තමන් ඊළඟ නගරාධිපතිවරයා වන බවට මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළද, මොන පළාත් පාලන පනතේ ද, ව්‍යවස්ථාවේ ද ඔහු එලෙස වන බව තිබෙන්නේ කියා නොදන්නා බව කැබිනට් ප්‍රකාශක, ඇමැති, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (23) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.
පවතින නීතිය අනුව අයවැයක් පරාජයට පත් වූ පසු නැවත අයවැයක් ඉදිරිපත් කිරීමක් සිදුවන බවත් එසේ නැත්නම් අවුරුදු දෙකක ඒ සභාපතිට, නගරාධිපතිට සභාව පවත්වා ගෙන යෑමට පුළුවන් බවත් හෙතෙම කීවේය. සාමාන්‍යයෙන් කවුරුත් දන්නා නීතිය අනුව සභාපතිවරයා හෝ නගරාධිපතිවරයා වෙනස් නොවන බවද ඒ මහතා කීවේය.
සති දෙකක් ඇතුළත යළි අය – වැය ඉදිරිපත් කරන බව පැවසූ ඇමැතිවරයා එය ජයග්‍රහණය කිරීමට විපක්ෂයේ මන්ත්‍රීවරු සහයෝගය ලබාදෙනු ඇති බව පැවසීය.
ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.
“කොළඹ මහ නගර සභාවේ අයවැය ඡන්ද තුනකින් පරාජයට පත්වුණා. යළිත් වතාවක් අයවැය ඉදිරිපත් කරාවි. පසුගිය කාලවල විවිධ සභාවල අයවැය දිනුවා, පැරදුණා. අපි මුල් වතාවේම බලය පිහිටුවපු සමහර සභාවල අය වැය අප දිනුවා. කිහිපයක් පරාජයට පත්වුණා. සජබ මුල් වටයේ බලය පිහිටුවපු සභා කිහිපයක් දිනුවා. සමර ඒවා පැරදුණා. එකතු කරගෙන බලය හදපුවා නොවෙයි. මැතිවරණ ප්‍රතිඵල අනුවම සජබ බලය පිහිටවපු සභාවල අය වැය ජයග්‍රහණය කරන්න බැරි වුණා. එකතු කරගත්තේ කවුද කියලා මට කියන්න බැහැ රහස් ඡන්ද තිබුණු නිසා. ඒ අය සුන්බුන් අයද, හොඳ අයද. උදව් කළේ මොන පදනමකින්ද කියන්න බැරි තිබුණේ රහස් ඡන්දයක් නිසා. ගංවතුරෙදි සියලු මන්ත්‍රීවරුන්ට උපකරණ දී වැඩ කරන්න සහාය දුන්නා මිස ඒකෙන් අය වැයට අත ඔසවා ගන්න බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. අපිට වැදගත් වුණේ අය වැය ජයග්‍රහණය කරන එක නොවෙයි. ආපදාවේදී ජනතාවට සහන සලසන එක. විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරුත් මහජනතාවගේ නියෝජිතයන්. වැඩ කරගන්න අවස්ථාව දෙන්න ඕනෑ.”