විපක්ෂයෙහි ප්‍රධාන දේශපාලන ප්‍රවාහය වන සමගි ජනබලවේගය පසුගිය බ්‍රහස්පතින්දා “මෙවර අයවැය කෙබඳු මුහුණුවරක් ගනු ඇද්ද” කියා සාකච්ඡා කරන්නට විශේෂ වැඩමුළුවක් පවත්වනු ලැබීය.
බ්‍රහස්පතින්දා දවස පුරා පාර්ලිමේන්තුවේ විපක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් මෙම වැඩමුළුව බත්තරමුල්ල මොනාක් ඉම්පීරියල් හෝටලයේ පවත්වන්නට සියලු කටයුතු සංවිධානය කළේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලකයි. ඔහු මේ සඳහා සහභාගි වන්නට විපක්ෂයේ සියලුම දේශපාලන පක්ෂවලට නිල වශයෙන් ආරාධනා කරනු ලැබීය.
දිලිත් ජයවීර ගේ සර්වජන බලය හැරුණු විට අනෙකුත් සියලුම පක්ෂවල මන්ත්‍රීවරුන් මේ සඳහා සැලකිය යුතු දායකත්වයක් දක්වා සිටියහ. විපක්ෂයේ මන්ත්‍රීවරු 65 දෙනාගෙන් පනස් දෙනකු පමණ මේ සඳහා සහභාගි වී තිබීම කැපී පෙනෙන කාරණාවක් විය.
වැඩමුළුව ආරම්භ කරමින් ගයන්ත කරුණාතිලක මෙවර 2026 අයවැය ඉදිරිපත් කෙරෙන ආර්ථික සමාජ දේශපාලන පසුබිම ගැන කෙටි හැඳින්වීමක් කරමින් වැඩමුළුව පවත්වාගෙන යෑම සඳහා මේ රටේ සිටින ප්‍රාමාණික ආර්ථික සමාජ දේශපාලන දැනුමක් ඇති විද්වතුන් කිහිපදෙනකුට ආරාධනා කර සිටියහ.
අපේ රටේ ආර්ථිකය හා සමාජ ප්රගමනය සම්බන්ධයෙන් පර්යේෂණ කරමින් මේ ආර්ථිකය සංවර්ධනාත්මකව ඉදිරියට රැගෙන යෑම පිළිබඳව රජයට උපදෙස් හා රාජ්‍ය ආයතනවලට උපදෙස් ලබාදෙන සමාජ ආර්ථික පර්යේෂණ ආයතන දෙකක විද්වතුන් හා විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් කීපදෙනෙක් මේ සඳහා පැමිණ සිටියහ. මහාචාර්ය සිරිමල් අබේරත්න, මහාචාර්ය අර්ජුන පරාක්‍රම, ජනනාත් ප්‍රනාන්දු, ශලෝමා ලියනගේ, ෂෙහාන් ඉලේපෙරුම ආදී ප්‍රසිද්ධ දන්නා කියන මුහුණු කීපයක්ද ඒ අතර වූහ.
රටේ පවතින ආර්ථික හා සමාජ අර්බුද මෙන්ම අභියෝග හමුවේ මේ රටේ සංවර්ධනාත්මක අයවැයක් කෙබඳු දිශානතියක් ගත යුතු දැයි මේ විද්වතුන් උදාහරණ හා හේතුව පැහැදිලි කරමින් ඉතා අනර්ඝ මඟපෙන්වීමක් කරනු ලැබූහ.