු විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් වැඩි කල් නොගොස් අක්කර 3,000ක් ඉක්මවූ තේ වතුවල හිමිකාරයා බවට ඔහු පත්වූයේ මධ්‍යම පළාතේ ධනවතුන් අතර මුල්තැනක් පහසුවෙන්ම ඔහුට හිමිකර ගනිමිනි.

ස්වකීය සාධනීය ආනුභාවය කෙමෙන් වැඩි වත්ම, සිය නිජබිම වූ කුරුගොඩ මෙන්ම ඊට යාබද පන්ගොල්ලාමඩ වැනි ගම්මානවලටද සෙත සැලසෙන පරිද්දෙන් ජල සම්පාදන ව්‍යාපෘතියක් සඳහා අරමුදල් සැපයීම ද ඇතුළුව පුණ්‍ය කටයුතු සඳහා නොපැකිලව හා නිර්ලෝභීව වියදම් කරන්නට මීසාන් කටයුතු කළේය. නැඟී එන පහතරට ව්‍යාපාරිකයන් වූ ගුණසේන සහ ජෝන් මුදලාලි වැනි අය සමඟ එක්ව මාතලේ බෞද්ධාගමික කටයුතු සඳහාද යහමින් ධනය පරිත්‍යාග කළේය.

599945612 1381230210110397 7141811121981626068 n
600556423 1381230310110387 7570891279486950464 n
597757140 1381230176777067 4775831972313105208 n

සියලු ප්‍රජාවන් එකමුතුව ජීවත් වූ සහ එකිනෙකාට උදවු කරගන්නා නගරයක් වශයෙන් මාතලේ ප්‍රසිද්ධියක් ඉසිලීය. පරිත්‍යාගශීලී ප්‍රසිද්ධ චරිතයක් වශයෙන් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල ආධාරකරුවකු බවට පත් වූ හෙතෙම, ඩඩ්ලි සේනානායක හා ශ්‍රීමත් ජෝන් කොතලාවල වැනි එම පක්ෂයේ නායක-කාරකාදීන්ගේ පෞද්ගලික මිතුරකු ද විය. නගර සභාවට සහ පාර්ලිමේන්තුවට පත්කිරීම සඳහා සුදුසු අපේක්ෂකයන් එජාපයෙන් මැතිවරණයට ඉදිරිපත් කරන ලද්දේ මීසාන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුවය. මැතිවරණ සමයේ ඔවුන්ගේ වියහියදම් දැරුවේද ඔහුය.

ඔහුද නාගරික මන්ත්‍රිවරයකු වශයෙන් කටයුතු කළ අයෙකි. අලුවිහාරේ පරපුරේ පුරුක් කිහිපයක්ම ඔහු සමඟ සමීප සබඳතා පැවැත්වූහ. කුරුගොඩ නිජබිම කරගත් තවත් දේශපාලකයකු වූ ACS හමීඩ්ට නිර්ලෝභීව මාර්ගෝපදේශ ලබාදෙමින්,  ශ්‍රී ලංකා දේශපාලන ධූරාවලියේ ඉහළතම තනතුරක් වන විදේශ කටයුතු ඇමැතිවරයා වශයෙන් පත්වීම් ලැබීම සඳහා මඟ එළිපෙහෙළි කළේද මීසාන්ය. එජාපයේ දුෂ්කර මෙන්ම පැහැබර කාලයන් හිදී ද එහි ප්‍රබල ආධාරකරුවකු සහ මූල්‍ය සම්පාදකයකු වශයෙන් ඔහු පක්ෂය සමඟ නිරන්තරයෙන් රැඳී සිටියේය.

1965දී ඔහුගේ වයස අවුරුදු පනස් හතරක් පමණක් වන විට ඔහු අකාලයේ මරණයට පත් වීම හේතුවෙන් ඔහුගේ පෞද්ගලික මිතුරියක වූ සිරිමාවෝ බණ්ඩාරනායක විසින් නායකත්වය දුන් 1970 වසරෙන් පසු පත් වූ සන්ධාන රජය යටතේ සිදුවූ උච්ච දේශපාලන පළිගැනීම්වලට ඔහු ගොදුරු නොවූවත් මීසාන්ගේ විශාල පවුලට ඔවුන්ගේ ජීවනෝපාය අහිමි කරන ලද්දේ ඔවුන් සතු වතුයායන් සියල්ලම පාහේ රජයට පවරා ගැනීමෙනි. වාසනාවකට මෙන් ඔහුගේ බොහෝ දරුවන් හොඳින් අධ්‍යාපනය ලැබූවන් වූ අතර ඔවුන්ගේ පියාගේ මුල්කාලීන ගෝලයා වූ ACS හමීඩ් විසින් වුවමනා අවස්ථාවේදී උදවු කිරීම අනපේක්ෂිත ලෙසින් මඟහැරියේ වුවද, ඔහුගේ බලවත් විරෝධතාව මධ්‍යයේ ජනාධිපති ප්‍රේමදාස විසින් සහනයක් ප්‍රදානය කරන තෙක් ඉවසීමෙන් යුතුව සිටින්නට තරම් පරිණත බවක් ඔවුන් සතු විය.