මෑතකදී ශ්‍රී ලංකාවට කඩාවැදුණු ‘දිට්වා’ සුළි කුණාටුව විසින් රටේ දිස්ත්‍රික්ක 25 පුරාම ඇති කළ මහ විනාශය අතිශය කම්පාවට පත්වන කරුණකි. මිනිස් ජීවිත සිය ගණනක් අහිමිවීම, මිලියනයකට අධික පිරිසක් පීඩාවට පත්වීම, දස දහස් ගණනක් නිවාස සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් විනාශ වීම, මහා මාර්ග, විදුලිබල හා සන්නිවේදන පද්ධතිවලට සිදුවූ බරපතළ හානි මෙන්ම කෘෂිකාර්මික හා ව්‍යාපාරික අංශවලට එල්ලවූ බලපෑම දිට්වා සුළි කුණාටුවේ බිහිසුණු බව පසක් කරයි. මෙම දැවැන්ත ව්‍යසනය හමුවේ නැවත නැගිටීමට වෙර දරන මොහොතක, අනිවාර්යයෙන්ම නැගිය යුතු ප්රශ්නය නම් ශක්තිමත් සහ ක්‍රියාකාරී පූර්ව ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක් තිබුණේ නම්, මෙම හානිය මෙතරම්ම දරුණු වීමට ඉඩ තිබුණාද යන්නයි. ආපදා කළමනාකරණය ප්‍රධාන අදියර තුනකට බෙදා දැක්විය හැකිය. එනම් පූර්ව ආපදා අවස්ථාව, ආපදාව සිදුවන අවස්ථාව සහ පශ්චාත් ආපදා අවස්ථාව ලෙසයි. මෙහිදී පූර්ව ආපදා කළමනාකරණය යනු ව්‍යසනයක් සිදුවීමට පෙර, එහි අවදානම් තත්ත්වයන් නිවැරැදිව හඳුනා ගැනීම, එම අවදානම් අවම කිරීම සහ එම ව්‍යසනය සඳහා සූදානම් වීමයි. එයට අනාවැකි කීම, පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති ස්ථාපිත කිරීම, අවදානම් සිතියම් සකස් කිරීම, ප්‍රතිරෝධී යටිතල පහසුකම් සංවර්ධනය, ඉවත් කිරීමේ සැලසුම් පෙර පුහුණුවීම් මගින් පුරුදු පුහුණු කිරීම සහ මහජනතාව නිසි පරිදි දැනුවත් කිරීම ඇතුළත් වේ.

කුණාටුවෙන් විදුලිබල පද්ධති, මාර්ග සහ ජල සැපයුම්වලට සිදුවූ හානිය විශාල විය. නිසි පූර්ව සැලසුම්කරණයක් තිබුණේ නම්, විදුලි කණු සහ සන්නිවේදන කුලුනු සවිබල ගැන්වීම, ජලාපවහන පද්ධති කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීම සහ ගංවතුර අවදානම් සහිත ප්‍රදේශවල ඉදිකිරීම් නියාමනය කිරීම තුළින් මෙම හානි අවම කරගත හැකිව තිබුණි
දිට්වා සුළි කුණාටුව පිළිබඳව පළවූ වාර්තා සහ විශේෂඥ මත අනුව, ශ්‍රී ලංකාවේ ආපදා සූදානම තවමත් න්‍යායාත්මක මට්ටමක පවතින බව පෙනී යයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් වුවද, ඒවා බිම් මට්ටමේ ක්රියාකාරීත්වයක් බවට පත්කිරීමේ යාන්ත්‍රණයෙහි පැහැදිලි දුර්වලතා තිබුණු බව අපට පෙනී යන කාරණයකි. මේ නිසාම බොහෝ ප්‍රදේශවලින් වාර්තා වූයේ ජනතාව ඉවත් කිරීමේ ක්‍රියාවලිය ප්‍රමාද වූ බවයි. තවද, ස්ථාපිත කළ ආරක්ෂක මධ්‍යස්ථාන නිසි සම්පත්වලින් (පිරිසිදු ජලය, ඇඳ ඇතිරිලි, ඖෂධ) සමන්විත නොවූ අතර සමහරක් සුළඟට හා ගංවතුරට ඔරොත්තු නොදෙන අවදානම් සහිත ගොඩනැඟිලි විය. මෙය දුර්වල ස්ථාන තෝරා ගැනීම සහ සම්පත් කළමනාකරණය පිළිබඳ ගැටලුවකි.
කුණාටුවෙන් විදුලිබල පද්ධති, මාර්ග සහ ජල සැපයුම්වලට සිදුවූ හානිය විශාල විය. නිසි පූර්ව සැලසුම්කරණයක් තිබුණේ නම්, විදුලි කණු සහ සන්නිවේදන කුලුනු සවිබල ගැන්වීම, ජලාපවහන පද්ධති කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීම සහ ගංවතුර අවදානම් සහිත ප්‍රදේශවල ඉදිකිරීම් නියාමනය කිරීම තුළින් මෙම හානි අවම කරගත හැකිව තිබුණි. එසේම දිස්ත්‍රික් මට්ටමින් තීරණ ගැනීමේ වේගය අඩුවීම, ආයතන අතර දත්ත හුවමාරුවේ සහ සම්බන්ධීකරණයේ දුර්වලතා පැවතීම දිට්වා ව්‍යසනයේදී ප්‍රකට විය. ඵලදායී පූර්ව ආපදා කළමනාකරණයක් සඳහා අවශ්‍ය වන්නේ ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන සම්බන්ධීකරණ යාන්ත්රණයකි. ජී.පී.එස්. පදනම් කරගත් ඇඟවීම්, බහුවිධ භාෂා හරහා පණිවුඩ යැවීම වැනි නවීන තාක්ෂණික පූර්ව අනතුරු ඇඟවීමේ ක්‍රමවේදයන් ප්‍රමාණවත් ලෙස භාවිත නොවීමද මෙවන් ව්‍යසනයට අත දෙන්නට ඇතැයි දැනට පෙනී යන කරුණකි. සුළි කුණාටු වැනි ව්‍යසනවල තීව්‍රතාව කාලගුණික විපර්යාස සමඟ වැඩි වෙමින් පවතී. ඒවා සම්පූර්ණයෙන් වළක්වා ගත නොහැකි වුවද, පූර්ව සූදානම මගින් හානිය අවම කිරීම සහ ප්‍රතිචාර දැක්වීමේ කාර්යක්ෂමතාව වැඩි කිරීම කළ හැකිය.

දිට්වා සුළි කුණාටුව ශ්‍රී ලංකාවට ලබා දුන්නේ ඉතා කටුක පාඩමකි. අනතුරු ඇඟවීම් තිබුණාට, නිසි සූදානමක් සහ ප්‍රායෝගික පුහුණුවක් නොමැතිවීමෙන් සිදුවූ හානිය දරුණු විය. මෙතැන් සිට, ආපදා කළමනාකරණය යනු ප්‍රතිචාර දැක්වීමක් නොවිය යුතුය. එය විද්‍යාත්මක, ප්‍රාදේශීය මට්ටම දක්වා විහිදුණු සහ ප්‍රජාව මුල් කරගත් ක්‍රියාකාරී ක්‍රියාවලියක් විය යුතුය.
නිසි පූර්ව කළමනාකරණයක් මගින් අවදානම් සහිත ප්‍රදේශවල ජනාවාස විධිමත් කිරීම සහ සුළං හා ජලයට ඔරොත්තු දෙන පරිදි නිවාස ඉදිකිරීමේ ප්රමිතීන් බලාත්මක කළ හැකිය. අනතුරු ඇඟවීම් ලැබුණු විගසම, පුහුණු කරන ලද ප්‍රජා කණ්ඩායම් විසින් ජනතාව ආරක්ෂිත ස්ථාන කරා ඉක්මනින් ඉවත් කිරීමට හැකි වේ. එසේම පූර්ව පුහුණුවීම් නිසා ජනතාවට තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වහා ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳව අවබෝධයක් ලැබේ.
කෙසේ වෙතත් දිට්වා සුළි කුණාටුව ශ්‍රී ලංකාවට ලබා දුන්නේ ඉතා කටුක පාඩමකි. අනතුරු ඇඟවීම් තිබුණාට, නිසි සූදානමක් සහ ප්‍රායෝගික පුහුණුවක් නොමැතිවීමෙන් සිදුවූ හානිය දරුණු විය. මෙතැන් සිට, ආපදා කළමනාකරණය යනු ප්‍රතිචාර දැක්වීමක් නොවිය යුතුය. එය විද්‍යාත්මක, ප්‍රාදේශීය මට්ටම දක්වා විහිදුණු සහ ප්‍රජාව මුල් කරගත් ක්‍රියාකාරී ක්‍රියාවලියක් විය යුතුය. ශ්‍රී ලංකාව ඉදිරියේ ඇති අභියෝගය වන්නේ ‘දිට්වා‘ අත්දැකීමෙන් පාඩම් ඉගෙනගෙන, නාමික සැලසුම් වෙනුවට, ඕනෑම ව්‍යසනයක් හමුවේ ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන පරිදි සියලුම ආයතන සහ ප්‍රජාව සූදානම් කරන ජාතික වැඩපිළිවෙලක් ස්ථාපිත කිරීමයි. එසේ කළහොත්, මතු අනාගතයේදී සිදුවන ස්වභාවික ව්‍යසනයකින් රටට සිදුවන හානිය අදට වඩා විශාල ලෙස අවම කර ගැනීමට හැකිවනු ඇත.
කෞශල්‍යා විජයනායක දිවයින පුවත්පතෙනි