දිට්වා සුළිකුණාටුව විසින් අපේ ජනතාවට කළ විපත් අතර ඔවුන් සතුව තිබූ ලේඛනවලට සිදු වූ හානිවලට හිමි වන්නේ අන් කිසිවකටත් නොදෙවැනි ස්ථානයකි.
මෙහිදී තැනක වතුරින් පෙඟී ගියේද, තවත් තැනක මඩින් වැසී ගියේද ඔවුන්ගේ ඔප්පුතිරප්පු, උකස් හා බදු ලියවිලි ය; එසේම උප්පැන්න, විවාහ හා මරණ සහතික ය; නැති නම් උපාධි සහ අධ්‍යාපන සහතිකය; තවත් විටෙක විභාගයක් ඉලක්ක කරගෙන රැස් කළ පොත්පත් සහ සටහන්ය; මේ අතර ජීවිත කාලයක් ආදරයෙන් රැක බලා ගත් වටිනා පතපොත හා සඟරාද තිබිය හැකිය. රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල නම්: බොහෝ පිරිසකගේ දත්ත හා තොරතුරු අඩංගු විශාල පොත් හා ලිපිගොනුය; ලොග් සහ ලෙජරය.
මේවා ඇතැම් විට මේවා ලේසියෙන් යළි රැස් කළ නොහැකි, ඇතැම් විට පිටපත් පවා නැති ලේඛන වන කල; නැති නම් සාක්ෂි හා සහතික වන කල: ඒවා අහිමි වීමෙන් සිදු වන පාඩුව මිල කළ නොහැකි සේම වදනින් විස්තර කළ නොහැකි තරම් වේදනා උපදවන බවද අමුතුවෙන් කිව යුතු නැත.
එබැවින් ‘දිට්වා’ සුළිකුණාටුව උරුම කරදී ගිය මහා ජල විපතට මුහුණදී සිටින බොහෝ දෙනකුට මේ මොහොතේ පැනනැඟී ඇති ප්‍රශ්නයක් වන්නේ ජලයට හසු වූ තමාගේ ලේඛන සංරක්ෂණය කරගන්නේ කෙසේද යන්නය. මේ සම්බන්ධයෙන් උපදෙස් පතා අප සම්බන්ධ වූයේ කොළඹ ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නදීරා රූපසිංහ සමඟිනි.
කඩදාසියෙන් නිමැවුණු යම් ලේඛනයක් හෝ පොතක් ජලයට හසු වූ විට එහි ස්වාභාවික තත්ත්වයට සිදු වන මූලිකම වෙනස ලෙස එම කඩදාසිය ජලය උරාගැනීම හඳුනාගත හැකිය. මෙමඟින් පැනනඟින ප්‍රධාන ගැටලුව එම ලේඛනයේ අඩංගු අක්ෂර බොඳ වීම හෝ පිටපතක් නම් ටෝනර් ඉවත් වීමට බැලීමයි. දෙවනුව මතු වන ගැටලුව වන්නේ පසුකාලීනව එම ලේඛන පුස්කෑමට බඳුන් වීමයි.
එබැවින්, යම් ලේඛනයක් දියබත් වූ විට අදාළ ජල පරිසරයෙන් ඉවතට ගෙන, බොඳ වීමට ලක් වී නැති නම් පිරිසුදු ජලයෙන් පරිස්සමින් එය සෝදාගැනීමෙන් ගැනීමෙන් අනතුරුව පළමුවෙන්ම කළ යුත්තේ, එම ලේඛනය උරාගෙන ඇති ජලය ඉන් ඉවත් වීමට සැලැස්වීමයි.
මෙහිදී අප සිහියේ තබාගත යුතු වැදගත්ම කරුණ වන්නේ, ලේඛන දෙකක් එකිනෙක ස්පර්ශ වන ලෙස තිබියදී දියබත් වූ අවස්ථාවක, එලෙසින්ම වියළුණ හොත්: ඒ පත්‍ර දෙක එකිනෙකට ඇලී යන බවයි. එබැවින් එබඳු අවස්ථාවක වියළීමට ලක් කිරීමට පෙර, ඒ පත්‍ර එකිනෙක අතරට දිය උරාගැනීම සඳහා පිරිසුදු කඩදාසි තැබීමට අප කටයුතු කළ යුතුය. එසේ තබන කඩදාසි පැය බාගයෙන් බාගයට මෙන් ඉවත් කර අලුත් කඩදාසි තැබීමෙන් අපගේ ලේඛනවලට උරාගෙන තිබෙන ජලය ක්‍රමයෙන් ඉවත් කර ගන්න පුළුවනි. මෙහිදී අප ඉරු එළියේ තබා ඒවා වියළාගැනීමට උත්සාහ නොකළ යුත්තේ අධික රශ්මියට නිරාවරණය වීමෙන් ලේඛනයේ භෞතික හා රසායනික වෙනස්කම් සිදු වීමට එය හේතු වන බැවිනි. එබැවින් උචිත වන්නේ පවනේ වේළාගැනීමයි.
මේ පියවර අනුගමනය කිරීමෙන් ලේඛන කිහිපයක් නම් ආරක්ෂාකාරි ලෙස වියළාගත හැකි වුවත්, විශාල ප්‍රමාණයක් සංරක්ෂණය කරගැනීමකදී අපට තවත් ප්‍රශ්නයකට මුහුණ දීමට සිදු වන බවද මෙහිදී සඳහන් කළ යුතුය. ඒ, ලේඛන සංරක්ෂණ විශේෂඥයන් පවසන පරිදි යම් ලේඛනයක් ජලීය පරිසරයෙන් පිටතට ගෙන පැය 48-72ක එනම් දින 2-3ක කාලයක් ගත වීමට පෙර වියළීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කරගත නොහැකි වුව හොත් ඒවා පුස්කෑමේ අවදානමට මුහුණ දෙන බැවිනි. මේ සඳහා ඇති විසඳුම වන්නේ: අදාළ ලේඛන ජලීය පරිසරයෙන් ඉවතට ගැනීමෙන් පසු, වියළීමට අවශ්‍ය ශ්‍රමය හා අවකාශය සැකසෙන තෙක් ඒවා පොලිතීන්වලින් මැනැවින් ඔතා අධිශීතකරණයේ තැබීමයි. මේ ක්‍රමවේදය මඟින් ලේඛන සිසිල්ව තබාගැනීමෙන් ඒවා ස්ථාවර වන අතර, පුස් සහ දිලීර වර්ධනය වළක්වයි. අවශ්‍ය පහසුකම් සූදානම් කරගත් පසු ලේඛන කොටස් වශයෙන් පිටතට ගෙන පවනේ වියළීමට හැකියාව ඇත.
රාජ්‍ය ආයතනයක ලේඛන සංරක්ෂණ හදිසි තත්ත්වයකදී සූදානම පිළිබඳ සඳහන් කිරීමේදී එය ඉතා අවම මට්ටමක පවතී. මේ අතර, ශ්‍රී ලංකා ජාතික ලේඛනාකාරය ඔවුන්ටම ආවේණික වූ ආපදා කළමනාකරණ සැලැස්මක් සැම විටම දියත් කිරීමට සැලසුම් කර ඇත. විශේෂයෙන් ආපදා තත්ත්වයකදී ඔවුන් සතුව දැනට පවතින්න අධිලේඛන (ලේඛන ස්ථීර සංරක්ෂණය සඳහා ජාතික ලේඛනාගාරය වෙත පැවරු විට ඒවා අධිලේඛන බවට පත් වේ) සංරක්ෂණය කරනුයේ කෙසේද යන්න නිතරම සාකච්ඡාවට බඳුන් වේ. මේ තත්ත්වය අනෙක් ආයතනවල ක්‍රියාත්මක නොවීම දුර්වලතාවක් ලෙස හඳුනාගත හැකිය. ජාතික අධිලේඛන හා ලේඛන කළමනාකරණ ප්‍රතිපත්තිය මත හදිසි අවස්ථාවකදී ලේඛනවල ආරක්ෂිතභාව සඳහා කෙසේ කටයුතු කළ යුතුද යන්න සම්බන්ධයෙන් සෙසු රාජ්‍ය ආයතනද දැනුවත් කිරීමට මෙහිදී වැදගත්ය. ජාතික ලේඛනාගාරය සහ සෙසු ආයතනවල ලේඛන කළමනාකරණ නිලධාරීන් අතර ඍජු සම්බන්ධතාවක් ඇති කිරීමට ක්‍රියාමාර්ග ගත යුතුය.
ශ්‍රී ලංකාවේ ලේඛන කළමනාකරණය ශක්තිමත් කිරීමට කෙරෙහි වර්තමානයේ විශේෂ අවධානයක් යොමු වෙමින් පවතී. මෙරට ප්‍රථම වරට අධිලේඛන සහ ලේඛන කළමනාකරණ පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් 2025 අප්‍රේල් 7 දින අනුමත කරනු ලැබුවේ ඒ අනුවය. මෙහිදී සකස් වන නීති රීති අනුව, ඉදිරියේදී ලේඛනවල සුරක්ෂිතතාව තහවුරු කිරීමට යුහුසුලුව කටයුතු කෙරෙනු ඇත. විශේෂයෙන් උපත්, විවාහ හා මරණ සහතික දැනටමත් ඩිජිටල්කරණයට ලක් වී ඇති අතර, පැරණි ඒවා ඩිජිටල්කරණයට ලක් නොවීම නිසා විනාශ වීමේ අවදානමක් පවතී. එසේම නඩු වාර්තා විනාශ වීමෙන් බරපතළ ගැටලු උද්ගත වෙයි. එබැවින් නීතිමය හා සාක්ෂිමය වටිනාකමක් ඇති ලේඛන සුරක්ෂිත කිරීමට කඩිනම් පියවර ගැනීම කළ යුතුව පවතී.
සිළුමිණ පුවත්පතෙනි.