එක්සත් ජාතික පක්ෂයත්, සමගි ජන බලවේගයත් එකතු නොවුණොත් එදා එක්සත් ජාතික පක්ෂයෙන් ගිහින් සජබෙ හදපු පාක්ෂිකයන් නැවතත් සජබෙ අතහැරලා එක්සත් ජාතික පක්ෂයට එකතු වීම වැළැක්විය නොහැකි බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක හරින් ප්‍රනාන්දු පවසයි.
“එක්සත් ජාතික පක්ෂයේ නායකතුමා භාර දුන් අලුත් තනතුරේ වගකීම් අද මා භාර ගත්තා. හරියටම අවුරුද්දක කාලයක් දේශපාලනික වශයෙන් අපි කළ යුත්තේ කුමක්ද කියන දේ ගැන, එක්සත් ජාතික පක්ෂය කියන්නේ මොකක්ද කියන එක ගැන, එක්සත් ජාතික පක්ෂය රටට මොනවාද කර තියෙන්නේ කියන එක ගැන හිතුවා. නිදහස දිනා දීමට ඇරඹි එක්සත් ජාතික පක්ෂය අද තවත් කර්තව්‍යයකට උර දී සිටිනවා. එක්සත් ජාතික පක්ෂය කියන්නේ ප්‍රශ්නයක්, අර්බුදයක් පැන නැඟුණු සෑම මොහොතකම පක්ෂ පාට නොබලා සියලු දෙනා එකතු කරගෙන රටේ උන්නතියට කටයුතු කළ පක්ෂයක්.
වත්මන් ආණ්ඩුවට චෝදනා කරනවා වෙනුවට එක්සත් ජාතික පක්ෂයේ න්‍යාය, ප්‍රතිපත්තිය සමඟ අලුත් වැඩපිළිවෙළක් ඉදිරියට ගේන්න අපි සූදානම්. ආණ්ඩුවට දේශපාලනික දිශානතියක් නෑ. හරියට බැලුවොත් ආණ්ඩුව දක්ෂිණාංශිකයි. සමාජවාදය නෑ. එක්සත් ජාතික පක්ෂය හැමදාමත් දේශපාලන ප්රතිපත්තියක හිටියා. ඒ දේශපාලන ප්‍රතිපත්තිය තුළ පිහිටා රට පුරා අලුත් මුහුණුවරකින් එක්සත් ජාතික පක්ෂයේ දැවැන්ත බලවේගයක් ඉදිරි මාස හයේ නිර්මාණය කරනවා කියන පොරොන්දුව මේ අවස්ථාව ලබා දෙනවා.

සමගි ජන බලවේගය සමඟ එක්ව කටයුතු කරන්න අවශ්‍ය කටයුතු මේ වන විට සිදු වෙමින් පවතිනවා. අපි ඇතුළුව එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයන් සමගි ජන බලවේගය නිර්මාණය කළා. පක්ෂ නායකයන්, තනතුරු දරන අය මොන මතයක් දැරුවත් එක්සත් ජාතික පක්ෂයටත්, සමගි ජන බලවේගයටත් එකතු වෙන්න කියලා ගමේ ඉල්ලීමක් තිබෙනවා. එහෙම නොවුණොත් එදා එක්සත් ජාතික පක්ෂයෙන් ගිහින් සජබෙ හදපු පාක්ෂිකයන් සජබෙ අතහැර එක්සත් ජාතික පක්ෂයට එකතු වන එක වළක්වන්න බෑ. අපි කියලා නෙවෙයි ගමේ සමුපකාර ඡන්දයට මිනිස්සු එකතු වුණේ. ගමේ මිනිස්සු අපට කියන්නේ නායකයන් එකතු වුණත්, නැතත් අපි එකතු වෙනවා කියන එකයි. අපි හිතනවා පක්ෂ නායකත්වය මේ සම්බන්ධයෙන් තීන්දු ගනියි කියලා.
ඔය අතර කේ. සංජීව හරින්ගේ නව ආගමනය ගැන සටහනක් තබා ඇත.
හරින් ප්‍රනාන්දු නියෝජ්‍ය ලේකම් කරලා මිනිහට රැස්වීම් 1000ක් ඕගනයිස් කරන්න දීලා. සිරිකොත පැත්තෙන් ඒ ගැන හෙන ඝෝෂාවක් එනවා. මට තේරෙන්නේ නැත්තේ අලියා පක්ෂයේ එවුන් තමන්ගේ ඡන්ද තීරුව මේ තරම් දෙකේ කොළේට දාන්නේ ඇයි කියලා.
1994 ගාමිණී දිසානායක තොටළඟ බෝම්බයෙන් ඝාතනය උනාට පස්සේ තවමත් එක්සත් ජාතික පක්ෂයට අලුත් නායකයෙක් නෑ. නායකත්ව ප්රශ්නය ආපු ගමන් මොනවා හරි තනතුරු ටිකක් දීලා ඒ ප්රශ්නය තාවකාලිකව සමනය කරගෙන රනිල් වික්‍රමසිංහ සදාකාලික නායකයා කරගෙන යෑමක් තමයි තිබෙන්නේ.

එජාපයට උරුම මේ කරුමය නිසා නායකයෝ විදිහට උඩට ආපු ගාමිණී අතුකෝරළ, කරු ජයසූරිය වගේ අයට රාජ්‍ය පාලකයා වෙන්න බැරිවුණා. සජිත් ප්‍රේමදාසට අවසාන මොහොතේ හෝ මොළයක් තිබ්බා අලුතින් පක්ෂයක් හදාගෙන එළියට යන්න. ඇත්තටම සජිත් ඒකට රංජිත්ට තලතට වගේ අයට ස්තුතිය කරන්න ඕනෑ. නැත්තං සජිත්ට මේ කපේට විපක්ෂ නායකයාවත් වෙන්න බෑ රනිල් වික්‍රමසිංහ මැරෙනකම්.

දැන් රනිල් තමන්ට සුළු හෝ ප්‍රශ්නයක් වෙයි කියලා හිතෙන හරින් ප්‍රනාන්දු ට මස්කට්ටක් දීලා. ඇත්තටම හරින් කියන්නේ දක්ෂ සංවිධායකයෙක් මම දන්න තරමට. සජබය අස්සේ උනත් ඔහුට තවමත් ලොකු ගෞරවයක් සහ ප්‍රසාදයක් තිබෙනවා. මේ වෙනකොට ඔහුට සිරිකොත අස්සෙත් එවැනිම ප්‍රසාදයක් තිබෙනවා. ඉතිං ඒ නැඟ එන ජනප්‍රියත්වය ඉස්සරහා මේවගේ තනතුරක් දීලා උබ රැස්වීම් 1000ක් ඕගනයිස් කරහන් කීම අර පරණ රනිල් නූල් ගේමම තමයි.
අපිට ප්‍රශ්නයක් නෑ රනිල් මැරෙනකම්ම ඔය පක්ෂයේ නායකයා විදිහට ඉන්න එක. ප්රශ්නය තිබෙන්නේ මේ නායකයෝ වෙනස් වෙන ජනමතය තේරුන් ගන්නවත් නොහැකි මරිමෝඩ සල්ලිකාරයෝ ටිකක් විතරක් වීම. මුන්ට පක්ෂය අස්සේ තියෙන විරෝධය කලමනාකරණය කරගෙන ත්‍රීවිල් පක්ෂයක් විදිහටම හරි මේක ඇදගෙන යන්න සල්ලි තිබෙන නිසා ඉතිං ඔහේ වැඩේ ඉස්සරහට යනවා.
කේ. සංජීව