ලෝකාන්තයට වැටුණු වෛද්‍ය සිසුවිය බේරාගත් මෙහෙයුම

3.2 2 585x681

විනෝද චාරිකාවක පැමිණි වෛද්‍ය සිසුවියක හෝර්ටන් තැන්න, ලෝකාන්තයේ සෙල්ෆි ඡායාරූප ගැනීමට ගොස් අඩි 80ක පමණ ප්‍රපාතයකට වැටී සිටියදී නිරුපද්‍රිතව බේරා ගැනීමට හැකි වීමේ විස්මය දනවන පුවත පසුගිය දිනවල සමාජ මාධ්‍ය පුරා පැතිර ගියේය.

3.2 2

ප්‍රපාතය මායිමේ සිට සෙල්ෆි ඡායාරූපය ගැනීමට යෑමේදී ඇය මෙලෙස ප්‍රපාතයට ඇදවැටී තිබිණි. ඉළුක් පඳුරක එල්ලී සිටියදී ඇයගේ දිවි බේරාගෙන තිබුණේ අති දුෂ්කරකර මෙහෙයුමකින් පසුවය. ඉළුක් පඳුරක හෝ එල්ලී දිවි ගලවා ගැනීමට තරම් ඇය වාසනාවන්ත නොවන්නට මේ කතාව මීට වඩා වෙනස් විදිහට ලිවීමට සිදු වනු ඇත. එසේම ඇයගේ අත ලිස්සා ගියේ නම් අවසානයේ ඇය නතර වන්නේ බළන්ගොඩ නන්පෙරියල් වතුයායේදීය.

වෛද්‍ය සිසුවිය තම විශ්වවිද්‍යාල සගයන් සමඟ පසුගිය 19 වැනිදා විනෝද චාරිකාවක නිරත වන අතරතුර හෝටන් තැන්න නැරඹීමට පැමිණ තිබේ. ලෝකාන්ත බෑවුම අසලදී සෙල්ෆියක් ගැනීම එහි පැමිණෙන බොහෝ සංචාරකයන්ගේ සිරිතය. විනෝද චාරිකාවකදී එහි ඇති බිහිසුණු බව හා අනතුර ඔවුන්ට නොවැටහේ. මිතුරු මිතුරියන් සමග සෙල්ෆි ගනිමින් සිටි ඇයටද වූයේ එම නොසැලකිලිමත් වීමය.

වෛද්‍ය සිසුවියගේ දිවි ගලවා ගැනීමට ඉදිරිපත්ව තිබුණේ ෆ්‍රැන්සිස් සෙබස්තියන් නම් හතළිස් තුන් හැවිරිදි රියැදුරෙකි.

ෆ්‍රැන්සිස් දෙස් විදෙස් සංචාරකයන් ප්‍රවාහනය කරන, නිතර හෝර්ටන් තැන්නට පැමිණෙන රියැදුරෙකි. ප්‍රපාතයකට වැටී ඉළුක් පඳුරක ආධාරයෙන් රැඳී සිටියදී ඇය බේරා ගැනීමට ජීවිතය පරදුවට තබා කඹයක ආධාරයෙන් පහළට බැසීමට නිර්භීත වූ ඒ සංචාරක වෑන් රථ රියැදුරා සොයා අපි නුවරඑළිය ප්‍රදේශයට ගියෙමු. ඔහු එතැන් සිට ඔහුගේ කතාව අප සමඟ පැවැසුවේ මෙසේය:

“මේ සිදුවීම වුණ දවසේ මගේ යාළුවකුගේ මාර්ගයෙන් මට නුවරඑළිය මාගස්තොට ප්‍රදේශයේ සංචාරක නිකේතනයකට කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධ්‍යාපනය ලබන ළමයි 9 දෙනෙක් ඇවිල්ලා ඉන්නවා; ඒ ගොල්ලන්ව (19) දින උදේ හෝටන් තැන්නට එක්ක ගිහින් එක්කන් එන්න පුළුවන්ද කියලා ඇහුවා. එහෙම අහලා ඒ ළමයෙක්ගේ දුරකතන අංකයක් දුන්නා.”

පස්සේ මම ඒ දුරකතන අංකයට කතා කළාම මගෙන් හෝටන් තැන්නට ගිහින් ආපසු එන්න කීයද කියලා ඇහුවා. උදේ 5.00ට එතනට එන්න කියලා මට කිවුවම මම ඒ වෙලාවට එතනට ගියා. එතන හිටියා ගැනු ළමයි 4යි, පිරිමි ළමයි 5 දෙනෙකුයි. ඔක්කොම එකම විශ්වවිද්‍යාලයේ ළමයි බවයි මට තේරුණේ. පස්සේ මම 19 වැනිදා උදේ 7.20 වෙන කොට ඒ නව දෙනාටම හෝර්ටන්තැන්නට ඇතුළු වෙන්න ටිකට් අරන් දීලා ගේට්ටුවෙන් ඇතුළු වුණා.

හෝර්ටන් තැන්නේ හැම තැනටම දුරකතන සංඥා නෑ. වෑන් හයර් දුවන අය දන්නවා කොතනටද හෝර්ටන් තැන්නේ දුරකතන සංඥා තියෙන්නේ කියලා. මම දුරකතන සංඥා තියන තැන වෑන් එක නතර කරගෙන ඉන්න කොට මගේ වැන් එකේ හයර් එකට කතා කරපු ළමයගෙන් දුරකතන ඇමතුමක් ලැබුණා “අපිත් එක්ක ගිය එක්කෙනෙක් ලෝකාන්තයේ ඡායාරූපයක් ගන්න ගිහිල්ලා පල්ලෙහාට වැටුණා” කියලා. මට හරි කම්පාවක් ආවා ඒ වෙලාවේ. “එයා පල්ලෙහා ඉඳලා කෑගහනවා, අනේ එයාව බේරගන්න” කියලා. මීදුම නිසා මොනවත් පේන්නෙත් නෑ කිවුවා.

ඊට පස්සේ මම දුවලා ගිහිල්ලා හෝර්ටන් තැන්න කාර්යාලයේ ඉන්න නිලධාරීන් දැනුවත් කළාම, එම නිලධාරින් හෝර්ටන් තැන්න පොලීසියේ ස්ථානාධිපතිවරයව දැනුවත් කරලා සංචාරක පොලීසියේ නිලධාරීන්ද ඉක්මනින් එතැනට ගෙන්න ගත්තා.

3.3

ඒ වෙලාවේ හෝර්ටන් තැන්නේ වැටේ තිබුණා ලොකු නයිලෝන් ලණුවක්. මම ඒකත් අතට අරගෙන හෝර්ටන් තැන්න නිලධාරීන් කිහිප දෙනෙකුයි, පට්ටිපොළ පොලීසියේ ස්ථානාධිපති සුනිල් වීරකෝන් මහතාත්, ඒ පොලීසියේ සංචාරක පොලිස් නිලධාරීන් දෙන්නයි එක්ක පුළුවන් තරම් ඉක්මනට ලෝකාන්තය ළගට ගියා.

ඒ වෙලාවේ ඕ.අයි.සී. මහත්තයා යුද හමුදාවෙන්, පොලිස් විශේෂ බළකායෙන් මේ ළමයාව බේර ගන්න සහයෝගය ඉල්ලලා හැම තැනටම කෝල් කළා. ලෝකාන්තයේ ඒ හරියට හොඳටම දුරකතන සංඥා තිබුණ නිසා හොඳට ගියා.

ළමයා කන්දෙන් පහළ වැටිලා තියෙන්නේ 9.45ට විතර. ලොකු මීදුමක් තිබුණා. ළමයා කෑගහනවා ඇහුණා, “මට තව දුරටත් පඳුර අල්ලගෙන ඉන්න බෑ, මම වැටෙන්න යන්නේ” කියලා.

ඒ මොහොතේ මට හැඟී ගියා මෙතැන භයානක දෙයක් සිදු වී තිබෙන බව. ලෝකාන්තයට නැඹුරු වී බැලුවත් පාවෙන වලාකුළු මිස කිසිවක් අපට පෙනුණේ නැහැ. ඒ අතරේ තමයි දරුවා කෑගහන ශබ්දය ඇසුණේ. ඒ අතරේ, කලබල වූ අනෙක් ළමයිනුත් අඬනවා. තව මොහොතක්වත් බලන් ඉන්න පුළුවන් තත්ත්වයක් එතැන තිබුණේ නෑ. මම තේරුම් ගත්තා ළමයා ප්‍රපාතයට නොවැටී මඟ රැඳී සිටින බව.

එය බලාපොරොත්තුව දල්වන විශාල සැනසිල්ලක්. දරුවකු පහළට වැටුණු බව ඇසුණු බොහෝ අය ලෝකාන්තය වෙත දුවගෙන ආවා. මම බෑවුමේ දිගා වෙලා කන් දුන්නා. මට අවශ්‍ය වුණේ “දුවේ… බය වෙන්න එපා… අපි ඔයාව බේරා ගන්නවා…” කියන්න. “හයියෙන් අල්ලගෙන ඉන්න පුතේ…” කියලා මම කෑගැහුවා.

“මාව වැටෙන්න යනවා… මට තවත් එල්ලිලා ඉන්න බැහැ… මාව බේරගන්න…” යැයි කියමින් දරුවා කෑගහනවා සුළං කෝඩය මැද්දෙන් ඈතින් ඇසුණා. පට්ටිපොළ පොලීසියේ ඕ.අයි.සී. මහත්තයා ඇහුවා “කාටද පහළට බහින්න පුළුවන්?” කියලා. මම ඉදිරිපත් වුණා.

“සර්… මට බහින්න පුළුවන්. සර්ලා ලණුව අල්ලගන්න, මම පහළට බහින්නම්” කියලා මම ඉදිරිපත් වුණා. මම නයිලෝන් ලණුව ඉණේ ගැටගහගත්තා. පොටවල් කිහිපයක් පටලවලා, ඕ.අයි.සී. මහත්තයාත් තවත් කීප දෙනෙකුත් කඹේ උඩින් අල්ලන් හිටියා. මම ලණුව අල්ලගෙන හෙමින් හෙමින් ප්‍රපාතයේ බෑවුම දිගේ පහළට බැස්සා. බෑවුමේ වැවුණු පඳුරු නිසා කිසිවක් පේන්නේ නෑ. අඩි පනහක් හැටක් අසීරුවෙන් පහළට බසිද්දී ළමයා අඬන හඬ මට ඇසුණා.

“පුතේ හයියෙන් අල්ලන් ඉන්න… අපි ඔයාව ගන්නවා…” කියලා මම කෑගැසුවා. තද සුළඟ නිසා ඇඟ සීතල වෙනවා. ඒ එක්කම දරුවාට පඳුර අතෑරිලා පහළට වැටුණාද කියලා බයක් හිතෙනවා. අන්තිමට ළමයා යාන්තම් පෙනුණා. ඇය දකිද්දී මගේ පපුව කඩාවැටුණා. දරුවා ඉන්න තැනට කිට්ටු වෙන කොට මම දැක්කා ඒ දුව ඔළුව පහළටත්, කකුල් දෙක උඩටත්, වම් අතින් ඉලුක් පඳුරක් අල්ලගෙන ඉන්නවා. ‘මේ දරුවා ඉන්නේ ජීවිත අනතුර ආසන්නයේ… මා ළඟා වන තුරු හිටියොත් ඒ ඇති.’

මම මගෙ හිත හයිය කරගෙන හැකි උපරිම වේගයෙන් දරුවා ළඟට බැස්සා. මා ඒ දියණියගේ අත අල්ලා ගනිද්දී ඇය හිටියේ සීතලට තදින් ගැහෙමින්. ඇයට ජීවිතය බේරාන්න තවත් ඉතිරිව තිබුණේ ශක්තිය බින්දුවක් පමණයි. මා තව මොහොතක් පමා වුණා නම් පඳුර අල්ලාගෙන සිටිය ඇයගේ අත අත්හැරෙනවා ඒකාන්තයි. ඒ දරුවා අල්ලා ගත්තාට පසු හිතේ ඇති වූ සැනසිල්ල වචනයෙන් විස්තර කරන්න බෑ.

ඒ ළමයාගේ මානසිකත්වය පහළ නොවැටී හිත හයිය කරන්නයි මට අවශ්‍ය වුණේ. “බය වෙන්න එපා… අපි ඔයාව බේර ගන්නවා…” කිය කියා තමයි මම පහළට බැස්සේ. ඕ.අයි.සී. මහත්තයාත් උඩ ඉඳලා ළමයාගේ මානසිකත්වය හදන්න දැඩි උත්සාහයක් ගත්තා. මම ඉළුක් පඳුරේ එල්ලිලා ඉන්න ළමයා ළඟට ගිහින්, ළමයව අල්ලගෙන, මගේ නයිලෝන් කඹේට හොඳින් ගැටගහගත්තා.

ඊට පස්සේ ටිකක් වෙලා ඉඳලා ළමයාගේ බය නැති කරලා, අඩි 15ක් විතර උඩට ළමයව අරන් ආවා. උඩ ඉන්න ඕ.අයි.සී. මහත්තයා ඇතුළු අනිත් නිලධාරීන්ගේ සහයෝගය ඇතිවයි ඒ දේ කරන්න පුළුවන් වුණේ.

3.4

ළමයව ගෙනල්ලා බෑවුමේ ගල් තලාවක වාඩි කරලා තවත් ලණුවක් ආධාරයෙන් වතුර බෝතලයක් ගෙන්න ගෙන ළමයට බොන්න දීලා ළමයගේ බය මම නැති කළා.

ඊට පස්සේ දවල්12.45 වගේ වෙනකොට යුද හමුදාවේ, පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් එතැනට ඇවිල්ලා; ඒ ගොල්ලන් ගෙනාපු කඹේකින් කමාන්ඩෝ නිලධාරීන් දෙන්නෙක් මම ඉන්න තැනට බැස්සා. පස්සේ අපි තුන්දෙනාම එකතු වෙලා ගෑනු දරුවා උඩට එවලා කමාන්ඩෝ මහත්වරු ආපු ලණුවෙනුත් ගැටයක් ගහගෙන මමත් උඩට ආවා.

ලෝකාන්තයේ තිබුණ මීදුම් තත්ත්වයයි, සුළඟයි එක්ක පැය ගාණක් ගියා අපට උඩට එන්න. උඩට ආවාට පස්සේ ට්‍රොලියක තියාගෙන කිලෝමීටර් 4ක් දුරක තියන කාර්යාලය ළඟට ඔසවාගෙන ඇවිල්ලා 1990 සුවසැරියෙන් දරුවව නුවරඑළිය රෝහල වෙත යැවුවා. ඊට පස්සේ ළමයට ප්‍රතිකාර කිරීමෙන් පස්සේ මම ආපු කට්ටිය ආපසු මාගස්තොට නවාතැන්පොළට ගිහින් දැම්මා. මට රු.20,000ක් දුන්නා. මම ඒක ගත්තේ නැහැ. මම මුලින් කතා කරගත්ත රු.15,000ක් විතරක් අරගත්තා. නැවත 20 දා උදේම ඒ ළමයව බලන්න රෝහලටත් ගියා.

ඒ ළමයට දැන් සුවයි. ළමයාගේ මවුපියනුත් ඇවිත් හිටියා. ඒ ගොල්ලෝ ළමයාව බේරගත්ත මටත්, ආරක්ෂක අංශ නිලධාරීන්ටත් ස්තුතිය පළ කළා. මේ වගේ කරදරයක වැටුණාම කරදරේ වැටුණ කෙනාට උදවු කරන්න ඕනෑ.

මට ආර්ථික අපහසුකම් ගොඩක් තියෙනවා. මම වැන් එකේ ණය වාරිකය රු.60,000ක් මාසෙට ගෙවන්න ඕනෑ. ඒවාත් ගෙවාගෙන තමයි මගේ ජීවනෝපාය මම සිදු කරගෙන යන්නෙ. ඒත් කරදරයක් වුණාම අපි මිනිසුන්ට පිහිට වෙන්න අවශ්‍යයි.

මම කියන්නේ හෝර්ටන් තැන්න ලෝකාන්තයේ සංචාරය කරන්න ආවට කමක් නැහැ. හැබැයි අවදානම් ස්ථානවල සැරි සරන විට පරිස්සම් විය යුතුයි. ලෝකාන්තයේ උඩ ඉඳලා මීටර් 75ක් පමණ පහළින් තමයි නන්පේරියල් වත්ත තියෙන්නේ. ඒ නිසා ඒ වගේ තැන්වල ඡායාරූප ගන්න යන්න එපා. ඒ ළමයාගේ වාසනාවක් තිබිලා තියනවා අඩි 80ක් පහළට වැටිලත් බේරෙන්න…” යනුවෙන් ඔහු අවසන් වශයෙන් පැවසීය.

ලෝකාන්තයෙන් පහළ බැලූ විට කුඩා ප්‍රමාණයට ගොඩනැඟිලි කිහිපයක් දිස් වෙයි. ඒ පෙනෙන්නේ නන්පේරියල් වත්තේ උඩ කොටසයි. ලෝකාන්තයෙන් පහළට වැටුණොත් හමු වන්නේ බළන්ගොඩිනි. ඒ ලෙස වැටෙන මිනිසුන්ගේ සිරුරු සොයායෑමද දුෂ්කර ගමනකි.

ඒ තද බැවුම් මෙන්ම මහ කඳුවලින් යුතු පටු මඟකි. ඇතැම් අවස්ථාවල ලෝකාන්තයෙන් පහළට වැටුණු අයගේ සිරුරු සොයා හරස් මාර්ග ඔස්සේ කිලෝමීටර් හතඅටක් පයින් යා යුතුය. කෙනකුට කෙළින් කන්ද නැඟිය නොහැකි නිසා යා යුත්තේ හරස් අතටය.

3.5

හිරු පායා නොමැති වූ දවසක මීදුමෙන් සියල්ල වැසීයයි. ඒ නිසා ලෝකාන්තයෙන් වැටුණු කෙනකු සොයා යන ගමනද දුෂ්කරය. මේ තරුණියගේ ජීවිතය මේ මහා ප්‍රපාතයේ පතුලට නොවැටී බේරුණේ අහම්බයකිනි. ඇය බේරාගැනීමද ලෙහෙසි පහසු කාර්යක් නොවිණි.

මේ දුෂ්කර මෙහෙයුමින් ඇයගේ දිවි ගලවා ගැනීමට පට්ටිපොළ පොලීසියේ ප්‍රධාන පොලිස් පරික්ෂක ඩබ්.එම්.එස්. වීරකෝන්, යුද හමුදාවේ සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ සහයෝගය ලැබී තිබිණි. නුවරඑළිය ශ්‍රී ලංකා තුන්වැනි සිංහරෙජිමේන්තුවට අනුයුක්ත කර ඇති කමාන්ඩෝ භටයන් කිහිප දෙනකු, එම රෙජිමේන්තුවේ භට පිරිස්, නුවරඑළිය පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්, වනජීවී නිලධාරීන්ගේ ඒකාබද්ධ මෙහෙයුමකින් පසු සිසුවිය බේරාගෙන ඇත.

ඇයව ප්‍රතිකාර සඳහා නුව‍රඑළිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කළ බවය හෝටර්න් තැන්න ජාතික වනෝද්‍යානයේ කළමනාකරු මංජුල මොනරතැන්න පවසයි.

සෙල්ෆි නිසා ලොව පුරා දිවි අහිමි වූවෝ බොහෝය. ඒ අතුරින් පාසල් දරුවන් සහ විශ්වවිද්‍යල දරුවන් ගණන අතිවිශාලය.

අවදානම් ස්ථානවල සෙල්ෆි ගැනීම බොහෝ දරුවන්ගේ අමන විනෝදාංශයක් වී ඇත. මොහොතක අතපසු වීමකින් සිදු වන්නේ මහත් විනාශයකි. එවන් සෝචනීය සිදුවීමක් වළක්වා ගැනීමට ඒකාබද්ධ මෙහෙයුමට සහභාගි වූ සියලු දෙනාට සිළුමිණ අපිද ස්තුතිය පුද කළ යුතුය.

සිළුමිණ