ගුණදාස අමරසේකර මහතා පිළිබඳ ලියනු පිණිස පෑන අතට ගත් සැණින් මගේ හිස තුළට මෙබඳු මාතෘකා පාඨයක් කඩා වදී.
මාතෘකාව : අමරසේකර / තහනම් වචනය : දේශපාලනය
ඒ සමගම මීට බොහෝ කලකට පෙර (2010) අමරසේකර අදාළ කර ගනිමින් මා ලියූ ලිපියක මාතෘකා පාඨයක් වූ, රෝගය : අමරසේකර / රෝග ලක්ෂණය : යළි උපන්නෙමි යන්න මගේ මතකය කොනිත්තයි.
ඇත්ත. අද මා අමරසේකර ගැන ලියන ලිපියේ සංදර්භය යට කී ලිපියට වඩා වෙනස් ය. සැබවින්ම මේ ලිපිය තුළ මා උත්සාහ කරන්නේ අමරසේකරගේ දේශපාලනය කෙතරම් නම් ඔහුගේ නිර්මාණ ලෝකයෙන් ඛණ්ඩනය වන්නේද යන්න විමර්ශනය කිරීමය. එවිට ඔහුගේ විචාර චින්තනය ඊනියා යථාර්ථවාදය සමතික්‍රමණය කළ නූතන ප්‍රවාද සමගද සම අසුන් ගන්නා සැටි කියවීම අමරසේකර පිළිබඳ වෙනස් දේශපාලන ප්රවේශයකි.
යථාර්ථවාදී සංදර්භයක් තුළ ලාංකීය සාහිත්‍ය විචාරය හැම විටම දිගේලිව තිබුණේ රසාස්වාදනය නම් වූ පටු සීමාවේය. ඒ අනුව සාහිත්‍ය විචාරය යනු කතුවරයාගේ අභිප්‍රාය හිංසනයට ලක් නොවන පරිදි තත් කෘතිය පාඨකයාට තේරුම් කර දීමක් ලෙස අර්ථ ගැන්වී ඇත. ඒ අනුව විචාරකයා හැම විටම සිටිය යුත්තේ නිර්මාණකරුවාට පසුපසිනි. ඔහුගේ එකම කාර්යය වන්නේ නිර්මාණයේ අභිප්‍රේත අර්ථ පාඨකයා වෙත රැගෙන යාමය. ඊනියා ලාංකීය සාහිත්‍ය විචාර ක්ෂේත්රය තුළ කලා විචාරකයා යනු ලේඛකයා සහ පාඨකයා අතර සබඳතාව පවත්වාගෙන යන පාලමකි.
යටකී ප්‍රවාදය ඔළුවෙන් සිටුවන ප්‍රකාශයක් අපට අමරසේකර මහතාගේ අලියා සහ අන්ධයෝ නම් විචාර කෘතියේ දක්නට ලැබේ. මෙම විචාර කෘතිය මුල් වරට පළ කරන ලද්දේ 1966 වර්ෂයේදීය. එකී පළමු මුද්‍රණයෙන් අවුරුදු පනහකට පසු එහි දෙවන මුද්‍රණය පළවූ අවස්ථාවේ ඉන් ප්රකාශමාන වන අමරසේකරගේ විචාර භාවිතාව පිළිබඳ ලිපියක් 2014 ජූලි 20 දින මම සිළුමිණ පුවත් පතට ලිව්වෙමි. එම ලිපිය පළ වූයේ ග්රන්ථ විවේචන නම් වූ තීරුවට ලියැවුණ පිටු භාගයක්වත් නොවන ඉතා කුඩා වපසරියකය.
එහෙත් මේ මොහොතේ අප අමරසේකර පිළිබඳ කතා කරන්නේ මේ වන විට අපට සිටින වෘධතම ලේඛකයා ලෙස ඔහුට පුද කරන අභිනන්දනයක් වශයෙනි. අමරසේකර අලියා සහ අන්ධයෝ කෘතියෙහි පළ කර ඇති සමහර අදහසක් අද කාලයේ බටහිර ප්‍රචලිත ප්‍රවාදවලට පවා යා දෙන විදියේ මතවාද ය. එහිදී ඔහු විචාරය යනු නිර්මාණාත්මක කාර්යයක් බව පවසන්නේ බටහිර විචාරයේ පදනම ද එය බව පැහැදිලි කරමිනි.
අමරසේකර අලියා සහ අන්ධයෝ කෘතියේ 10 පිටුවේ ලා මෙසේ ලියයි.
“විචාර වාද ක්‍රමවල එල්බ ගෙන කරන මෙවැනි ගාල ගෝට්ටි ඉංග්‍රීසි සාහිත්‍ය ක්ෂේත්රයෙහි කලකට පෙර දක්නට ලැබිණ. ඒවා දැන් ඉවත්ව ගොස් ඇත්තේ විචාර වාද ක්රමයක එල්බ ගැනීම සාහිත්‍ය විචාර කාර්යය සීමිත කිරීමක් බව ඔවුනට වැටහී ගොස් ඇති බැවිණි. සාහිත්‍ය විචාරය හුදු විවච්ඡේදන ක්‍රමයක් නොව ප්‍රති නිර්මාණයක් බව ඔවුන් වටහා ගෙන ඇත. නිර්මාණ වාද ක්‍රමවලින් හිරවී කළ හැකි දෙයක් නොවේ.”
මෙවිට අප ඇසිය යුතු ප්රශ්නය නම් බටහිර ප්‍රවාද විසින්ද අනුදත් නිර්මාණාත්මක විචාරය ඒවා කියවීම යනු කුමක්ද? යන්නය. සැබවින්ම නිර්මාණාත්මක විචාරය යනු මුල් කෘතියෙන් විකේන්ද්‍රීය වූ කියවීමකි. එය වූ කලී මුල් කෘතියේ කතුවරයා ඉක්මවා යන කියවීමකි. එම විචාරය ලේඛකයාගේ ලිවීම නොව පාඨකයාගේ (විචාරකයාගේ) කියවීම තුළ නැවත ලියවෙන වෙනම නිර්මාණයක් බවට පත් වන්නකි.
ටෙරී ඊගල්ටන් නමැති මාක්ස්වාදී විචාරකයා ඔහුගේ Literary Theory නම් කෘතියේ පවසන පරිදි සියලු සාහිත්‍ය නිර්මාණ ඒවා කියවන සමාජ විසින් නැවත ලියයි. සැබවින්ම නිර්මාණයක් යළි ලිවීමකින් තොර වූ නැවත කියවීමක් නැතැයි යනුවෙන් ඊගල්ටන් එය වරනගයි. මෙහි විශේෂ කාරණය වන්නේ ඊගල්ටන්ට අනුව එය සිදුවන්නේ අවිඥානිකවය. අමරසේකර සම්බන්ධයෙන් ගත් කල ඔහුගේ විචාර භාවිතාව සහ නිර්මාණ කාර්යය ඔහුට අවිඥානික වූ කිසිවක් බැවින් ඔහුගේ ඊනියා දේශපාලන භාවිතාව සමග එය විබද්ධ වේ.
අමරසේකර මහතා අලියා සහ අන්ධයෝහි පරිච්ඡේද කිහිපයක් වියදම් කරන්නේ විරාගය මළගිය ඇත්තෝ සහ යළි උපන්නෙමි යන නවකතා ත්‍රිත්වය විමර්ශනය කිරීමටය විරාගය පිළිබඳ ලියද්දී ඔහු පිළිගන්නා කරුණක් නම් අරවින්දගේ චරිතය තුළ යම් හිස් තැනක් (lack) පවතින බවය. එහිදී කතුවරයා සමග ආත්මීය ගිවිසුමකට එළඹීම ප්‍රතික්ෂේප කරන විචාරකයා තත් කෘතිය ප්‍රති නිර්මාණය කරන්නේ නවකතාවේ එම පරතරය තුළය.
ගුණදාස අමරසේකරගේ පැරණි නවකතා වූ කරුමක්කාරයෝ,දෙපා නොලද්දෝ, ගන්ධබ්බ අපදානය සහ ජීවන සුවඳ, රතු රෝසමල වැනි කෙටිකතා වෙතින් පළවූ නිර්මාණශීලී බවට ලං වන්නට මෙතෙක් මෙරට කිසිදු ලේඛකයකුට හැකිවී නැතිවීම අපට බැහැර කළ නොහැක.
විරාගයේ එන එක් සුවිශේෂ සංසිද්ධියක් නම් අරවින්ද මරණ මංචකයේ සිටි අවසන් කාලයේදී සරෝජිනී ඔහු බැලීමට පැමිණීමය. මෙම සිදුවීමට අදාළව විරාගය විචාරයට ලක් කළ කිසිදු විචාරකයකු නොකළ සොයා ගැනීමක් අමරසේකර නම් විචාරකයා කරයි. එනම් සරෝජිනීගේ පැමිණීම සැබවින්ම සිදු වූ දෙයක් නොව අරවින්දගේ කල්පනා ලෝකය තුළ සිදුවූ දෙයක් ලෙස කියවීමය. වෙනත් ලෙසකින් කියන්නේ නම් එම සිදුවීම අරවින්දගේ ෆැන්ටසියක් පමණක් වීමය මෙවැනි කියවීමක් අපට අපේක්ෂා කළ හැක්කේ නූතනවාදී විචාර පිළිබඳ පයිරුපාසානයක් ඇත්තකු වෙතින් පමණකි.
මේ දිනවල අමරසේකර පිළිබඳ අප්‍රමාණ ලෙස ලියවෙයි. එයට හේතුව ඔහුට වයස අවුරුදු 96 ක් වෙමින් ඔහුගේ උපන් දිනය පසුගිය 12 වෙනිදාට යෙදී තිබීමය. මෙතරම් කාලයක් අප අතර සිටි මෙම විද්වත් ලේඛකයා පිළිබඳ බොහෝ කොටම ලියවුණේ ප්රශස්තිය. එහෙත් මෙම ලිවීම එබඳු තවත් එක් ප්රශස්තියක් නොවේ.ඇත්තටම නම් ගැඹුරින් විමසා බලන්නකුට ඔහුගේ නවකතා සහ කෙටිකතා තුළ අතිශය පුළුල් වපසරියක විහිදෙන සමාජ කියවීමක් හසු කර ගත හැකිය.
ගුණදාස අමරසේකරගේ පැරණි නවකතා වූ කරුමක්කාරයෝ,දෙපා නොලද්දෝ, ගන්ධබ්බ අපදානය සහ ජීවන සුවඳ, රතු රෝසමල වැනි කෙටිකතා වෙතින් පළවූ නිර්මාණශීලී බවට ලං වන්නට මෙතෙක් මෙරට කිසිදු ලේඛකයකුට හැකිවී නැතිවීම අපට බැහැර කළ නොහැක. එසේම ඔහුගේ සත්‍ය කතාව සහ අසත්‍ය කතාවක් නම් කෙටි නවකතා දෙක මගින් පළ කළ සමාජ දේශපාලන සවිඤ්ඤානකත්වයක් එලෙස අපේ නිර්මාණකරුවන්ට අත්පත් කර ගැනීමට හැකිවී නැත. එහෙත් ඒ සියල්ල ඔහුගේ දේශපාලනය සමග සමපාත නොවේ.
කෙසේ වෙතත් අමරසේකරගේ සමහර කල්පනා යථාර්ථවාදී විචාරයේ සීමා තුළ පීඩාවට ලක්වන බව නොකියා නොහැක. නිදසුනක් නම් විරාගය සම්බන්ධයෙන් ඔහු කරන විවේචනයකි. විරාගය විශිෂ්ට නවකතාවක් ලෙස ගන්නා අමරසේකර විරාගයේ ඇති එකම දුර්වලතාව ලෙස දකින්නේ අරවින්ද විපරිත මනසක් ඇත්තකු වූයේ කෙසේද යන්න පිළිබඳව වික්‍රමසිංහ නිසි පිළිතුරක් දී නොතිබීමය එනම් ඊට බලපෑ අතීත හේතුව හිස් තැනක් නැතහොත් රික්තයක් ලෙස පැවතීමට ඉඩ දී තැබීමය. ආකස්මික ලෙස අමරසේකරගේ යටකී මතයට අතිශය සමාන අදහසක් සරච්චන්ද්‍රගේ මළගිය ඇත්තෝහි දෙවෙන්දරා සං අරබයා මාර්ටින් වික්‍රමසිංහ පළ කර ඇත. ඔහුගේ සිංහල නවකතාව සහ ජපන් කාම කතා සෙවණැල්ල නම් කෘතියේ ලා ඔහු පවසන්නේ දෙවෙන්දොරා සං ගේ වර්තමාන හැඩ ගැස්මට බලපෑ අතීතය කවරාකාර වීදැයි පැහැදිලි නොවීම එම නවකතාවේ දුර්වලකමක් බවය. ඉන් ඔහු ඉඟි කරන්නේ මළගිය ඇත්තෝ යථාර්ථවාදී නවකතාවක් ලෙස පරිසමාප්තියට පත් වීමට නම් එම තොරතුරු අඩංඟු විය යුතුව තිබුණ බව විය හැක.
වික්‍රමසිංහ දෙවෙන්දොරා සං පිළිබඳ යටකී අදහස පළ කරන්නේ මළගිය ඇත්තෝ යථාර්ථවාදී නවකතාවකැයි යන අභ්‍යුපගමය (assumption) පළ කරමින් එය යථාර්ථවාදී රීතියේ ධාරණා නොබිඳ ඇති නවකතාවකැයි ගනිමිනි. එහෙත් අමරසේකර අවිඥානික ලෙස යථාර්ථවාදී රීතිය ප්‍රතික්ෂේප කරයි. විරාගය නවකතාවේදී සරෝජිනී, අරවින්ද හමුවීමට පැමිණීම යථාර්ථමය සිදුවීමක් නොව හුදු ෆැන්ටසියක් පමණකැයි අමර සේකර කල්පනා කිරීම අවිඥානික එළිදරව් වීමකටත් වඩා ඔහුගේ සුපිරි අහමේ (super ego) ඇන වීමෙන් වන්නකැයි මම සිතමි.
විරාගය විශිෂ්ට නවකතාවක් ලෙස ගන්නා අමරසේකර විරාගයේ ඇති එකම දුර්වලතාව ලෙස දකින්නේ අරවින්ද විපරිත මනසක් ඇත්තකු වූයේ කෙසේද යන්න පිළිබඳව වික්‍රමසිංහ නිසි පිළිතුරක් දී නොතිබීමය එනම් ඊට බලපෑ අතීත හේතුව හිස් තැනක් නැතහොත් රික්තයක් ලෙස පැවතීමට ඉඩ දී තැබීමය.
එහෙත් එම නවකතා දෙකේම අතීතය රික්තයක්ව පැවතීම ඒවාහී කලාත්මක භාවය තීව්ර කරන්නක් ලෙස මම කල්පනා කරමි. දෙවෙන්දොරා සං සහ අරවින්ද යන දෙදෙනාම මේ නවකතා තුළ අප කියවන්නේ එම මධ්‍ය රික්තය නැතහොත් හිස් බව වටකොට ගනිමින් නිරූපණය වී ඇති ආකාරය සමගය. මේ විචාරකයින් කියන පරිදි ක්ෂුද්‍ර විස්තරයක් පමණක් සැපයීම නිසා බාහිර සංකේතීය පටලැවිලි සහ ඊට බලපෑ ෆැන්ටසි විශ්වාස අතර පරතරයක් පැවතීම ඕනෑම කලා කෘතියක දක්නට ලැබෙන්නකි. එහෙත් කලා කෘතිය නිර්මාණශීලී වන්නේ මෙම අඩුව වාසි සහගත සාධකයක් බවට පෙරළා ගැනීම අනුවය. එම මධ්‍ය රික්තය නැතහොත් හිස් බව වටකොට ගනිමින් කලා කෘතිය නිර්මාණය වීම තුළ කලාකරුවාගේ ප්‍රතිභාව පළවේ. (මෙම කරුණ මගේ මළගිය ඇත්තෝ යළි උපදිති නම් කෘ තියේ 11 වන පරිච්ඡේදයේ දීර්ඝව කතා බහ කර ඇත.)
අමරසේකර තමාගේම අවිඥානයේ හරස්කඩක් විදාරණය කරන කෙටිකතා කිහිපයක් 2014 දී පළ කළේය. කෙටිකතා පහකින් සමන්විත එම පොත නම් කර තිබුණේ “කියනු මැන දිවි අරුත “ යනුවෙනි. එම කෙටිකතා මගින් අමරසේකර තමා තුළ සිටින අමරසේකර ප්‍රශ්න කරයි. සැබවින්ම එම කෙටිකතා ඉවසිල්ලෙන් කියවන කිසිවකු එමගින් අමරසේකර තුළින් දෘෂ්ටිවාදී පීලි පැනීමක් පිළිබිඹු වෙතැයි කීමටද බැරි නැත. එම කෙටිකතා පොතෙහි එන සුවිශේෂ කෙටිකතාව වූයේ රෝහලේ ගින්න නමැති නිර්මාණයයි. එම කෙටිකතාවට අදාළ සිදුවීම් ස්ථාන ගත වන්නේ විකලාංග රෝගීන්ට ප්‍රතිකාර කරන රෝහලකය. එය එක්තරා ආකාරයකින් චෙකොව්ගේ හයේ වාට්ටුව සිහියට නංවයි. චෙකොව් තම කෙටිකතාව මගින් නිරාවරණය කළේ ගිලන් වූ රුසියානු සමාජය යයි ජනප්‍රිය ප්‍රවාදයක් පවතී. අමරසේකරගේ විකලාංග රෝහලද ජාතිවාදී ව්‍යාධියට ගොදුරු වූ රෝගීන් වසන රෝහලක් පිළිබඳ සංඥාවක් ලෙස අපට දෘෂ්ටාන්තමය කියවීමක් සපයයි.
රෝහලේ ගින්න කෙටිකතාවේ කියවෙන ධර්මලිංගම් නමැති දෙමළ වෛද්‍යවරයා වාසය කරන කාමරය ඔහුට අහිමි කිරීමට එම රෝහලේ සේවකයකුට අවශ්‍ය වේ. විජේසිංහ නම් වූ ඔහු ජාති වාදයෙන් ආතුර වූ මනසකින් යුතු පුද්ගලයෙකි. ඔහුගේත් තවත් අයගේත් කල්පනාව නම් ධර්මලිංගම් එම රෝහලේ කාමරය බලයෙන් අත්පත් කරගෙන සිටින බවයි. අමරසේකර, මෙම රෝහලේ කාමරය කලක් දෙමළ කොටි සංවිධානය විසින් අත්පත් කර ගනු ලදුව, තම අණසක පැතිරූ උතුරු ප්‍රදේශය පිළිබඳ සංඥාවක් ලෙස කියවීමට අපට ආරාධනා කරයි.. ධර්මලිංගම් අත්පත් කරගෙන සිටින්නේ වෙනත් අය රාත්‍රිය ගත කිරීමට කැමති නොවන කාමරයකි.
එක් අතකින් අමරසේකරගේ විකලාංග රෝහල සිංහලයාගේ මනස ක්‍රියාකරන ආකාරය පිළිබඳ ව්‍යුහයක් සපයයි. විජේසිංහ මෙම රෝහල තුළ ක්‍රියා කරන්නේ සුපිරි අහමේ (super ego) වැඩ ශෛලිය අනුවය. සුපිරි අහම එක් අතෙකින් ආත්මය (subject)මත නීති පනවන අතරම එම නීති කැඩීමෙන් විනෝදය සපයන්නාද වේ.



මෙම කෙටිකතා පොත පළවූ අවදියේ මම පොත් විචාරයක් ලෙස කුඩා ලියවිල්ලක් සිළුමිණට සැපයූවෙමි. එහිදී මම එම කෙටිකතාවත් එහි එන “රැගෙන මා අත සමිද කියනු මැන දිවි අරුත” නමැති කෙටිකතාවත් ගිලන් වූ සමකාලීන ලංකාව පිළිබඳ රූපික කියවීමක් ලෙස දුටුවෙමි. එම විචාරය කෙළවර මා කියා සිටියේ රෝහල තුළ වන සිදුවීම් ප්‍රශ්න වැලක්ම ඉතිරි කළ බවය. ධර්මලිංගම් සිටි කාමරය ගිනි තබා විනාශ කිරීමේදී සිදු වූයේ එයට ගිනි තැබූ තැනැත්තාද ගින්නට හසුවී මිය යාමය. එම ආරවුලේදී මධ්‍යස්ථ භූමිකාවක් රඟ පෑ වෛද්‍ය අතුකෝරල නඟන සියලු ප්‍රශ්න එක් ප්‍රශ්නයකට ලඝු කළ විට ඔහු අසන්නේ මෙවැන්නක් නොවේදැයි එහිදී මම යෝජනා කළෙමි. එනම්,
දෙමළ කැරැල්ල මැඩ පැවැත්වීමෙන් දෙමළුන්ගේ ප්‍රශ්නයට විසඳුමක් ලැබී තිබේද?
ඇත්තටම නම් එම ප්රශ්නය නඟන්නේ වෛද්‍ය අතුකෝරල නොව වෛද්‍ය අමරසේකරමය. අමරසේකරට තමාගේ අවිඥානයෙන් ගැලවී ගත නොහැකි බව එම කෙටි කතා පොත මගින් එළිදරව් කර තිබිණි.
මේ දිනවල අමරසේකර පිළිබඳ අප්‍රමාණ ලෙස ලියවෙයි. එයට හේතුව ඔහුට වයස අවුරුදු 96 ක් වෙමින් ඔහුගේ උපන් දිනය පසුගිය 12 වෙනිදාට යෙදී තිබීමය. මෙතරම් කාලයක් අප අතර සිටි මෙම විද්වත් ලේඛකයා පිළිබඳ බොහෝ කොටම ලියවුණේ ප්රශස්තිය. එහෙත් මෙම ලිවීම එබඳු තවත් එක් ප්රශස්තියක් නොවේ.ඇත්තටම නම් ගැඹුරින් විමසා බලන්නකුට ඔහුගේ නවකතා සහ කෙටිකතා තුළ අතිශය පුළුල් වපසරියක විහිදෙන සමාජ කියවීමක් හසු කර ගත හැකිය. විශේෂයෙන්ම මධ්‍යම පංතියේ නැඟීම පිළිබඳ ඔහුගේ කියවීම සමග සම අසුන් ගත හැකි වෙනත් මත වාදයක් නැති තරම් ය. කෙසේ වෙතත් තමා පැටලී සිටි ජාතිවාදී (ජාතික වාදී නොවේ) මඩ ගොහොරුව නිසා ඔහුගේ නිර්මාණ වේශය දිය වී ගියේ නැත. සැබවින්ම සිදු වූයේ තම නිර්මාණ මගින් තමාට අවිඥානික වූ සැබෑ මිනිසා ඉස් මතු වීමට ඉඩ දීමය.
සමන් වික්‍රමආරච්චි
( සිළුමිණ පුවත්ලතෙන් උපුටා ගන්නා ලදී)