ගංවතුරෙන් ලේඛන හානි වෙලාද?

unnamed (2)

දිට්වා සුළි­කු­ණා­ටුව විසින් අපේ ජන­තා­වට කළ විපත් අතර ඔවුන් සතුව තිබූ ලේඛ­න­ව­ලට සිදු වූ හානි­ව­ලට හිමි වන්නේ අන් කිසි­ව­ක­ටත් නොදෙ­වැනි ස්ථාන­යකි.

මෙහිදී තැනක වතු­රින් පෙඟී ගියේද, තවත් තැනක මඩින් වැසී ගියේද ඔවුන්ගේ ඔප්පු­ති­රප්පු, උකස් හා බදු ලිය­විලි ය; එසේම උප්පැන්න, විවාහ හා මරණ සහ­තික ය; නැති නම් උපාධි සහ අධ්‍යා­පන සහ­ති­කය; තවත් විටෙක විභා­ග­යක් ඉලක්ක කර­ගෙන රැස් කළ පොත්පත් සහ සට­හන්ය; මේ අතර ජීවිත කාල­යක් ආද­ර­යෙන් රැක බලා ගත් වටිනා පත­පොත හා සඟ­රාද තිබිය හැකිය. රාජ්‍ය හා පෞද්ග­ලික ආය­ත­න­වල නම්: බොහෝ පිරි­ස­කගේ දත්ත හා තොර­තුරු අඩංගු විශාල පොත් හා ලිපි­ගො­නුය; ලොග් සහ ලෙජ­රය.

මේවා ඇතැම් විට මේවා ලේසි­යෙන් යළි රැස් කළ නොහැකි, ඇතැම් විට පිට­පත් පවා නැති ලේඛන වන කල; නැති නම් සාක්ෂි හා සහ­තික වන කල: ඒවා අහිමි වීමෙන් සිදු වන පාඩුව මිල කළ නොහැකි සේම වද­නින් විස්තර කළ නොහැකි තරම් වේදනා උප­ද­වන බවද අමු­තු­වෙන් කිව යුතු නැත.

එබැ­වින් ‘දිට්වා’ සුළි­කු­ණා­ටුව උරුම කරදී ගිය මහා ජල විප­තට මුහු­ණදී සිටින බොහෝ දෙන­කුට මේ මොහොතේ පැන­නැඟී ඇති ප්‍රශ්න­යක් වන්නේ ජල­යට හසු වූ තමාගේ ලේඛන සංර­ක්ෂ­ණය කර­ගන්නේ කෙසේද යන්නය. මේ සම්බ­න්ධ­යෙන් උප­දෙස් පතා අප සම්බන්ධ වූයේ කොළඹ ජාතික ලේඛ­නා­ර­ක්ෂක දෙපා­ර්ත­මේ­න්තුවේ අධ්‍යක්ෂ ජන­රාල් ආචාර්ය නදීරා රූප­සිංහ සම­ඟිනි.

කඩ­දා­සි­යෙන් නිමැ­වුණු යම් ලේඛ­න­යක් හෝ පොතක් ජල­යට හසු වූ විට එහි ස්වාභා­වික තත්ත්ව­යට සිදු වන මූලි­කම වෙනස ලෙස එම කඩ­දා­සිය ජලය උරා­ගැ­නීම හඳු­නා­ගත හැකිය. මෙම­ඟින් පැන­න­ඟින ප්‍රධාන ගැට­ලුව එම ලේඛ­නයේ අඩංගු අක්ෂර බොඳ වීම හෝ පිට­ප­තක් නම් ටෝනර් ඉවත් වීමට බැලී­මයි. දෙව­නුව මතු වන ගැට­ලුව වන්නේ පසු­කා­ලී­නව එම ලේඛන පුස්කෑ­මට බඳුන් වීමයි.

එබැ­වින්, යම් ලේඛ­න­යක් දිය­බත් වූ විට අදාළ ජල පරි­ස­ර­යෙන් ඉව­තට ගෙන, බොඳ වීමට ලක් වී නැති නම් පිරි­සුදු ජල­යෙන් පරි­ස්ස­මින් එය සෝදා­ගැ­නී­මෙන් ගැනී­මෙන් අන­තු­රුව පළ­මු­වෙන්ම කළ යුත්තේ, එම ලේඛ­නය උරා­ගෙන ඇති ජලය ඉන් ඉවත් වීමට සැලැ­ස්වී­මයි.

මෙහිදී අප සිහියේ තබා­ගත යුතු වැද­ගත්ම කරුණ වන්නේ, ලේඛන දෙකක් එකි­නෙක ස්පර්ශ වන ලෙස තිබි­යදී දිය­බත් වූ අව­ස්ථා­වක, එලෙ­සින්ම විය­ළුණ හොත්: ඒ පත්‍ර දෙක එකි­නෙ­කට ඇලී යන බවයි. එබැ­වින් ‍එබඳු අව­ස්ථා­වක විය­ළී­මට ලක් කිරී­මට පෙර, ඒ පත්‍ර එකි­නෙක අත­රට දිය උරා­ගැ­නීම සඳහා පිරි­සුදු කඩ­දාසි තැබී­මට අප කට­යුතු කළ යුතුය. එසේ තබන කඩ­දාසි පැය බාග­යෙන් බාග­යට මෙන් ඉවත් කර අලුත් කඩ­දාසි තැබී­මෙන් අපගේ ලේඛ­න­ව­ලට උරා­ගෙන තිබෙන ජලය ක්‍රම­යෙන් ඉවත් කර ගන්න පුළු­වනි. මෙහිදී අප ඉරු එළියේ තබා ඒවා විය­ළා­ගැ­නී­මට උත්සාහ නොකළ යුත්තේ අධික රශ්මි­යට නිරා­ව­ර­ණය වීමෙන් ලේඛ­නයේ භෞතික හා රසා­ය­නික වෙන­ස්කම් සිදු වීමට එය හේතු වන බැවිනි. එබැ­වින් උචිත වන්නේ පවනේ වේළා­ගැ­නී­මයි.

මේ පිය­වර අනු­ග­ම­නය කිරී­මෙන් ලේඛන කිහි­ප­යක් නම් ආර­ක්ෂා­කාරි ලෙස විය­ළා­ගත හැකි වුවත්, විශාල ප්‍රමා­ණ­යක් සංර­ක්ෂ­ණය කර­ගැ­නී­ම­කදී අපට තවත් ප්‍රශ්න­ය­කට මුහුණ දීමට සිදු වන බවද මෙහිදී සඳ­හන් කළ යුතුය. ඒ, ලේඛන සංර­ක්ෂණ විශේ­ෂ­ඥ­යන් පව­සන පරිදි යම් ලේඛ­න­යක් ජලීය පරි­ස­ර­යෙන් පිට­තට ගෙන පැය 48-72ක එනම් දින 2-3ක කාල­යක් ගත වීමට පෙර විය­ළීමේ ක්‍රියා­ව­ලිය සම්පූර්ණ කර­ගත නොහැකි වුව හොත් ඒවා පුස්කෑමේ අව­දා­න­මට මුහුණ දෙන බැවිනි. මේ සඳහා ඇති විස­ඳුම වන්නේ: අදාළ ලේඛන ජලීය පරි­ස­ර­යෙන් ඉව­තට ගැනී­මෙන් පසු, විය­ළී­මට අවශ්‍ය ශ්‍රමය හා අව­කා­ශය සැක­සෙන තෙක් ඒවා පොලි­තී­න්ව­ලින් මැනැ­වින් ඔතා අධි­ශී­ත­ක­ර­ණයේ තැබී­මයි. මේ ක්‍රම­වේ­දය මඟින් ලේඛන සිසිල්ව තබා­ගැ­නී­මෙන් ඒවා ස්ථාවර වන අතර, පුස් සහ දිලීර වර්ධ­නය වළ­ක්වයි. අවශ්‍ය පහ­සු­කම් සූදා­නම් කර­ගත් පසු ලේඛන කොටස් වශ­යෙන් පිට­තට ගෙන පවනේ විය­ළී­මට හැකි­යාව ඇත.

රාජ්‍ය ආය­ත­න­යක ලේඛන සංර­ක්ෂණ හදිසි තත්ත්ව­ය­කදී සූදා­නම පිළි­බඳ සඳ­හන් කිරී­මේදී එය ඉතා අවම මට්ට­මක පවතී. මේ අතර, ශ්‍රී ලංකා ජාතික ලේඛ­නා­කා­රය ඔවු­න්ටම ආවේ­ණික වූ ආපදා කළ­ම­නා­ක­රණ සැලැ­ස්මක් සැම විටම දියත් කිරී­මට සැල­සුම් කර ඇත. විශේ­ෂ­යෙන් ආපදා තත්ත්ව­ය­කදී ඔවුන් සතුව දැනට පව­තින්න අධි­ලේ­ඛන (ලේඛන ස්ථීර සංර­ක්ෂ­ණය සඳහා ජාතික ලේඛ­නා­ගා­රය වෙත පැවරු විට ඒවා අධි­ලේ­ඛන බවට පත් වේ) සංර­ක්ෂ­ණය කර­නුයේ කෙසේද යන්න නිත­රම සාක­ච්ඡා­වට බඳුන් වේ. මේ තත්ත්වය අනෙක් ආය­ත­න­වල ක්‍රියා­ත්මක නොවීම දුර්ව­ල­තා­වක් ලෙස හඳු­නා­ගත හැකිය. ජාතික අධි­ලේ­ඛන හා ලේඛන කළ­ම­නා­ක­රණ ප්‍රති­ප­ත්තිය මත හදිසි අව­ස්ථා­ව­කදී ලේඛ­න­වල ආර­ක්ෂි­ත­භාව සඳහා කෙසේ කට­යුතු කළ යුතුද යන්න සම්බ­න්ධ­යෙන් සෙසු රාජ්‍ය ආය­ත­නද දැනු­වත් කිරී­මට මෙහිදී වැද­ගත්ය. ජාතික ලේඛ­නා­ගා­රය සහ සෙසු ආය­ත­න­වල ලේඛන කළ­ම­නා­ක­රණ නිල­ධා­රීන් අතර ඍජු සම්බ­න්ධ­තා­වක් ඇති කිරී­මට ක්‍රියා­මාර්ග ගත යුතුය.

ශ්‍රී ලංකාවේ ලේඛන කළ­ම­නා­ක­ර­ණය ශක්ති­මත් කිරී­මට කෙරෙහි වර්ත­මා­නයේ විශේෂ අව­ධා­න­යක් යොමු වෙමින් පවතී. මෙරට ප්‍රථම වරට අධි­ලේ­ඛන සහ ලේඛන කළ­ම­නා­ක­රණ පිළි­බඳ ජාතික ප්‍රති­ප­ත්ති­යක් 2025 අප්‍රේල් 7 දින අනු­මත කරනු ලැබුවේ ඒ අනු­වය. මෙහිදී සකස් වන නීති රීති අනුව, ඉදි­රි­යේදී ලේඛ­න­වල සුර­ක්ෂි­ත­තාව තහ­වුරු කිරී­මට යුහු­සු­ලුව කට­යුතු කෙරෙනු ඇත. විශේ­ෂ­යෙන් උපත්, විවාහ හා මරණ සහ­තික දැන­ට­මත් ඩිජි­ට­ල්ක­ර­ණ­යට ලක් වී ඇති අතර, පැරණි ඒවා ඩිජි­ට­ල්ක­ර­ණ­යට ලක් නොවීම නිසා විනාශ වීමේ අව­දා­න­මක් පවතී. එසේම නඩු වාර්තා විනාශ වීමෙන් බර­ප­තළ ගැටලු උද්ගත වෙයි. එබැ­වින් නීති­මය හා සාක්ෂි­මය වටි­නා­ක­මක් ඇති ලේඛන සුර­ක්ෂිත කිරී­මට කඩි­නම් පිය­වර ගැනීම කළ යුතුව පවතී.

සිළුමිණ පුවත්පතෙනි.