නියෝජ්‍ය ඇමැති නීතිඥ සුනිල් වටගල මහතා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරිකයකු වන ආචාර්ය මහින්ද පතිරණට එරෙහිව රුපියල් බිලියන 10ක වන්දියක් ඉල්ලා කඩුවෙල දිසා අධිකරණයේ නඩුවක් පවරා තිබේ.
ඒ පසුගියදා නියෝජ්‍ය ඇමැති නීතිඥ සුනිල් වටගල මහතා සම්බන්ධයෙන් කරන ලද අසත්‍ය ප්‍රකාශයක් හේතුවෙන් ඒ මහතාට අපහාසයක් සිදුව ඇති බවට චෝදනා කරමිනි.
කඩුවෙල දිසා අධිකරණයේ අංක 8892/එම් යටතේ පවරා ඇති මෙම නඩුව මඟින් නියෝජ්‍ය ඇමැති නීතිඥ සුනිල් වටගල මහතා මහින්ද පතිරණ මහතාගෙන් රුපියල් බිලියන 10ක වන්දි මුදලක් ලබා දෙන ලෙසට ඉල්ලා ඇති අතර මහින්ද පතිරණ මහතා තමාටත් තම දේශපාලන ව්‍යාපාරයටත් අපහාස කිරීමේ අරමුණින් සිතාමතාම අසත්‍ය කරුණු ප්‍රචාරය කිරීම තුළින් මෙම අපහාසය සිදුකර ඇති බවට සුනිල් වටගල මහතා අධිකරණයට කරුණු සැලකර තිබේ.
මහින්ද පතිරණ මහතා 2025 සැප්තැම්බර් මාසයේ දිනක ප්‍රසිද්ධ කරන ලද ෆේස්බුක් පළ කිරීමක් මඟින් නියෝජ්‍ය ඇමැති නීතිඥ සුනිල් වටගල මහතාට කොළඹ සිනමන් ලයිෆ් නිවාස සංකීර්ණයේ සුඛෝපභෝගී නිවාසයක් ඇති බවට අසත්‍ය සහ ද්වේෂසහගත ප්‍රකාශයක් සිදුකර ඇති බවත් එම නිවාසය මිලදී ගැනීම සඳහා මුදල් සොයාගත් ආකාරය සැක සහිත බවත්, එය අල්ලසක් විය හැකි බවටත් ආදි වශයෙන් කරුණු දක්වා තිබූ බවත් ඒ සියල්ල මුළුමනින්ම අසත්‍ය හා සාවද්‍ය බවත් නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා තම පැමිණිල්ලෙන් දක්වා තිබේ. තවද මහින්ද පතිරණ මහතා සචින් රත්වත්තේ නමැති පුද්ගලයකුගේ ෆේස්බුක් ගිණුමක් උද්ධෘත කරමින් මෙම ප්‍රකාශය සිදුකර ඇති බවත්, එම ෆේස්බුක් ගිණුම සත්‍ය එකක් ද නැද්ද යන්න පවා සැක සහිත බවත් නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා තම පැමිණිල්ලෙන් ප්‍රකාශ කර තිබේ.
මහින්ද පතිරණ මහතාගේ පළ කිරීම බොහෝ සේ සමාජගතව ඇති බවත් එයින් තම කීර්ති නාමයට බලවත් අපහාසයක් සිදුව ඇති බවත් නියෝජ්‍ය ඇමැති නීතිඥ සුනිල් වටගල මහතා එම පැමිණිල්ලෙන් දක්වා ඇති අතර ඒ සම්බන්ධයෙන් කරුණු නිවැරදි කරන ලෙස හෝ වන්දි ගෙවන ලෙස ඉල්ලා යවන ලද එන්තරවාසිය ප්‍රතික්ෂේප කිරීමක් මහින්ද පතිරණ මහතා විසින් සිදු කර නොමැති බවත් වටගල මහතාගේ පැමිණිල්ලේ සඳහන් කර තිබේ.