මෝදී එවපු ලිපිය මෙන්න.

602369956 1297891615703789 209834672327718487 n 1170x876

දිට්වා සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාවේ සහන, ප්‍රතිසාධන සහ පුනරුත්ථාපන කටයුතු සඳහා සහාය වීමට ඉන්දියාවේ කැපවීම නැවත තහවුරු කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

අඛණ්ඩ සහයෝගීතාවය සහ පුළුල් ආධාර පැකේජයක් සාකච්ඡා කිරීම සඳහා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා විශේෂ නියෝජිතයෙකු ලෙස යවා ඇති බව ලිපියෙන් සදහන් කර ඇත.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කළ විශේෂ ලිපියේ සිංහල පරිවර්ථනය පහත දැක්වේ.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති
අතිගරු අනුර කුමාර දිසානායක මහතා
අතිගරු ජනාධිපතිතුමනි,

‘දිට්වා’ සුළි කුණාටුවෙන් පසු ඔබේ රට යථා තත්ත්වයට පත්වෙමින් සිටින මොහොතක, සහන සැලසීමේ සහ යළි ගොඩනැගීමේ වැඩපිළිවෙළහිදී ඉන්දියාවට ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් කටයුතු කළ හැක්කේ කෙසේද යන්න පිළිබඳව සාකච්ඡා කිරීමට මම විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා මගේ විශේෂ නියෝජිතයා ලෙස එවමි.

අපගේ ‘අසල්වැසියාට ප්‍රමුඛතාවය’ යන (Neighbourhood First) ප්‍රතිපත්තිය සහ පළමුව ප්‍රතිචාර දැක්වීම සඳහා වන කැපවීම (First Responder) අනුව යමින් අපි, හදිසියේ පැන නැඟුණු අභියෝගවලට මුහුණ දීම සඳහා ‘සාගර් බන්ධු’ (Operation Sagar Bandhu) මෙහෙයුම දියත් කළෙමු. ඉන්දියානු නෞකා, ගුවන් යානා සහ හෙලිකොප්ටරවලින් සහන සැපයුම් සහ කඩිනමින් අවශ්‍ය ද්‍රව්‍ය රැගෙන එන ලදී. ඒවා ජනතාව මුදා ගැනීමේ කටයුතු සඳහා සහායක් වූ අතර, හදිසි වෛද්‍ය සේවා ක්‍රියාත්මක කිරීම සහ බිඳවැටුණු සන්නිවේදන පද්ධති ප්‍රතිස්ථාපනය කිරීම උදෙසා විශේෂ ඉන්දියානු කණ්ඩායම් යොදවන ලදී.

‘සාගර් බන්ධු’ මෙහෙයුම ආපදාවට පත් වූ ජනතාවගේ ජිවිත බේරා ගැනීමට ඉවහල් වූ අතර එය අප දෙරට අතර සබඳතාවන්හි පුළුල් සහ ගැඹුරු ප්‍රකාශනයක් ලෙස පිළිගැනීමට ලක් වීම පිළිබඳව අපි සතුටු වෙමු.


ශ්‍රී ලංකාව දැන් මීළඟ අදියර කෙරෙහි අවධානය යොමු කරන බැවින්, විශ්වාසවන්ත පාර්ශ්වකරුවෙකු සහ විශ්වාසදායක මිතුරෙකු ලෙස ඉන්දියාව හැකි සෑම සහයෝගයක්ම ලබා දෙන බව මම ඔබට සහතික කිරීමට කැමැත්තෙමි.

ශ්‍රී ලංකාවේ ජන ජීවිත යළි ගොඩනැගීමේදී සහ ඔරොත්තු දීමේ හැකියාව තහවුරු කිරීමේදී අතීතයේ මෙන්ම, අපි ඔබ සමඟ උරෙන් උර ගැටී සිටින්නෙමු. මෙම තත්ත්වය තුළ, ඉන්දියාව විසින් පුළුල් ආධාර පැකේජයක් (comprehensive assistance package) ලබා දෙන බව මම ඔබට සතුටින් දන්වා සිටිමි. එම ආධාර පැකේජය වඩාත් හොඳින් ක්‍රියාත්මක කළ හැකි ආකාරය පිළිබඳව ඔබේ රජය සමඟ සාකච්ඡා කරන ලෙස මා විසින් අමාත්‍ය ජයශංකර් මහතාට දන්වන ලදී.

ශ්‍රී ලංකාව පෙරටත් වඩා සවිමත්ව යළි නැගී සිටිනු ඇතැයි මම විශ්වාස කරමි. මෙම ගමන් මඟෙහිදී මෙන්ම,ජාතික සංවර්ධනයේදී සහ ප්‍රගතියේදීද, සැමවිටම ශ්‍රී ලංකාවට ඉන්දියාව තමන් පසෙක සිටිනා බව දැක ගැනීමට හැකි වනු ඇත.

අතිගරු ජනාධිපතිතුමනි, මාගේ ඉහළම සැලකිල්ල පිළිබඳ තහවුරුව පිළිගන්න.
නරේන්ද්‍ර මෝදී
ඉන්දීය අග්‍රාමාත්‍ය