රටක ප්‍රධාන වශයෙන්ම ආර්ථික ශක්තියක් ඇති කරලීමෙහිලා එරට රාජ්‍ය බැංකු පද්ධතියක් වේ නම් එයට පැවරී ඇති වගකීම හා වගවීම අතිමහත්ය. ජනතාවගේ විශ්වාසය මෙන්ම රජයේ විශ්වසනීයත්වය රඳා පවතින්නේද ඒ කෙරෙහිය. ස්ථාවර තැන්පතුවක් ආරම්භ කිරීමේදී පවා ගනුදෙනුකරුවන් නිරතුරුවම තම ආරක්ෂාව පතා රාජ්‍ය බැංකු කරා ඇදෙනු පෙනේ. එහෙත් ඒ රාජ්‍ය බැංකු කිසිදු වගකීමකින් වගවීමකින් තොරව ගනුදෙනුකරුවන්ගේ තැන්පතු වෙනත් ආයෝජන කරා යොමු කරන්නේ නම් හෝ වගකීමක් නිසි ඇපයක් පවා නැතිව අතිවිශාල ණය ලෙස තවත් පාර්ශ්වයකට දෙන්නේ නම් හෝ එතැන ඇති වන්නේ විශ්වාසයක් නොව, දැඩි ව්‍යාකුලත්වයකි. එක් බැංකුවක එවන් වගකීම් විරහිත කාර්යයක් සිදු වුව හොත් රාජ්‍ය බැංකු පද්ධතියටම එය බලපාන්නේ ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය පළුදු වන බැවිනි.
අප අද කතා කරන්නට යන, මෙරට පැරණිතම ඉතුරුම් බැංකුව වන ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ඉතිහාසය ශතවර්ෂ දෙකක් පමණ – එනම්: වසර 190ක් දක්වා ඈතට – විහිදී යන්නකි. බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ – එනම්: 1832 වසරේදී – මෙරට ආරම්භ කරන ලද ‘ලංකා ඉතිරිකිරීමේ බැංකුව’ එහි මූලාරම්භය වේ. පසුව 1885 වසරේ ‘තැපැල් ඉතිරිකිරීමේ බැංකුව’ ආරම්භ විය. තැපැල්පති දෙපාර්තමේන්තුවේ ‘ඉතුරුම් සහතික අංශය’ 1938දී ආරම්භ කරනු ලැබූ අතර, 1942දී ‘ජාතික ඉතිරිකිරීමේ ව්‍යාපාරය’ ආරම්භ විය. ඒ ඔස්සේ යමින් 1972 වසරේදී පාර්ලිමේන්තු පනතක් මඟින් විශේෂ ඉතුරුම් බැංකුවක් ලෙස ‘ජාතික ඉතිරිකිරීමේ බැංකුව’ පිහිටුවන ලදි.
ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ (NSB) දැක්ම ලෙස දක්වා ඇත්තේ ‘ශ්‍රී ලංකාව ආසියාවේ ප්රාතිහාර්ය බවට පත් කිරීමේ අරමුණින්, සියලු ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ඉහළ වටිනාකමක් ගොඩනැඟීම සඳහා නවෝත්පාදන ඉතිරිකිරීමේ විසඳුම් සැපයීම මගින් ජාතික සංවර්ධනයට දායක වීම’ යි. එමෙන්ම එහි මෙහෙවර ප්‍රකාශය ‘ශ්‍රී ලංකාව ආසියාවේ ප්රාතිහාර්යයක් බවට පත් කිරීමේ ජාතික අරමුණට දායක වෙමින්, ගනුදෙනුකරුවන්ට විශ්වාසවන්ත හා ඉහළ වටිනාකමක් ලබා දෙන ඉතිරිකිරීම් විකල්පයක් බවට පත් වීම සහ රටේ මූල්‍ය ස්ථාවරත්වයට ශක්තියක් වීම’ යි.
මේ මෙහෙවර හා දැක්ම ස්ථාපිත කිරීම පිණිස ජාතික ඉතිරිකිරීමේ බැංකුව ගමන් කර ඇත්තේද? විශේෂයෙන්ම 2013 වසරේ සිට 2023 වසර දක්වා වූ වසර 10කට වැඩි කාලය තුළ බැංකුව නොවැටී බේරී ඇත්තේ සාමාන්‍ය ගනුදෙනුකරුවන් තුළ තිබූ විශ්වාසය නිසාය. බැංකුව අභ්‍යන්තරයේ සිදු වූ සිදු කළ කෙරුවාවල් ඔවුන් දන්නේ නම් ඔවුහු වහ වහාම තම තැන්පතු ඉවත් කරගනු නියතය. ගනුදෙනුකරුවන්ගේ වාසනාවට දැන් ඒ තත්ත්වය වෙනස්ව ඇත. විශේෂයෙන්ම දේශපාලන ආඥාවලට අනුව බැංකුව ණය දීම් සිදු නොකරන නිසා මේ වන විට බැංකුවේ ස්ථාවරත්වය සහතික වී තිබේ.
ජාතික ඉතිරිකිරීමේ බැංකුව සෙසු බැංකුවලට වඩා වෙනස් වන්නේ කෙසේදැයි යන්න අප මුලින්ම සලකා බැලිය යුතු වන්නේය.
සාමාන්‍ය වාණිජ බැංකුවක් විසින් දෙනු ලබන ණය දීම සඳහා ජාතික ඉතිරිකිරීමේ බැංකුවට හැකියාවක් නැත. එමෙන්ම එම බැංකුවේ තැන්පතුවලින් අවම වශයෙන් 60%ක් භාණ්ඩාගාර බැඳුම්කර හා භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය කළ යුතුය. ණය දීම් හා සෙසු ආයෝජන කළ හැක්කේ ඉතිරි 40%ක ප්‍රමාණයෙන් පමණි. එයින්ද පෙර පැවසුවාක් මෙන්, වාණිජ ණය සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ණය දිය නොහැකිය.
එසේ නම් බැංකුවට දිය හැකි ණය වර්ග මොනවාද?
ඔවුන්ට ‘නිවාස ණය’ දිය හැකිය; පුද්ගල ඇප මත ‘පෞද්ගලික ණය’ (Personal Loan) දිය හැකිය. ඒ ‘පෞද්ගලික ණය’ පවා කිසිදු ව්‍යාපාරික කටයුත්තකට විය නොහැකිය. මීට අමතරව ‘ආයතනික ණය’ රජයේ ආයතනවලට දිය හැකිය. එමෙන්ම පෞද්ගලික ආයතනවලට ණය දෙන්නේ නම් එය දිය හැක්කේ තවත් බැංකු සම්බන්ධ කරගෙන පමණි. එසේ ණය දිය හැක්කේද මූල්‍ය කටයුතු සම්බන්ධ ණය පමණි. ඒ සඳහා පැහැදිලි අය කරගැනීමේ ක්‍රමවේදයක් තිබිය යුතුය. ඒ අනුව සාමාන්‍ය වාණිජ බැංකුවල ණය දීම් ඇතුළු බොහෝ ආයෝජන ක්‍රමවේදවලට වඩා ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ වපසරියට රාමු, සීමා බන්ධන තිබේ. එහි කාර්යභාරයද වෙනස්ම වූවක් බව පැහැදිලිය.
එමෙන්ම 2025/ 2026/ 2027 බැංකුවේ උපාය මාර්ගික ව්‍යාපාර සැලැස්මට අනුව වසර 3ක් තුළ එනම් 2027 වන විට මුළු තැන්පතුවල 27%ක් තැන්පතු වර්ධනයක් අපේක්ෂා කර ඇත. එමෙන්ම වසර 3 තුළදී සියලු අංශවල ප්‍රගතිය 10%ක් වර්ධනය කරගැනීමත් බැංකුවේ ඩිජිටල් පරිවර්තනයක් ඇති කරගැනීමත් අපේක්ෂා කර ඇත. මෙහිලා විශේෂිතම කරුණ ලෙස දැක්විය හැක්කේ 2027 වන විට අක්‍රිය ණය අනුපාතය 3.5%ක් ලෙස පවත්වාගැනීමට අපේක්ෂා කිරීමයි. එසේම, විදෙස් ප්‍රේෂණද 10%කින් වර්ධනය කරගැනීම තවත් විශේෂ අපේක්ෂාවක් ලෙස දක්වා ඇත. එසේම 2027 වන විට මෙරට වටිනාම සන්නාම 5 අතරට යෑමද බැංකුවේ අපේක්ෂාව වී ඇත. එලෙස විශේෂිත වූ ප්‍රධාන ඉලක්ක 10ක් මේ උපාය මාර්ගික ව්‍යාපාර සැලැස්මේ දක්නට තිබේ.
එවන් සුපිරි ඉලක්ක කරා ගමන් කරන්නට බැංකුව කටයුතු කරන අතරේ බැංකුව විසින් තම මහා පරිමාණ ණයගැතියන් කෙරෙහි දක්වා ඇති මන්දගාමි අලස තත්වය ගැන මෙහිදී සලකා බැලිය යුතුය. කෝප් කමිටුවේදී අනාවරණය වූයේ ඇඟ කිලිපොළා යන කරුණු රැසකි. අප පෙර පැවසුවාක් මෙන් මේ සම්බන්ධයෙන් ගනුදෙනුකරුවන් මීට කලකට පෙර මේ තත්වය දැනගත්තේ නම් අද වන විට ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ගොඩනැඟිලි හා සේවක සේවිකාවන් පමණක් ඉතිරි වන්නට ඉඩ තිබිණි.
විශේෂයෙන්ම 2025.09.30 දිනට වූ ණය වාර්තාව අනුව වාහන ණය, ආයතනික ණය, නිවාස ණය ස්ථාවර තැන්පතු මත ණය හා පෞද්ගලික ණය ආපසු නොගෙවීමේ හෙවත් අය විය යුතු ණය ප්‍රමාණය රු. බිලියන 365ක් හෙවත් කෝටි 36, 500කි. එයින් රු. බිලියන 34.48ක් හෙවත් රු. කෝටි 3448ක් සම්පූර්ණයෙන්ම අක්‍රිය ණය ගොන්නට වැටී ඇත.
සංඛ්‍යාව ගැන අපි නැවතත් විග්රහ කර බලමු. රුපියල් කෝටි 3,448ක් හෙවත් මිලියන 34,480කි. එය ලක්ෂවලින් පෙන්වා දෙන්නේ නම් 344,800කි. එනම් රු. 34,480,000,000.00කි. ගාන කියවා ගන්නටත් බැරිය. මෙය ශුද්ධ ව්‍යවහාරික භාෂාවෙන් කියන්නෙ නම් බැංකුවට ලැබුණු හොඳ පොල්ලකි.
බැංකුවට ලැබිය යුතු පෞද්ගලික ප්‍රමාණය රු. බිලියන 202කි; එනම්, රු. කෝටි 20,200කි. එයින් 11.82%ක් අක්‍රිය ණය ගොන්නට වැටී ඇත. ආයතනික ණය රු. බිලියන 68කි. එයින් 8%ක් අක්‍රිය ණය වී ඇත.
මෙහිදී අප විශේෂ අවධානයෙන් සොයා බැලිය යුතු ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් ණය දෙනු ලැබූ ආයතන කිහිපයකි. ඒ අතර,
1. ආර්.පී.අයි. ප්‍රයිවට් ලිමිටඩ්
2. ටෙක්නොපාක් ඩිවලොප්මන්ඩ් කොම්පැනි
3. බිම්පුත් ෆිනෑන්ස් කම්පැනි
4. මවුන්ට් ලැවිනියා හොටෙල්
මේ ආයතන 4 සඳහාම බැංකු ණය දී ඇති අතර, ඒ ණයවලින් කොපමණ ආපසු ලැබුණේද?
බැංකුවට අය විය යුතු ණයවලින් 78%ක් විදේශීය සමාගමකට දුන් ණය බව වාර්තා වී ඇත. අපූරුය. අය විය ණයවලින් 78%ක් විදේශීය සමාගමකට දුන්නේ කුමන කොන්දේසි අනුවද? එයට අණ දුන්නේ කවුරුන්ද? ඇප කොන්දේසි නිසි පරිදි සපුරා තිබුණේද? ඒ ඉහත දැක්වූ ආර්.පී.අයි. ප්‍රයිවට් ලිමිටඩ් සමාගමය. එය මාලදිවයින් සමාගමකි. එසේම කුරුණෑගල හා ගාල්ලේ ප්‍රධාන ආයතන ඇති ටෙක්නොපාක් ඩිවලොප්මන්ඩ් කොම්පැනි වෙත රු. මිලියන 750ක් බැංකුව විසින් දී ඇත. ‘මවුන්ට් ලැවිනියා හොටෙල්’ වෙතද රු. මිලියන 150ක් දී ඇත.
මෙහිලා විශේෂිතම ගනුදෙනුව සිදු කර ඇත්තේ බිම්පුත් ෆයිනෑන්ස් ආයතනය සමඟය. ඒ ආයතනයට බැංකුව විසින් 2016.06.17 දින රු. මිලියන 200ක්ද 2019.04.24 දින රු. මිලියන 100ක්ද ණය දී ඇත. බැංකුවේ වාර්තා පරිදි පළමු රු. මිලියන 200ක ණය මුදල 2021 වසරේ මැයි මාසය දක්වා නිසි ලෙස ගෙවා ඇත. එහෙත් දෙවැනි ණයක් ගත්තේ ඇයිද යන්න ගැන බැංකුවේ පිළිගත හැකි කරුණක් නැත.

සාමාන්‍ය පුද්ගලයකු රුපියල් ලක්ෂයක දෙකක ණයක් ගන්නට යන විට ඇපයට ඉල්ලන දේ බොහෝය. එහෙත් බිම්පුත් ෆයිනෑන්ස් ආයතනයට දෙවැනි වරට රු. මිලියන 100ක ණයක් දෙන විට ඊට අදාළ ඇපකර ගැන සොයා බැලුවේද?
මේ ණය යෝජනා ක්‍රම දෙකම සඳහා දී ඇති ඇපකර වන්නේ බිම්පුත් ආයතනය අයත් දයා ගෘෘප් සමාගමේ ඇපකරයකි. ගැටලුව වන්නේ දයා ගෘෘප්ද මේ වන විට බංකොලොත් වී තිබීමය. බිම්පුත් ෆයිනෑන්ස් ආයතනය ඈවර කිරීමේදී පවා බැංකුව ඉදිරිපත් වී තම ණයහිමිතාව ගැන කරුණු ඉදිරිපත් කර නැති බව වාර්තා වේ. මේ නිසා බැංකුව විසින් දුන් රු. මිලියන 200ක් හා රු. මිලියන 100ක් වන අතිවිශාල ගනුදෙනුකරුවන්ගේ තැන්පත් මුදල් අක්‍රිය ණය ගොන්නට වැටී ඇත. ඒවා බොල් ණය ලෙස සලසා බැංකුව අතපිසදා ගනු ඇත.
බිම්පුත් ෆයිනෑන්ස් යනු ක්ෂුද්‍ර මූල්‍ය ණය පහසුකම් දෙන ආයතනයකි. එමඟින් අතිවිශාල පොලී අනුපාත යටතේ ග්‍රාමීය ජනතාවට ණය මුදල් ලබා දී ඇති අතර, ඒ ණය ගෙවාගැනීමට නොහැකි වූ ජනතාව දිවි නසාගෙන ඇති බවටත්, ඇතැම් අයගේ දේපළ පවා අත්කරගෙන ඇති බවටත් කෝප් කමිටුවේ ජාතික ඉතිරිකිරීමේ බැංකුව හා සම්බන්ධයෙන් පැවැති විමර්ශනයේදී වාර්තා විය. එසේ අධික පොලියට මුදල් දුන් බිම්පුත් ෆයිනෑන්ස් වෙත ඇප වී ඇත්තේ එය අයත් දයා ගෘෘප් ආයතනය විසින් වන අතර ඒ සම්බන්ධයෙන් බැංකුව විසින් නිසි ලෙස සොයා බැලුවේද?

මෙහිදී මතු වන ගැටලු දෙකක් ඇත. ඉන් පළමු වැන්න ‘මයික්‍රො ෆයිනෑන්ස්’ ආයතනයක් වෙනුවෙන් දෙවැනි වරට මිලියන 100ක ණයක් දුන්නේ කුමන හේතුවකටදැයි යන්නයි. 2021 වසරේ මැයි මස ගෙවීම් නතර කළ අවස්ථාවේ බැංකුව විසින් කිසිදු පැහැදිලි නීති ක්‍රමවේදයක් ඔස්සේ කටයුතු කර නැති බව අපට පැහැදිලිය. මේ වන විට ගැටලුව නීතිපතිට යොමු කර ඇත. දැන් ගැටලුව වන්නේ ඈවර කළ සමාගමකින් මුදල් අය කරගන්නේ කෙසේද යන්නය.
එමෙන්ම බිම්පුත් ෆයිනෑන්ස් ආයතනයට එරෙහිව එච්ඩීඑෆ්සී බැංකුව 2022.10.22 දින අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා තුරු ජාතික ඉතිරිකිරීමේ බැංකුව ඒ ගැන වගේ වගක් නැතිව සිටි බව පෙනෙන්නට ඇත. ණය ගෙවන ලෙස ලිපියක් දෙකක් යවනවා හැරෙන්නට, වෙනත් ගත් ක්‍රියාමාර්ගයක් නම් පෙනේනනට නැත.
විශේෂයෙන්ම මේ ආයතනය රජයේ ආයතනයක්ද නොවේ. ආදායම් උපයාගැනීමේ යෙදුණු ආයතනයක් වන අතර, ඒ ආයතනයෙන් නිසි අය කරගැනීම් වෙනුවෙන් 2021 වසරේ සිට 2023 වසර දක්වා නිසි ක්‍රියාමාර්ග නොගත් බව පැහැදිලිය. වත්මන් සභාපතිවරයාද කෝප් කමිටුව හමුවේ මේ බව පිළිගෙන ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2020/ 2021/ 2022 වසරවලට අදාළව (කොවිඩ් සමයේ) ලබා දුන් අධිකරණ ක්‍රියාමාර්ග නොගන්නා ලෙස හා පරාටේ නීතිය ක්‍රියාත්මක නොකිරීමේ නිර්ණායක උඩ අතිවිශාල මුදලක් මෙසේ පොලු තබන්න ඉඩ දී බැංකුව නිහඬව සිට ඇති බව තහවුරු වේ.
එමෙන්ම මේ සා විශාල ණය මුදලක් අනුමත කිරීමට පෙර බැංකුවේ අයකිරීම් කළමනාකරු, එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් අය කරගැනීම පිළිබඳ විශේෂ විමර්ශනයක් කළ යුතුය. ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදු කළේ කවුරුන්ද යන්න ගැන සොයා බැලීමේදී තහවුරු වූ කරුණක්ද දැන් හෙළිව තිබේ.
බිම්පුත් ෆයිනෑන්ස් විසින් දෙවැනි වරට රු. මිලියන 100ක ණය මුදල් ඉල්ලා සිටි අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් මූල්‍ය විමර්ශන සිදු කළ නිලධාරීන් විසින් වාර්තා කර ඇත්තේ බිම්පුත් ෆයිනෑන්ස් ආයතනය ණය වාරික (පෙර ගත් රු. මිලියන 200ට අදාළව) ගෙවීම් අඛණ්ඩව සිදු කළද එය අයත් හා ඒ වෙනුවෙන් ඇප වන දයා ගෘෘප් ආයතන මූල්‍ය අර්බුදයක සිටින බවයි.
ඒ නිර්දේශ නොසලකා බැංකුවේ ණය කමිටුවක් එම ණය මුදල අනුමත කළේ කෙසේද? අනුමත නොකර සිටියේ නම් එයට බලපෑම් කර බලහත්කාරයෙන් ණය මුදල් දෙන්නට කවුරුන් හෝ නියෝග කළේද? එසේ නම් ඒ කවුද? මීළඟට හෙළි කළ යුත්තේ මේ කරුණුය. දැන් බැංකුවට සිදුව ඇත්තේ ඇපකර කොළයක් අතේ තබාගෙන සිටින්නට පමණකි. නීතිපතිවරයා හරහා අධිකරණය ක්‍රියාවලියට අනුගත වූවක් ඈවර කළ සමාගමෙන් තම අලාභය පියවා ගන්නේ කෙසේද?

කෙසේ හෝ මේ ණය ප්රදානය කරන්නට කටයුතු කළ එවකට සභාපතිවරයා ඇතුළු සියලු දෙනා මේ සම්බන්ධයෙන් වගකිව යුතු බවට කෝප් කමිටුවේ නිර්දේශ වී ඇත. ඔවුන් වහා හඳුනාගෙන, ඒ වෙනුවෙන් පියවර ගත යුතුය. එමෙන්ම ණය නොගෙවන අවස්ථාවේ ඒ වෙනුවෙන් කටයුතු නොකළ අයද මේ සම්බන්ධයෙන් වගකිව යුත්තෝ වෙති. ඔවුන්ට එරෙහිවද නීතිය ක්‍රියාත්මක විය යුතුය. අවදානම නොසලකා ණය ලබා දීම මෙන්ම ණය ගෙවීම පැහැර හැරීම ගැන නොසලකා සිටීම යන දෙකම හිතාමතාම කර ඇති බව පැහැදිලිය.
අද වන විටත් බැංකුවේ ඇතැම් මූල්‍ය පද්ධති ගැන සෑහීමකට පත් විය නොහැකිය. විශේෂයෙන්ම මේ වන විට රු. මිලියන 5 ඉක්මවූ අය විය යුතු ණය රු. බිලියන 96ක් තිබේ. ඒවා ගැන සොයා බලන්නේ කවුරුද? එමෙන්ම KDU හෙවත් කොතලාවල ආරක්ෂක පීඨයේ කාර්යයන් වෙනුවෙන් විදේශාධාරයක් සමඟින් බැංකුව ඇප වී ලබා දෙන ලද ඩොලර් මිලියන 201අතිවිශාල මුදලක්ද KDU විසින් ආපසු නොගෙවීම නිසා එම මුදල් ගෙවන්නට මහා භාණ්ඩාගාරයට සිදුව ඇත. ඒ සියල්ල මහජන මුදල්ය. කිසි කළමනාකරණයකින් තොරව කටයුතු කිරීම හා විධිමත් ණය කළමනාකරණයක් සිදු නොකිරීම නිසා මෙසේ ජාතික ඉතිරිකිරීමේ බැංකුව ණය ගැනීමේ අර්බුදයකට මුහුණ පා ඇත.
මේ තත්ත්වය තවදුරටත් වර්ධනය නොවී නවත්වාගැනීමට වත්මන් අධ්යක්ෂ මණ්ඩලය කටයුතු කරන බවක් අපට පෙනෙන්නට තිබේ. එක්තරා අතකින් එය පැසසුම් කට යුතුය. එහෙත් පෙර ණය දුන් හා ණය ආපසු අය කරගැනීම් පැහැරහැරීම් සම්බන්ධ නිලධාරීන් සිටී නම් ඔවුන්ට එරෙහිව පියවර ගත යුතුය.
එසේ නොකළ හොත් බැංකුවේ උපායමාර්ගික සැලැස්මේ දක්වා ඇති 2027 වසර වන විට අක්‍රිය ණය අනුපාතය 3.5%ක් ලෙස පවත්වාගැනීමේ අපේක්ෂාව හුදෙක් හිතලුවක් පමණක් වනු ඇත.
සිළුමිණ පුවත්පතට තාරක වික්‍රමසේකර ලියූ ලිපියකි