දෙසවනම බිහිරි බීතෝවන් ලෝකයේ විශ්මයජනකම සංගීතවේදියා වෙන්නේ කොහොමද?මෝඩයෙකු සේ සලකා ගුරුවරුන් විසින් පාසැලෙන් පිටමං කළ අයින්ස්ටයින් මේ තරම් අසමසම චරිතයක් වන්නේ කොහොමද?අතපය පවා සොලවන්නට බැරි හෝකිංග් මෙවක ලොව බුද්ධිමත්ම මිනිසා වන්නේ කොහොමද?,සුදු රටක කල්ලෙක් වූ ඔබාමා එරට ජනපති වන්නේ කොහොමද?.මේවා එක අතකට අමුතු දේ කියලා හිතුනත් ටිකක් විමසිල්ලෙන් බැලුවම පේනවා අසීමිත කැපවීමේ ප්‍රතිපල කියලා.
සොබාදහම නිර්මාණය වෙන්නේ ඕනම මනුස්ස ජීවිතයකට ‘පිනුම් ගහන්න’ඉඩ හදා දෙමින් තමයි.හැබැයි පිනුම් ගහන්න ඉගෙන ගන්න එකත්,පිනුම් ගහන එකත් ඒ මනුස්සයාම කරන්න ඕන.බිස්නස් කළත්,දේශපාලනේ කළත්,ගොවිතැන් කළත්,කලාව කළත්,ක්‍රී,ඩා කළත්,මෙකී නොකී කෝක කළත් ඒක හරියට කළොත් ගොඩ යන එක අරුමයක් නෙවේ. ‘කරතොත් කරපං හරියට-නැතිනම් පලයන් එලියට කියන්නේ’කට කහනවටම නෙවේ.
එදා වේල හම්බකරගෙන කන්න තාත්තගේ සංගීත භාණ්ඩ ටික විකුනන්න තරම් දුෂ්කර ජීවිතයක් ගෙව්ව කොල්ලෙක් පස්සේ කාලෙක ආසියාවේ ධනවත්ම සංගීතවේදියා වෙනවා. ඔහු ඉන්දීය සංගීතඥ ඒ. ආර්. රහමන්. තමන් කවුද කියා හඳුනා ගැනීමත්,ඒ තුළින් පෙරට ඒමත් සොබාදහම මනුස්සයෙකුට කරන නියෝගයක් වගේ.ඒ නිසයි ඕනම කෙනෙක්ට ‘තැනක්’තියෙන බව කියන්නේ.
සමහරවිට රුපියල් කෝටියකට ලංකාවේ චිත්පරටයක් හදන්න පුලුවන් තත්ත්වයක් තියෙනවා. මෙහේ කර්මාන්තයේ ස්වභාවය තමයි ඒ.හැබැයි . රහමන් ඉංදියාවේ චිත්‍ර පටයක සංගීතය සපයන්න අයකරනවා මුදලින් කීවොත් කෝටි දහයක්..!ඒ වගේම ඒ චිත්‍රපටයේම ගීතයක් ගයන්න අමතර ලක්ෂ 20ක් වගේ අය කරනවා.
මේකට කියන්නේ හැකියාව.කුසලතාවය.එහෙමත් නැත්නම් නිපුණතාවය.
ඒ. ආර්. රහමන් උපතින් දෙමළ ජාතිකයෙක්.හැබැයි ඔහු විශ්ව භාෂාවේ හිමිකරුවෙක්. 1967 ජනවාරි 6 වැනිදා තමිල්නාඩුවේදී රාජගෝපාල කුලසේකර නමැති හින්දු ආගමික දෙමළ සංගීතඥයාගේ පුතා ලෙස ඔහු උපන්නා.රාජගෝපාල තුල තිබුණේ ශාස්ත්‍රීමය සංගීතයේ හිංදුස්තානි රිද්මය.හැබැයි අතිශය දුෂ්කර ජීවිත වටපිටාව ඔහු සංගීතයේ ‘ලකුණක්’බවට පත්වීම අහිමි කළා.
ඔබ ඉංදිය සිනමාව සමඟ ඇයි හොඳයියක් තිබුණත් නැතත්,’චින්න චින හාසයි-මුත්ත මුත හාසයි,ගීතය මතක ඇති.ඒ වගේම බොම්බේ චිත්රයපටයේ තුහිරේ ගීතය ඔබට මතක ඇති.බොහෝවිට තාලසෙ තාල්මෙරා,මුස්තෆ්ෆා මුස්තෆ්ෆා,හම්මාහම්මා වැනි ගීත අමතක නැතිව ඇති. ඔය සේරම පැත්තකට කළත් , වන්දේ මාතරම් එහෙමත් නැතිනම් මා තුජේ සලාම් කියන ගීතයම ඇති රහමන්ගේ තරම තේරුම් ගන්න.
2009 වසරේ ඔස්කාරේ සම්මාන උළෙලේදී සම්මාන දෙකකුත්,ඊට වසරකට පසු අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවැති ග්රැ්ම් සංගීත සම්මාන උළෙලේදී සම්මාන දෙකකුත් දිනා ගත්ත මේ ඉන්දීය සංගීතවේදීයා තමයි මේ ගීත ගොන්නේ හිමිකරුවා.
“මම තරුණ වියේදී නිතරම කල්පනා කළා: ඇත්තටම ඉන්දියානුවෙක් ඔස්කාර් සම්මානයක් දිනා ගන්නේ කවදාද? මට ඇත්තටම ඒක ඕන වුණා. මට කවදාවත් ඔස්කාර් සම්මානයක් දිනා ගන්න ඕන කියලා මම හිතුවේ නැහැ. මට ඉන්දියාව ඔස්කාර් සම්මානයක් දිනා ගන්න ඕන වුණා. මගේ රට වෙනුවෙන් එය දිනා ගන්නා පුද්ගලයන්ගෙන් කෙනෙක් මම වෙයි කියලා මම කවදාවත් හිතුවේ නැහැ. මට අවශ්‍ය වුණේ ඉන්දියානු චිත්‍රපට කර්මාන්තය සඳහා ඒ ගෝලීය පිළිගැනීම අපට ලැබෙනවා දකින්න විතරයි.’
රහමාන් කීවේ එහෙම.
ඔහු නිකම්ම නිකං සංගීතවේදියෙක් නෙවෙයි.අතිශය වේගයෙන් කඩාවදින අනෝරාවක් වගේ වෙච්ච දෙමළ සංගීත රටාව ඊට වඩා සුපසන් තැනකට වගේම ශාස්ත්‍රීය ඉමකට සේන්දු කරන්න රහමන් සමත් වෙනවා.ඒ නිසාම ඔහු වෙනම ‘සන්නමක්’බවට ඉන්දීය සමාජය තුල පත් වෙනවා.
මූලිකව කාටත් එන ප්‍රශ්නයක් තමයි ජීවත් වීම.ඒ ප්රශ්නය රහමන්ට තදින්ම දැනෙනවා.තමන්ගේ පවුල නඩත්තු කිරීම උදෙසා ඔහු ජනප්‍රිය දමිල සංගීත ශිල්පියෙකු වන “ඉලෙයරාජා” ගේ සංගීත කණ්ඩායමට ඇතුලත් වෙනවා.ඒ කී බෝර්ඩ් වාදකයෙකු විදියට.එහි ගෙවෙන ජීවිතය අතිශය කාර්යබහුල එකක් වෙනවා.ඉලයරාජා ලොව පුරා සැරිසරන සංගීතවේදියෙක්. රහමන්ටත් ලොව පුරා ඉලෙයරාජා සමගින් සංචාරය කරන්නට හැකි වෙනවා.ඒක අලුත් අත්දැකීම් එකතු කරන්නක් වෙනවා.ඒත් ජීවිතයට එක් අතකින් සතුට ගේනකොට අනෙක් අතින් වේදනාව ගේනවා.එක් අතකින් හිමිවීම් ගේනකොට අනෙක් අතින් අහිමිවීම් ගේනවා.රට රටවල ඇවිදිමින් සංගීතය බෙදන රහමන්ව අධ්‍යාපන කටයුතු අතපසු වීම හේතුවෙන් ඔහුව පාසලෙන් නෙරපා දමනවා.
1987 වසර වෙනවිට දැන්වීම්කරණය වෙතට සංක්‍රමණය වෙන රහ්මාන් වසර පහක් තුල දැන්වීම 300කට පසුබිම් සංගීතය සපයනවා
දැන්වීම්කරණය කියන්නේ මානව ජීවිතයේ අතිශය සමීප අංගයක්.කෝටිපතියන්,ප්රකෝටිපතියන් බිහිවන තෝතැන්නක්.රහමනුත් දැන්වීම්කරණයට යොමු වෙනවා. ඒ අතර ඉන්දියාවේ ජනප්‍රියතම නිෂ්පාදකවරුන් අධ්‍යක්ෂකවරුන් හමුවන්නට වාසනාව රහමන්ට ලැබෙනවා.
ප්‍රවීණ අධ්‍යක්ෂක මනිරත්නම්හට සිය දක්ෂතා පෙන්වීමෙන් පසුව රහ්මාන් හට සිය නවතම චිත්‍රපටය වන රෝජා හි සංගීත අධ්‍යක්ෂක ලෙස කටයුතු කරන ලෙසට මනිරත්නම් ආරාධනා කරනවා.
රහමන් 1992 දී තම ගෙදර පිළිකන්නේ පිහිටි කුඩා මඩුවක් පිළිසකර කර පන්චිතන් රෙකෝඩින් යන නමින් ශබ්දාගාරයක් පටන් ගන්නවා.ඒක ඒ දවස්වල සෙල්ලම් ගෙයක් වගේයි.හැබැයි මිනිසෙක්ගේ නැගිටීමේ කලාව අත්දකින්නට ඕනනම් ඔබ රහමන්ගේ එදා ශබ්දාගාරයයි අද එහිම තිබෙන ශබ්දාගාරයයි සංසන්දනය කළත් ප්‍රමාණවත්.අද වනවිට මෙය ආසියාවේ හොඳම අධි තාක්ෂණික ශබ්දාගාර අතරින් එකක්.
අපූරු රෝජා චිත්ර්පටයේ අශ්චර්යමත් සංගීත රටා මුසුවෙන්නේ මේ ශබ්දාගාරයේ අදුරු තිර අතරෙයි. ඒ වසරේ ඉන්දියානු ජාතික චිත්රෙපට සම්මානය වූ රජත් කමල් සම්මානය දිනා ගත්තේ රහමන්.ඒ ‘රෝජා‘ වෙනුවෙන්.මේ දක්වා ඔහු දිනා තිබෙන සම්මාන හාරසියයකට වඩා වැඩියි.
“රෝජා නිකුත් වූ දිනයේ, රහ්මාන්ගේ බාල සොහොයුරිය වන ෆාතිමා චෙන්නායි හි රඟහලක ඇගේ මිතුරන් සමඟ වාඩි වී චිත්‍රපටය නැරඹීමට සූදානම්ව සිටියා. ආරම්භක ගෞරවය නිකුත් වූ අතර, චිත්‍රපටය ආරම්භ වූ අතර පළමු ගීතය – ඔබ අනුමාන කළ හැකි පරිදි ‘චින්න චින්න ආසයි’ – චිත්‍රපටයේ වීරවරිය ගීතය ගායනා කරමින්, චාලකුඩි දිය ඇල්ල තරණය කරමින් සහ දකුණු ඉන්දියානු ගම්බද ප්‍රදේශවල සශ්‍රීක කෙත්වල වාදනය කරමින් වාදනය වුණා. ගීතය ඒ වන විටත් ජනප්‍රිය වී තිබූ අතර, විවේක කාලය වන විට, ෆාතිමාට ඇසුණේ ඇය පිටුපස ආසනයක වාඩි වී සිටි ඉතා බීමත් මිනිසෙකු ‘එවානෝ සේමායා පාට්ටු පොට්ටු වච්චුරුකන් දා’ (මේ සඳහා සංගීතය කළේ කවුරු වුණත් ඒක අති අනර්ඝයි) යැයි පවසන බව ඇසී තිබුණා.

ඉන්දියාවේ ජනප්‍රියම තබ්ලා ශිල්පියෙක් වන සකීර් හුසේන් සමගින් ලෝක සවාරි කිහිපයකටම රහ්මාන් සම්බන්ධ වෙන අතර කෙටි කලකින්ම දක්වන දක්ෂතා නිසා ලන්ඩන් ට්‍රිනිටි කොලේජ් හි සංගීතය සඳහා වන ශිෂ්‍යත්වය රහ්මාන් ලබාගන්නවා.
1995 දී ඔහු එළිදැක්වූ ගීතවල CD තැටි එක්කෝටි විසි ලක්ෂයක් අලෙවි වෙනවා. රහ්මාන් හට හින්දි සිනමාවට පා තබන්නට ඉඩ ලැබෙන්නේ 1995 වසරේ “රංගීලා” චිත්‍රපටයට සංගීතය නිර්මාණය කරන්නට ලැබීමත් සමගයි. මෙයින් පසුව ඔහු බොම්බේ, දිල් සේ, තාල්, ලගාන්, සුබෙයිදා, ස්ලම්ඩෝග් මිලියනයර්, පේලේ ආදී දෙස් විදෙස් චිත්‍රපට රාශියක් තම සංගීත හැකියාවෙන් වර්ණවත් කරනවා. ඔහු වසර 2004 සිට විදේශවල පැවැත්වෙන ප්‍රසංගවලට සහභාගි වෙනවා.ඔහුගේ ප්‍රසංග නරඹන්න අති විශාල රසික සමූහයක් රොඳ බඳිනව. 2009 දී ඔහු ඇමරිකන් ජනාධිපති ඉදිරිපිටදී, ඔහුගේ නිල නිවස වූ ධවල මන්දිරයේදී සංගීත ප්‍රසංගයක් පවත්වනවා.. ඒ වනවිට සලම්ඩෝග් මිලියනර් නමැති බොලිවුඩ් චිත්‍රපටයේ සංගීතය සඳහා ඔහුට ඔස්කාර් සම්මාන දෙකක් හිමිවී හරියට ම අවුරුද්දක්. රහමන් කෝටිපතියෙක්.ඒ සියල්ල හැකියාව නිසා ඉපයූ ධනය. ස්ලම්ඩෝග් මිලියනර් චිත්‍රපටය සඳහා රහමන් අය කළ මුදල අදටත් රහසක්.
අද වෙනකොට ලෝකයා ඔහුව හඳුන්වන්නේ ‘මදුරාසියේ මෝර්සාට්’කියන නාමයෙන්.