“කුකුල්ලු ගෙදරට එන්නේ රෑට ලගින්න විතරයි”
සමහරවිට ඔබ හොලිවුඩ් චිත්‍රපට අතරේ කරක් ගසන්න ප්‍රිය චිත්‍රපට ලෝලියෙක්නම් මේ වචන ටික අමතක වෙන්න බැහැ.ඔස්කාර් සම්මාන පහකට නිර්දේශ වුණ ඒ විතරක් නොවේ වෙනත් සම්මාන උළෙලවල් වලදී 62 වතාවක් නිර්දේශ වී එයින් 17 ජයග්‍රහනය ලැබුව,ඇමෙරිකානු ඩොලර් මිලියන 390.5 උපයාගන්න සමත් වුණ Martin Scorsese ගෙ අධ්‍යක්ෂනයෙන් හැඩවුණු The Wolf of Wall Street චිත්‍රපටයේ අතිශය සමීප රූපරාමුවකදී නිරන්තරයෙන් මුමුණන වචන කිහිපයක් තමයි ‘”කුකුල්ලු ගෙදරට එන්නේ රෑට ලගින්න විතරයි”කියා කියන්නේ.
සාමාන්‍ය ආණ්ඩුවේ රෝහලක ඉපදුන,හරිහමන් වත්කමක් නැති සරළ පවුලක මිනිසෙක් වූ ජෝර්ඩන් බෙල්ෆෝර්ට් සිය ජීවිතය සහමුලින් වෙනස් කරගන්නා ‘කතාව’මේ චිත්‍රපටය පුරා දිගහැරෙනවා.ජෝර්ඩන් බෙල්ෆෝර්ට් එසේ මෙසේ පුද්ගලයෙක් නෙවේ.අතිශය ශූර ව්යාහපාරික ඥානයක් ඔහු සතුයි.එහෙත් සියල්ලට වඩා අල්ලස් ගැනීම, දූෂණය, අපරාධ නීති උල්ලංඝනය කිරීම් පිලිබඳව හංවඩු ගැසූ පුද්ගලයෙක් සේම සාහසික පන්නයේ කපටියෙකු ලෙස තමයි ජෝර්ඩන් ලෝකයා හඳුනන්නේ.
කොටස් වෙළඳපොළ අතරේ ජීවිත සාන්ත දාන්ත තීන්ත කූඩු මට්ටමේ නොවන බව සහතික ඇත්තක්.එහෙත් ව්‍යාපාරික ලෝකයේ කිරුළ කරා යන ගමනේදී ජීවිත, අතිශය ප්‍රාථමික ලංසුවක වෙන්දීසි වන හැටි මේ කතාවෙන් ඔබට කියනවා. 2013 දී තිරගත වුණු ලියනාඩෝ ඩිකැප්රියෝ රඟපෑ The Wolf of Wall Street චිත්‍රපටය නරඹන්නන් අතරේ දැඩි කතාබහට ලක්වුණා.එහෙත් ඊට පෙර ජොර්ඩන් බෙල්ෆෝර්ට්ගෙ ඇත්ත කතාව The Wolf of Wall Street නමින් ඔහුම ලියනවා. මිනිස්සු දහස් ගාණකට රැකියා දුන්න ව්යවසායකයෙකුගෙ අපූරු ජීවිත කතාවක් කියා, පොත ගැන චරිත සහතික දෙන්න තරම් හදිස්සියක් නැතත් මේ පොත භාෂා 50ට පමණ පෙරළෙමින් පිටපත් මිලියන ගානක් අලෙවි වෙන්නේ උණු කැවුම් ගානට. අතිශය ලාමක කුණුහරප වචන සේම කෲර ව්‍යාපාරික නරුමකම් ජෝර්ඩන් උපාසකකම් උඩුහුළඟට පා කරමින් හෙළිදරව් කරනවා.
ඔය අතරේ ආදරය ගැනත් කතා කරනවා.
“ඔයා ආදරේ කරන්නේ කාටද කියලා තෝරගන්නේ නෑ නේද? ඔයා ආදරේ කරන්න ගත්තට පස්සේ – ඒ උමතු ආදරය, ඒ සියල්ල පරිභෝජනය කරන ආදරය, දෙන්නෙක්ට එක මොහොතක්වත් එකිනෙකාගෙන් වෙන්ව ඉන්න බැරි තැන – ඒ වගේ ආදරයක් ඔයාව මඟහැර යන්න ඉඩ දෙන්නේ කොහොමද?”

ඇමරිකානු වෙළඳ රාජධානියේ ප්‍රධාන තොග කඩය හෙවත් කොටස් වෙළඳපොල තුල පෙනෙන නොපෙනෙන සේම අසෙන නොඇසෙන කලුපාට චිත්‍රය යහමින් ප්‍රදර්ශනය කරන්න ජෝර්ඩන් සමත් වෙනවා.
කිලෝමීටර් 1.1ක් පුරා කාපට් තාර ඇතිරිල්ල වැතිරුණ අමෙරිකාවේ ප්‍රකට වීදිය හඳුන්වන්නේ වෝල් වීදිය නමින්. කලු පාට සේම සුදුපාට ලොකු චරිත ස්වකීය ජීවිත සිහින ඔට්ටුවට තබන්නේ මේ කිලෝමීටර් 1.1 වීදිය දෙපස බව තිත්ත ඇත්තක්. ලෝකය අල්ලේ තියාගෙන ඒ වටේට කරණම් ගසන අරුම ප්‍රකෝටිපතියන් සිය උපරිම නාඩගම රඟන්නේ මේ වීදිය මුල්කොට ගෙන.’ඔබට අපෙන් තොර ජීවිතයක් නැත” කියා ඉන්දියාවේ අම්බානිලා ස්වකීය ආදර්ශ පාඨය යොදන්නේත්,මරණින් මතු ජීවිතය ගැන මට වැඩක් නෑ,මට වැදගත් ජීවත් වන කාලයයි කියා කාලෝස් ස්ලීම් ලා කියන්නේත් මේ මහා ධනකුවේර ලෝකයේ ඌෂ්ණයෙන් වැජඹෙන නිසයි. බිල්ගේට්‌ස් වැනි කීර්තිමත් ඇමරිකානුවන් මෙන්ම ජෝර්ඩන් බෙල්ෆෝර්ට් වැනි සාහසික ව්‍යාපාරිකයනුත් මේ වීදියේ සෙල්ලම් කරනවා.
කොටස් වෙළඳපොල තුල ‘උපාසකයින්’සිටිනවායැයි කවුරුන් හෝ සිතනවානම් එය තරමක පොට වරද්දා ගැනීමක්.වෝල් වීදියේ ලෝකයේ විශාලතම කොටස් වෙළෙඳපොළ වරක් උද්ඝෝෂකයින්ගේ ග්‍රහණයට හසුවූයේ එහි සිදුවන ‘අඳුරු කතන්දරය’දන්න නිසයි.
‘ඔව්, ඒක හරි; මුදල් තමයි මිනිසා දන්නා ලොකුම තනි ගැටළු විසඳන්නා‘
නැවත චිත්‍රපටය දෙසට හැරුණොත් ඔබට ඔබට පෙනෙන්නේ අතිශය ශූර රංගනයකින් මුසපත් ලියනාඩෝ ඩිකැප්රිතයෝ.ඔහු අති දක්ෂ ව්‍යවසායකයෙකුගේ,අති දක්ෂ කොටස් තැරැව්කරුවකුගේ විලාසය පමණක් නොවේ නාඹර යුවතියන් කිහිප දෙනෙකු සමඟ බෙහෙවින්ම ප්‍රබෝධයෙන් සම්බෝගයේ යෙදෙන සල්ලාලයෙකුගේ රටාවත් නොමසුරුව ඇස් අද්දරට ගේනවා.ඩොලර් කොල ඇඳුම් ආයිත්තම් සේ පැළැඳි අනුරාගී කතුන්ගේ දසුන ජෝර්ඩන් ගේ සරාගී ආත්මය නිරුවත් කරනවා.
හැම තාත්තෙක්ම,හැම අම්මා කෙනෙක්ම සිය දරුවා සමාජය බුහුමන් දක්වන රැකියාවකට යොමු කිරීමේ සිහිනයක් හදවතේ නඩත්තු කරනවා.ජොර්ඩන් බෙල්ෆෝර්ට්ගෙ දෙමාපියනුත් සිය සිහිනය දරුවාගේ ජීවිතය තුලින් සැබෑ කරගන්නට සිහින දුටුවා.එහෙත් දෙමාපියන්ගේ සිහින දෙමාපියන්ටම තියා ගන්නයැයි නොකියා කී ජොර්ඩන් තමාගේ සිහින ගමනේ පාර සොයන්නට වුණා.දොස්තරවරයෙකු වී සංවර ජීවන භූමිකාවක් ස්වකීය පුත්ර යා රඟනු ඇතැයි ජොර්ඩන් ගේ දෙමාපියන් සිතුවත් ජොර්ඩන් බිස්නස් ලෝකයේ කැරළි ගහන හැටි ගැන හිතුවා.ඒ අතරේ නාඹර යුවතියන්ගේ බටර් පාට ශරීරත්,හොලිවුඩ් නිලියන්ගේ සරාගී කාන්තියත් විඳීමේ සිහිනයකින් ඔහු පෙළුනා.
තාත්තගේ ඕනෑකමට දන්ත විද්යාලයට ගොස් කෘතිම දත් කුහර හාරමින් ටික දිනක් ඔහු ගෙවා දමනවා.එය ඔහුගේ ජීවිතයේ ‘කම්මැලිම‘ කාල සමය වෙනවා.මේ වීදුරු බීකර සහ පරීක්ෂණ නල අතරේ ගෙවන ජීවිතය නීරස ලෙස දකින ජෝර්ඩන් ඉන් නික්මී ‘බිස්නස්’කරන්නට පටන් ගන්නවා.ඒ අතරේ විවාහයක් කරගන්නා ඔහු ‘සල්ලි හොයන’හීනය වෙනුවෙන් අසීමිතව වෙහෙසෙනවා.ගෙන් ගෙට ගොස් විකිණීමත්,ඉන් කිසියම් ලාබයක් ඉපයීමත් කරන ජෝර්ඩන් පපුව ඇතුලේ ලියාගෙන ඉන්නේ ඊට වඩා ලොකු සිහිනයක්.අමෙරිකාව හොල්ලන ධනකුවේරයෙක් වෙන සිහිනය ඔහුට තිබෙනවා.ජනාකීර්ණ නිව්යෝර්ක් නගරය ජෝර්ඩන්ව භාර ගන්නේ සාදරයෙන්.මොකද වෝල් වීදියේ සෙල්ලමට සරිලන මෙවලම ජෝර්ඩන් බව නිව්යෝර්ක් නගරය දන්නවා. තමන් සොයන මාවත මේ කාර්යලබහුල වීදියේ තිබෙන බව ඔහුට දැනෙනවා.
ජෝර්ඩන් තැරැව්කාරයෙකු බවට පත්වෙන්නේ ඉවෙන් වගේ. කොටස් වෙළඳ පොලේ කුඩා අතු සේ පැවැති තැරැව්කාර සමාගමක අත්දැකීම් ලබන ජෝර්ඩන් ඉන් අනතුරුව හත් ගවුවක් දුර පනිනවා.කොටස් වෙළඳපොල යට තිබෙන ‘කතන්දරය’ශූර ලෙස අල්ලා ගන්නා ජෝර්ඩන් ඊට පස්සේ සෙල්ලම් කරන්නේ තමාට හුරු පිටියේ.කොටස් වෙළඳපොළ ගැන මෙලෝ හසරක් නොදන්නා ‘පිස්සු’වර්ගයේ රංචුවක් එකතුකර ගන්නා ජෝර්ඩන් සෙල්ලම පටන් ගන්නවා. ස්ට්රැටන් ඔක්මාර්ට් කියන්නේ ඔහු පටන් ගත්ත සමාගම.ටික ටික ජෝඩන්ගේ සමාගම අමෙරිකානු කොටස් වෙලඳපොල කරකවා අතාරිනවා.
අවම වටිනාකම් සහිත භාණ්ඩ ඉහළ ලාභාංශ යටතේ විකුණන ඔහු අදහාගත නොහැකි ලාභ ලබනවා.එහෙත් ඒ යටින් තිබෙන්නේ ‘කලුපාට’කතාවක්.“ධනවාදය කෙතරම් දැවැන්ත නිෂ්පාදන සහ හුවමාරු මාදිලි මවා පෙන්වන්නේද යත්, එය සිය මන්ත්රභවලින් අපායේ සිට කැඳවන ලද බලවේගයන් තව දුරටත් පාලනය කර ගැනීමට නොහැකි වූ මන්ත්‍රකාරයෙකුගේ තත්ත්වයට ඇද වැටෙයි.”කියා කියන්නේ මාක්ස්.
එය සහමුලින් ඇත්තක් කියා ඔප්පු වෙන අයෙක් වෙත්නම් ඔහු ජොර්ඩන්.
කොටස් වෙළඳපොලේ දුවන තරඟයේදී ‘තහනම් උත්තේජක’ගැනීමේ දරුණු වරද ජෝර්ඩන් මුල සිටම කරනවා.ඒ අතරේ අතිශය බිහිසුණු සාපරාදිකම් සේම කාමභෝගී ජීවිතයකුත් ගෙවනවා.දෙවතාවක් විවාහ වී ඒ දෙවතාවම දික්කසාද වී දිනපතා රූබර කතුන් හතර පස් දෙනා සමග යහන්ගත වීමේ ජීවන රටාව ජෝර්ඩන් නොමසුරුව සිදුකරනවා. අසීමිත වංචාකාරී ජීවිතයේ වේගය ‘අනතුරක්’බව ලෝක යතාවයි.එය පසක් කරමින් ජෝර්ඩන් පොලිස් අත්අඩංගුවට පත් වෙනව.ඒ අත්අඩංගුව නවතින්නේ මාස 22ක් හිරේට නියම වෙමින්.ඔහු එළියට එන්නේ ජීවන රටාව වෙනස් කරගන්න තීරණය කරමින්.
ආසාවටවත් පොතක් නොකියවූ ඔහු ‘පොතක් ලියන කතුවරයෙක් වෙන්න තරම් වෙනස් ජීවිතයක් අරන් හිරෙන් එන හැටි අපූරුයි.එතැන් සිට ඔහු ‘අමුතු මිනිහෙක්’. මිනිසෙකු වන්නටත් නොමිනිසෙකු වන්නටත් සිපිරිගෙය තෝතැන්නක් බව ප්‍රකට කියමනක්.නොමිනිසෙකුගේ විලාසය කොහොමත් තිබුනු ජෝර්ඩන් සිපිරිගෙයින් පිටමන් වෙන්නේ මිනිසෙක් වෙමින්.එක්තරා අතකට අති බිහිසුණු කාමභෝගී ජීවිතය සේම කූට වංචාකාරී බිස්නස් ගේම් ද වෝල් වීදියේ ලොකු බිත්ති අතර සැඟවෙන්නට හරින ජෝර්ඩ්න් ‘අලුත්’මාවතක් තෝරා ගන්නවා.
අදවන විට ලොව පුරා ප්‍රකට දේශකයෙකු සේම සමාජ වැඩ කරන්නෙකු ලෙසත් ජෝර්ඩන් බෙල්ෆෝර්ට් කතාබහට ලක් වූ චරිතයක්.හැබැයි “කුකුල්ලු ගෙදරට එන්නේ රෑට ලගින්න විතරයි”කියන කතාව ඊයේට අදට වගේම හෙටටත් වලංගුයි.