පැවිදිවීම සඳහා විහාරස්ථානයට පැමිණි 14 හැවිරිදි බාලවයස්කාර පිරිමි දරුවෙකු එදින රාත්‍රියේ ම බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක් කළ 65 හැවිරිදි භික්ෂුවකට වසර 30ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කර ඇත.තඹුත්තේගම, හුරිගස්වැව, තලාකොළවැව ශ්‍රී සම්බුද්ධ වාලුකාරාමාධිපති මුල්ලේරියාවේ විමලතිස්ස නමැති 65 හැවිරිදි හිමිනමකට මෙලෙස දඩුවම් නියමකර ඇති අතර,2022 වසරේ මැයි මස 10 වන දින හෝ ඊට ආසන්න දිනයක අනුරාධපුර මහාධිකරණ බල ප්‍රදේශයට අයත් හුරිගස්වැව, තලාකොළවැවදී මෙම අපරාධය කළ බවට නීතිපතිවරයා විත්තිකාර භික්ෂුවට එරෙහිව අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබිණ.
නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට පෙර නීතිපතිවරයා නියෝජනය කරමින් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චාමික ගුරුගේ විවෘත අධිකරණයෙන් ඉල්ලා සිටියේ, මෙවැනි අපරාධ කරන පුද්ගලයින්ට නීතියේ පවතින ප්‍රතිපාදන මත උපරිම දඬුවම් ලබාදෙන ලෙස ය.
විත්තිකාර විහාරාධිපති භික්ෂුව විසින් බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කරනු ලැබූ 14 හැවිරිදි බාලවයස්කාර දරුවා සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය පරීක්ෂණය පැවැත්වූ අනුරාධපුර ශික්ෂණ රෝහලේ එවකට හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරී එච්.ඒ. කරුණාතිලක සහ මෙම අපරාධය සම්බන්ධයෙන් විමර්ශන මෙහෙයවූ තඹුත්තේගම පොලිස් නිලධාරීන් 7 දෙනෙකු මෙම නඩු විභාගයේ සාක්ෂිකරුවන් ලෙස කැදවා තිබිණ.විත්තිකාර විහාරාධිපති භික්ෂුව බාල වයස්කාර පිරිමි දරුවා අපයෝජනය කිරීමෙන් අනතුරුව විහාරස්ථානයට පැමිණි පළමු දිනයේදී ම රාත්‍රියේ විහාරස්ථනයෙන් පැනගොස් ඇති දරුවා මාර්ගයේ ගමන් කරමින් සිටියදී තඹුත්තේගම පොලිස් නිලධාරීන් කණ්ඩායමක් සිය භාරයට ගෙන දරුවාගෙන් කළ ප්‍රශ්න කිරීමකදී මෙම අපරාධයේ සුලමුල හෙළි කර ගැනීමට හැකි වූ බව ද අධිකරණ නඩු විභාගයේදී තවදුරටත් අනාවරණය විය.