සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායකගේ දියණියගේ විවාහය පසුගිය අඟහරුවාදා සිදු විය. එහි විවාහ ගිවිස ගැනීමේ දී සාක්ෂියට අත්සන් කිරීමට යොදාගෙන තිබුණේ අපූරු දෙදෙනකු ය. මනාලියගේ පාර්ශවයෙන් සාක්ෂිය අත්සන් කිරීමට සජිත් තෝරා ගනිද්දී, මනාලයාගේ පාර්ශවයේ සාක්ෂියට අත්සන යොදන්නට ආරාධනා කර තිබුණේ රනිල්ට ය. මනාල යුවළ ගේ දෙපසට වී තමන් ගේ වාරය එනතුරු පෑන අතට ගෙන සිටි, සජිත් සහ රනිල් මුහුණට මුහුණ බලමින් සිටිනු දුටු ඒ අසල සිටි අයෙක් අපූරු කතාවක් තිස්ස ගේ කනට කර කීවේ ය.“බලන්න මේ ජෝඩුව බඳිනකොට, අර ජෝඩුවටත් හිතෙනවා ඇති අපි දෙන්නත් වෙන් නොවී හිටියනම් අද සතුටින් නේ කියලා..”
කටට බ්‍රේක් නැති තිස්සත් මිතුරට කොඳුරමින් ඊට ප්‍රතිචාර දැක්වීය.
“මමත් හැමදාම හැදුවේ ඔය දෙක බන්දන්න තමයි, මේ අද කළෙත් ඒකට ම පොඩි ට්‍රයල් එකක්”
එහෙම කියපු දෙදෙනාම කාටවත් නොපෙනෙන ලෙස සිනාසුණේ අවට සිටින අය හිනස්සවන්නට බැරිකමට ම ය.