ලංකාව රනින් බැබල වූ තරු මෙන්න!

south asian athletics ships

ඉන්දියාවේ රංචි නුවර පිහිටි සුප්‍රසිද්ධ මොරාබඩි ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක කෙරුණු 04 වැනි දකුණු ආසියාතික මලල ක්‍රීඩා තරගාවලියේ දී කැපී පෙනෙන දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ ජවන හා පිටිය මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වූහ.

දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව තෝරා ගන්නා මීටර් 100 කෙටි දුර ජවන ඉසව්වේ රන් පදක්කම් දිනා ගනිමින් ඉහළම ගෞරවය දිනා ගැනීමට චමෝද් යෝධසිංහ සහ ෆාතීමා සාෆියා යාමික් සමත් වූහ.

1742541336 chamod yodhasinghe 6

පිරිමි මීටර් 100 රන් පදක්කම දිනා ගැනීම උදෙසා චමෝද් යෝධසිංහ වාර්තා කළ තරග නිමි කාලය තත්. 10.30 කි. තත්. 11.53 ක තරග නිමි කාලයක් සටහන් කළ ෆාතීමා සාෆියා යාමික් කාන්තා මීටර් 100 ඉසව්ව ජය ගත්තාය. එකී රිදී පදක්කම අමාෂා ද සිල්වා සතු විය. ඒ සඳහා ඇය ගත කළ තරග නිමි කාලය තත්. 11.72 කි.

image e54467e079

එමෙන්ම, මීටර 100ං4 සහාය දිවීම කාන්තා හා පිරිමි යන ඉසව් ද්විත්වයේම රන් පදක්කම් දිනා ගනිමින් කැපී පෙනෙන්නට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වූහ.

පිරිමි අවසන් තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම සටහන් කළ තරග නිමි කාලය තත්. 39.99 කි. එකී රිදී පදක්කම ඉන්දියාවට (තත්. 40.65) ද ලෝකඩ පදක්කම බංග්ලාදේශයට (තත්. 40.94) ද හිමි විය.

image b7fc8320bc

කාන්තා අවසන් තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම තත්. 44.70 ක තරග නිමි කාලයක් වාර්තා කරමින් මීටර් 100ං4 රන් පදක්කම ගෙල පැළඳ ගත්හ. තත්. 44.93 කින් අවසන් කරමින් එකී රිදී පදක්කම ඉන්දියාව තහවුරු කර ගන්නා අතර වාරයේ දී ලෝකඩ පදක්කම මාලදිවයින (තත්. 47.79) සතු විය.

මෙවර තරගාවලියේ ආරම්භක දිනයේ දී පිරිමි තුන් පිම්ම ඉසව්වේ රන් පදක්කම පසිඳු මල්ෂාන් (මීටර් 16.19) විසින් දිනා ගන්නා අතර වාරයේ දී මීටර් 13.36 ක දක්ෂතාවයක් ප්‍රදර්ශනය කරමින් කාන්තා තුන් පිම්ම ඉසව්වේ රන් පදක්කම ගෙල පැළඳ ගැනීමට මධුශානී හේරත් සමත් වූවාය. එකී ලෝකඩ පදක්කම ශෂිනී උපේක්ෂා සතු විය. පිරිමි මීටර් 5000 ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීම උදෙසා වික්නරාජ් වොක්ෂන් ට ගත වූ කාලය මි. 14.23.21 කි. පිරිමි යගුලිය දැමීමේ ලෝකඩ පදක්කම එස්. මිතුන් රාජ් ද කාන්තා යගුලිය දැමීමේ ලෝකඩ පදක්කම ඔවැන චන්ද්‍රසේකර ද දිනා ගන්නා අතර වාරයේ දී කාන්තා මීටර් 100 කඩුලු මතින් දිවීමේ ලෝකඩ පදක්කමට හිමිකම් කියන්නට ලක්ෂිකා සුගන්ධි සමත් වූවාය.

කාලිංග කුමාරගේ, නදීෂා රාමනායක, කල්හාර ඉන්දුප සහ සයුරී මෙන්ඩිස් නියෝජනය කළ ශ්‍රී ලංකා කණ්ඩායමට මීටර් 400ං4 මිශ්‍ර සහාය දිවීම ඉසව්වේ රිදී පදක්කම හිමි විය. රිදී පදක්කම සතු වූ තරග නිමි කාලය මි. 3.20.85 කි.

දකුණු ආසියාතික රටවල් අතරේ මලල ක්‍රීඩාව ආශ්‍රිතව ඒකාධිකාරයක් පවත්වා ගෙන යෑමට හැම විටම උත්සාහ කරන ඉන්දියාවට එරෙහිව මෙරට කෙටි දුර ක්‍රීඩක ක්‍රීඩිකාවන් ප්‍රදර්ශනය කළ දක්ෂතාව හා හැකියාව ප්‍රශංසනීයය. එහි ප්‍රතිඵලයක් ලෙස ඉදිරියේ දී ක්‍රියාත්මක කෙරෙන දකුණු ආසියාතික ක්‍රීඩා උළෙල හා ආසියාතික ක්‍රීඩා උළෙල ආශ්‍රිතව ලාංකේය ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳව ඉහළ බලාපොරොත්තු රැඳවිය හැකි බව නම් සැබෑය.(දිවයින)