විපතට පත් ජනතාවට ලබාදෙනවා යැයි කියූ සහන කතාවට පමණක් සීමා වී තිබෙන බවක් පෙනෙන්නට ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා පැවසීය.
සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ ඊයේ (15 ) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා මේ බව ප්‍රකාශ කළේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු මෙසේ ද පැවැසීය,
‘‘අධික වර්ෂාව සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් රටේ ඇති වුණු ආපදා තත්ත්වය පහව ගොස් සති දෙකක පමණ කාලයක් ගත වී තිබෙනවා. නමුත් එම ආපදා තත්ත්වය හේතුවෙන් අපිරිසුදු වුණු නිසා යළි පිරිසුදු කරගැනීමට රජයෙන් ජනතාවට ලබාදෙන බව කියූ රුපියල් 25,000ක මුදල තවමත් ලැබී නැහැ.
ජනාධිපති අනුර දිසානායක මහතා තැනින් තැනට ගොස් ආපදාවෙන් විපතට පත් ජනතාවට සහන රැසක් දෙන බවට පොරොන්දු වී තිබෙනවා. ඒ වගේම ආපදා තත්ත්වය හේතුවෙන් හානියට පත් ආගමික ස්ථානවලට වන්දි මුදල් ලබාදෙන බව ආණ්ඩුව මුලින් ප්‍රකාශ නොකළත් විපක්ෂය විසින් එම කාරණය මතු කළාට පසු ආණ්ඩුව හානියට පත් ආගමික ස්ථානවලටත් වන්දි මුදල් ලබාදීමට කටයුතු කරන බව ප්‍රකාශ කර තිබෙනවා.
සමගි ජනබලවේගය ඒ පිළිබඳව සතුටු වෙනවා. කෙසේ නමුත් ආණ්ඩුව විපතට පත් ජනතාවට ලබාදෙනවා යැයි කියූ සහන කතාවට පමණක් සීමා වී තිබෙන බවක් පෙනෙන්නට තිබෙන්නේ. ඒ වගේම ආපදාවට පත් ජනතාවට සහන ලබාදීමේ වැඩසටහන දේශපාලනීකරණය කිරීමට ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජනබලවේගය දැඩි උත්සාහයක නිරත වෙනවා යැයි ද කීවේය.
ඔය අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද අවතැන්වූවන් වෙත ගොස් විසිපන්දහස ගැන විමසීය.