මහනුවර සාන්ත පාවුළු විදුහලේ මා ප්‍රාථමික අංශයේ ඉගෙනීම ලැබූ අවධියේ ඒ.කේ. වෛද්‍යසේකර අපේ ගුරුතුමා අප පාසලින් කණ්ඩායමක් කැටුව ගොස් ගුවන් විදුලියේ ළමාපිටිය වැඩසටහනක් ඉදිරිපත් කළෙමි. එවිට ගුවන් විදුලි සේවය පවත්වාගෙන ගියේ බොරැල්ලේ කොටා රෝඩ්හි පිහිටි පාළු නිවසක් තුළය. අපි සැම මයික්‍රෆෝනයක් වටා බිම ඉඳගෙන වැඩසටහන ඉදිරිපත් කළෙමු. ප්‍රථම වතාවට ගුවන් විදුලියෙන් මා ගීයක් ගැයුවේ එදාය. අපේ වැඩසටහන මෙහෙය වූයේත්, නිවේදන කටයුතු කළෙත්, ශබ්ද පරිපාලනය ආදී සියලුම කාර්යයන් ඉටු කළේ තේවිස් ගුරුගේ මහතාය. ඒ අවධියේ ගුවන් විදුලි ප්‍රධානියා වූයේ ඩී. එම්. කොළඹගේ මහතා ය.
ගුවන් විදුලි සේවය සඳහා පසු කලෙක මැදිරි දහයකින් හෙබි අංග සම්පූර්ණ ගොඩනැගිල්ලක් ටොරිංටන් චතුරශ්‍රයේ දී ඉදිකරනු ලැබීය.
1956 වසරේදී භාරතයේ භාත්කණ්ඩ සංගීත විශ්වවිද්‍යාලයේ අධිපති පණ්ඩිත් රතන්ජන්කර් මහතා ගෙන්වා ගෙන පරීක්ෂණයක් පවත්වා ගුවන් විදුලි ස්වදේශීය සේවයට අවශ්‍ය ශ්‍රේණිගත සරල ගී, ශාස්ත්‍රීය ගී ගායකයන්, වාදකයන් රැසක් තෝරා ගැනිණ. ඒ අතර 14 වයසැති සිඩ්නි ආටිගල සහ ප්‍රිම්රෝස ජයසිංහ ‘ඒ’ ශ්‍රේණියේ සරල ගී ශිල්පීන් ලෙස තේරී පත්වීම විශේෂත්වයකි.

තවද එවක ජනප්‍රිය ගායකයෙකුව සිටි සුනිල් සාන්ත මහා සංගීතවේදියා මෙම පරීක්ෂණය වර්ජනය කළේය. ඔහු හේතුව දක්වා සිටියේ භාත්ඛණ්ඩ විශ්වවිද්‍යාලයෙන් සංගීත විශාරද උපාධිය ලබාගත්තේ රතන්ජන්කර් පඬිතුමාගෙන් හෙයින් නැවතත් ඔහු ඉදිරියේ පරීක්ෂණයකට පෙනී සිටීම අනවශ්‍ය වන බවය. කෙසේ හෝ සුනිල් සාන්තයන්ට ගුවන් විදුලියේ දොර වැසිනි.
1960 දශකයේ මුල් භාගයේ බලයට පැමිණි රජයේ ගුවන් විදුලිය භාර ඇමති වූ ඩී. ඒ. එස්. මරික්කාර් මහතාගේ විශේෂ ඇරැයුමෙන් සුනිල් සාන්තයන්ට සහ ආනන්ද සමරකෝනුන් හට ඉරිදා දිනවල උදේ 7.30 ට මාරුවෙන් මාරුවට පැය භාගයක ගීතමය වැඩසටහන් පවරා දුන්නේය. මේ දෙදෙනා ඉතා කැමැත්තෙන් ඒ වැඩසටහන් ඉදිරිපත් කළහ. සුනිල් සාන්ත ඉදිරිපත් කළ ගී අතර තිලක සුදර්මන් ද සිල්වා රචනා කළ අයිවෝ ඩෙනිස් ගැයූ “කුරුළු පරාදීසයේ” නමැති ගීය ද විය.
එක්තරා අවධියක ස්වදේශීය සේවයෙන් ප්‍රචාරය වූ ගී විවේචනයට ලක් කරමින් කෙනෙක් පුවත්පතකට ලිපියක් සපයමින් පවසා තිබුණේ ගුවන් විදුලි අංසභාග වී නිසා ශ්‍රාවකයන් කණ්ඩායම් ගී නමින් හැඳින්වූ බටහිර පන්නයේ ගී වර්ගයකට යොමුවෙමින් සිටින බවය.
1970 දසකයේ මුල් භාගයේ ජී. එස්. බී. රානි පෙරේරා මහත්මිය ස්වදේශීය සේවයේ සංගීත අංශයේ නිෂ්පාදකවරියක ලෙස පත්විය. ඈ ප්‍රථමයෙන්ම වාදක මණ්ඩලයේ අඩුපාඩු සපුරාලන අලුතින් සංගීත භාණ්ඩ කීපයක් ද මිලදී ගෙන ‘ගීත තරංගනී’ නමින් සංගීත වැඩසටහනක් ආරම්භ කළාය. තෝරා ගත් සරල ගී ශිල්පීන් පිරිසකගෙන් ගී හතර බැගින් ප්‍රමිතියෙන් උසස් ස්වතන්ත්‍ර තනු අනුව ගී රැසක් තැටියට නඟා ප්‍රචාරය කෙරිණි. සමහරුන්ට ගී අටක් පමණ තැටිගත කිරීමට අවස්ථාව ලැබුණි. වික්ටර් රත්නායක, මර්වින් පෙරේරා, ප්‍රියා සූරියසේන වැනි ගායකයන් ශ්‍රාවකයන් අතර ජනප්‍රියවීමට ‘ගීත තරංගනී’ වැඩසටහන ඉවහල් වූ බව කිව හැකිය.

කරුණාරත්න අබේසේකර මහතා මෙහෙයවූ යෞවන සමාජය වැඩසටහනින් ආධුනික ගායකයන්ට සහ ලේඛකයන්ට තම හැකියාවන් එළිදැක්වීමට අවස්ථාව සැලසිනි.
සරල ගී ඇතුළු වැඩසටහන් පටිගත කිරීමට වෙනම කාමරයක් තිබිණි. වැඩසටහන පුහුණුවී අවසානයේ නිෂ්පාදක එම පටිගත කරන කාමරය ඇමතුවේ මෙසේය. ”Calling recording room// recording will Commence exactly ten seconds from now”
දිනක් ගුවන් විදුලි සංස්ථාවේදී එවක සිටි සභාපති කුමාර් අබේසිංහ මහතා හමුවූ විටෙකදී මා ඔහුට කීවා සමහර ගායක ගායිකාවන්ගේ ගී ප්‍රචාරය කරන විට ‘විශාරද’ යන වචනය නමට මුලින් යොදන බවත් එය සංගීත විශාරද විය යුතු බවත්. තවද අමරා රණතුංග මහත්මිය සංගීත අංශයෙන් ආචාර්ය උපාධිය ලබා ඇති හෙයින් ඇගේ නම සඳහන් කරන විට ආචාර්ය අමරා රණතුංග විය යුතු බවත්. සභාපතිතුමා එකඟවී එය මගෙන් ලිඛිතව ලබාගෙන සිංහල අංශයේ සංවිධායකට යොමු කළා. ඔහුගේ තීරණය වූයේ මින්පසු ගායක ගායිකාවන්ගේ ගී ප්‍රචාරය කිරීමේදී අධ්‍යාපන සුදුසුකම් ප්‍රචාරය නොකළ යුතු බවයි.
ගුවන් විදුලියෙන් ප්‍රචාරය වූ උසස් සංගීතමය වැඩසටහනකි ‘ගීත නාටකය’ චන්ද්‍රරත්න මානවසිංහ, විමල් අබේසුන්දර වැනි සාහිත්‍යධරයන් ලියූ ගීත නාටක කීපයක් ප්‍රචාරය විය. ගුවන් විදුලියේ උසස් තනතුරක් දැරූ සරත් විමලවීර සහ කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා යන මහත්වරු මගේ හැකියාව හඳුනාගෙන “අනාර්කලී” ගීත නාටකයට සංගීත නිර්මාණය කිරීම මට භාර දුන්නා. මා එය සාර්ථකව ඉටුකර පටිගත කළා. එය රචනා කළේ මහාචාර්ය තිලක් රත්නකාර මහතා. නිෂ්පාදනය කළේ මහගම සේකර මහතාය. සංගීතය මෙහෙයවූයේ වාදක මණ්ඩලයේ එවක සිටි ප්‍රධානියා වූ පණ්ඩිත් අමරදේවයන්ය. එතුමාගෙන් මෙන්ම වාදක මණ්ඩලයේ සිටි වයලීන් වාදක එන්. කේ. රොක්සාමි සහ වාද්‍ය විශාරද තබ්ලා වාදක ඩී. ආර්. පීරිස් යන මහතුන්ගේ උපරිම සහයෝගය මට ලැබුණි. එම ගී හතට සවන්දී සිටි මහගමසේකර මහතා ඒවා බුද්ධිමතාටත් සාමාන්‍ය ජනතාවටත් එකසේ රසවිඳිය හැකි බව ප්‍රකාශ කළා.

අනාර්කලී ගීත නාටකය ප්‍රථම වතාවට ප්‍රචාරය වුණේ 1961 ජනවාරි මාසයේ ය. පසුදිනකදී නැවත ප්‍රචාරය විය. මෙම ගීත නාටකයේ තේමා ගීතයවූ “සරත් සමේ මදක් පිපුණු…. අනාර්කලී” ගැයුවේ එච්. ආර්. ජයරත්න සමග කේ. ජුලියට් ප්‍රනාන්දු ගායන ශිල්පීන් විසිනි. එම ගීතය අතිශයින් ජනප්‍රිය විය. 2023 වර්ෂයේදී එය තැටි ගබඩාවේ අස්ථානගත විය. එවක සිටි සංගීත අංශයේ ප්‍රධානියා මෙයට වගකිව යුතු බව මගේ හැඟීමයි. දූෂිතයන් ගුවන් විදුලියේ කීර්ති නාමයටත් ගෞරවයටත් හානිකර බව ශ්‍රාවකයන්ගේ මතයයි.
ආධුනික ගායකයෙකු කාලයේ වික්ටර් රත්නායක මහතා ගැයූ සිහිල් සුළං රැල්ලේ ගීතය ඇසූ සරත් විමලවීරයන් ඒ ගීය වහා තැටියකට නඟා මටද අසන්නට සැලසුවා. ඔහු ඒ ආධුනික ගායකයා එදා අගේ කොට මා හා කතා කළා. සුදුස්සාට සුදුසු තැන දෙන මුදිතා ගුණයෙන් යුත් නිලධාරීන් අතීතයේදී ගුවන් විදුලියේ සිටි බවට කදිම සාධකයකි ඒ.
ගුවන් විදුලි සේවය අසන්නන්ගේ ආධ්‍යාත්මික ගුණ වගාව සඳහා මහඟු සේවයක් ආරම්භයේ සිටම ඉටුකරමින් පවතිනවා. ප්‍රථම වතාවට ගුවන් විදුලියෙන් බෞද්ධ ධර්මදේශනයක් පැවැත්වූ පැලෑනේ වජිර ඥාන හිමිපාණන්ගේ පටන් අද දක්වා ධර්මදේශන, ධම්ම චින්තා වැනි වැඩසටහන්ද ක්‍රිස්තියානි, ඉස්ලාම් ආගමික වැඩසටහන්ද ඒ සඳහා ඉවහල් වේ. ආගමික වැඩසටහන් ඇසුරින් පොත්පත් ද ලියැවී ඇත. “යහපත් සිතිවිලි” සහ “යහපත් කවි සිතිවිලි” මෙන්ම දේශන තුළින් උපුටා ගත් කතා 26කි. ඉංග්‍රීසියට පරිවර්තනය කොට ලියා Stories for Humanity නමින් කතා පොතක් ද ලිවීමට මා පෙලඹ වූයේ ආගමික වැඩසටහන් බව කෘතවේදීව සිහිකර සිටිමි. ඉහත සඳහන් සිංහල, පොත්වලට අනුග්‍රහය දැක්වූයේ කැලණියේ මිතුරු ප්‍රින්ටර්ස්හි අධිපති අසෝක ජයතිලක මහතා සහ එම මහත්මියයි. ඉංග්‍රීසි පොත සරසවි ප්‍රකාශකයන්ගේ ප්‍රකාශනයකි.
වෙළඳ සේවය
ගුවන් විදුලියේ වෙළඳ සේවය ආරම්භයේදී බොහෝ දුරට H.M.V. කොළොම්බියා වැනි තැටි උපයෝගී කරගෙන ගීත ප්‍රචාරය කරන්නට සංගීත අංශයේ නිලධාරීන්ට සිදුවිය. ආධුනික පැයෙන් ප්‍රථම ස්ථානය දිනූ ගායක ගායිකාවන් සහභාගිකර ජයග්‍රාහක පෙළපාලිය නම් වැඩසටහනක් නරඹන්නන් ඉදිරියේ පැවැත්විණි. එහිදී ප්‍රථමයා තෝරාගනු ලැබූයේ එම නරඹන්නන්ගේ ඡන්දයෙනි. එම ප්‍රථම තැන දිනූ ගායක ගායිකාවන්ට ‘තරු තැනුම’ නමින් පැය භාගයක ගීතමය වැඩසටහනක් පවරා දෙනු ලැබිණි. පසුව 1958 දී පරීක්ෂණයක් පවත්වා ගායක ගායිකාවන් රැසක් තෝරාගන්නා ලදී. ඒ හැමට තුන් මසකට වරක් ගීත තුන බැගින් පටිගත කිරීමේ වැඩපිළිවෙළක් පැවතුණි. ගී තුනටම ගාස්තුව වශයෙන් ගෙවනු ලැබූයේ රුපියල් පහළොවකි. මෙවන් ගී තැටියට නඟා ප්‍රචාරය කෙරුණි. පස් දෙනෙකුගෙන් යුත් වාදක මණ්ඩලයක් ද තිබිණ. වෙළඳ සේවයේ මෙසේ තැටිගත කළ ගී අතුරින් ඊබට් ප්‍රනාන්දුගේ ගී ආරම්භයේදීම අසන්න ලැබිණි.
වෙළඳ සේවයේ ප්‍රධානියා වූයේ ලිවී විජේමාන්න මහතාය. සංගීත අංශයේ ප්‍රධානියා වූයේ එඩ්මන් විජේවර්ධන මහතාය. පසුව පී. එල්. ඒ. සෝමපාල මහතා සංගීත අංශයේ ප්‍රධාන තනතුරට පත්විය.
ගායකයන් බොහෝ දෙනෙක් හින්දි චිත්‍රපට ගී තනු අනුව සිංහල ගී ගයා ජනප්‍රියවීම විශේෂ සිද්ධියක් විය. එවක වෙළඳ සේවයේ සිටි ජ්‍යෙෂ්ඨ නිවේදක වරයෙකු වූ ආරියසේන මිල්ලවිතානච්චි මහතා දක්ෂ සංගීතඥයෙකු වූ ෂෙල්ටන් ප්‍රේමරත්නට ඇරැයුම් කර ගෙන්වා ගායකයන්ට ස්වතන්ත්‍ර ගී තනු නිර්මාණය කර දුන්නා. ක්‍රිස්ටෝෆර් පෝල් ගයන රුවන් තොරන් තනා, එඩ්මන්ඩ් වික්‍රමසේකර ගයන පංච කල්‍යාණි මෙන්ම මා ගයා ඇති රණ මොණරෝ වැනි ගීත ඉන් සමහරෙකි. ෂෙල්ටන්ගේ ගී තනු නිර්මාණයට ගේය පද බොහොමයක්ම ලීවේ බණ්ඩාර කේ. විජේතුංගයි.
1962 දී වෙසක් දින ප්‍රචාරය සඳහා විශේෂ වෙසක් ගීයක් ඉදිරිපත් කරන ලෙස ශිල්පීන් කීපදෙනෙකුට සංගීත අංශයේ ප්‍රධාන පී.එල්.ඒ. සෝමපාල මහතා ආරාධනා කළේය. ඒ අනුව පණ්ඩිත් අමරදේවයන්, ජේ. ඒ. මිල්ටන් පෙරේරා, සුජාතා අත්තනායක සහ මට ද අවස්ථාව ලැබුණා. අමරදේව මහතා ප්‍රථම වතාවට වෙළඳ සේවයෙන් ගීයක් ගැයුවේ ඒ අවස්ථාවේදී බව දැනගන්නට ලැබුණි. වෙසක් සඳේ ගීතය මා එදින පටිගත කළේය. සෝමපාල මහතාගේ ඉල්ලීම පරිදි ඒ ගීතයේ වෙසක් සඳේ වචන වෙනුවට පෝය සඳේ නමින් වෙනස් කොට පසු දිනක යළි තැටිගත කෙරුණි.
වෙළඳ සේවයේ ගායන ශිල්පීන් හැමෝම වාගේ ප්‍රේම ගීත පමණක් ගායනය කිරීම අසන්නන්ගේ දෝෂ දර්ශනයට ලක්විය. එබැවින් සිංහල අංශයේ ප්‍රධානියාවූ ශ්‍රීපාලි වයමන් මේ ගැන යම් පියවරක් ගත්තේය. සරල ගී පටිගත කිරීම සඳහා එවන ලිපියෙන් ප්‍රේම ගීත තහනම් කෙරිණි. 1966 සැප්තැම්බර් 14 දින මට එවූ ලිපියේ මේ සම්බන්ධයෙන් සඳහන් කොටස මෙසේ ඉදිරිපත් කර සිටිමි.
“පෙරදිග සංගීත ශෛලියට ඉඳුරා වෙනස් බටහිර තනු හා ප්‍රේමය පිළිබඳ ගෙතුණු පබැඳුම් අනුමත කරනු නොලැබේ.”
රජය ගෙන ගිය වගා සංග්‍රාමයට සහයෝගයක් වශයෙන් ගායකයන් තැටිගත කරන ගී තුනෙන් එකක් ගොවිතැන ගැන ලියූ ගීයක් විය යුතු බවද දැනුම් දෙන ලදී. යුද්ධය පැවති සමයේ රණවිරුවන් දිරිගැන්වීම සඳහා ගී තුනෙන් එක් ගීයක් රණ ගීයක් විය යුතු බවද ශිල්පීන්ට දැනුම් දෙනු ලැබීය.
1958 දී මරදානේ සඟරාජ මාවතේ ස්ථානයක එක්තරා තරුණයෙක් සංගීත පංතියක් පවත්වාගෙන යනවා දුටු මා ඔහු හමුවී සර්පිනාවේ කෝඩ් වාදනය ඉගෙනීමට එම පංතියට බැඳුණි. මා ගුවන් විදුලියේ ගී ගයන බව දැනගත් ඔහු මට ගී පහක් පමණ තනු නිර්මාණය කර දුන්නා. ඔහු වෙන කිසිවෙකු නොව එදා කවුරුවත් නොදත් ප්‍රේමසිරි කේමදාස තරුණයාය. ඔහු මට සපයා දුන් “කිරිලියේ මල් වනේ” ගීතය ජනප්‍රිය වූ නිසා හරූන් ලන්ත්‍රාටත් එවැනි ගීයක් අවශ්‍ය විය. මා ඔහුව කේමදාසයන්ට හඳුන්වා දුන්නා. ඔහුට “රත්තරං කූඩුවේ ඉන්න රන් කිරිල්ලියේ” ගීතය නිර්මාණය කර දුන්නේය. මගේ ගීතය විජිත කුසුම් ලියනගේ සමග ගැයූ නිසා ඔහුගේ ගීතයටත් ඇයවම යොදාගත්තා. ප්‍රේමසිරි කේමදාස මාස්ටර් ප්‍රථමයෙන්ම ගුවන් විදුලියට සම්බන්ධ වුණේ ඔන්න ඔහොම බව මම විශ්වාස කරමි.
සෝමතිලක ජයමහ මහතා රජයේ ලිපිකරු සේවයට බැඳී ගුවන් විදුලි වෙළඳසේවයේ කාර්යාලයට පත්වීමක් ලැබ පැමිණ සිටියා මට මතකයි. ජාතික ඇඳුමින් සැරසී ඒ තරුණයා වරක් මා සරල ගී පටිගත කර මහනුවර යෑමට දුම්රිය බලපත්‍රය (railway warant) පිළියෙල කොට දුන් අයුරු මට මතකයි. එදා ඒ ක්ලාක් මහත්මයා අද ගුවන් විදුලියේ විශිෂ්ට, ප්‍රකට ගායකයෙකි.
ප්‍රවීණ ගායක ටියුඩර් කඳනආරච්චි