මැරුණු උන්ටත් ඉඩම් බෙදපු LRC ගේම්

land reform commission

ඩම් ප්‍රති­සං­ස්ක­රණ කොමි­ෂන් සභාව (LRC) යනු අපට කාල­යෙන් කාල­යට ප්‍රවෘත්ති මවන ආය­ත­න­යකි. එහි පුදු­මය වන්නේ කුමන පාල­නා­ධි­කා­රිය එහි පාලන කට­යුතු භාර ගත්තද වසර ගණ­නා­වක් විග­ණ­නය කරන්න බොහෝ දේ ලබා දෙන්නට ඔවුන් සමත් වීමය. කාල­යක් ඉඩම් ප්‍රති­සං­ස්ක­රණ කොමි­ෂන් සභාව ඉඩම් දන්ස­ලක් පවත්වා ඇති බව කෝප් කමිටු සභා­ප­ති­ව­රයා විසින් නිල­ධා­රීන් ඉදි­රියේ ප්‍රසි­ද්ධි­යේම පැව­සු­වේය. ඉඩම් ප්‍රති­සං­ස්ක­රණ කොමි­ෂන් සභාවේ වැඩ එත­රම් අපූ­රුය.

මේ වන විට කොමි­ෂන් සභාව විසින් කර­ළි­යට දිග­හැර ඇති ප්‍රධාන මාතෘ­කාව වන්නේ රු. මිලි­යන 240ක් හෙවත් ලක්ෂ 2,400කට කොමි­ෂන් සභා­වට ගොඩ­නැ­ඟි­ල්ලක් මිල දී ගැනීම සම්බ­න්ධ­යෙනි. ඒ සම්බ­න්ධ­යෙන් මේ වන විට ඉඩම් අමා­ත්‍යාං­ශය විසින් අභ්‍ය­න්තර පරී­ක්ෂ­ණ­යක්ද ආරම්භ කර තිබේ.

අදාළ ගොඩ­නැ­ඟිල්ල ඉඩම් ප්‍රති­සං­ස්ක­රණ කොමි­ෂන් සභාවේ කාර්යාල කට­යු­ත්තක් සඳහා උචිත නොවූ­වද පසු­ගිය වසරේ ජූනි  මාසයේ එය රු. මිලි­යන 240ක විය­ද­මින් මිල දී ගෙන ඇති බව වාර්තා වේ.

img 20241004 wa0030
පණ්ඩුක කීර්තිනන්ද-2023 සමයේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමේ හිටපු සභාපති

විග­ණන වාර්තා­ව­ලට අනුව හෙළි වී ඇත්තේ කොමි­ෂන් සභාව 2016 වසරේ සිට බදු පද­නම මත බත්ත­ර­මුල්ල, කඩු­වෙල පාරේ,  ග්‍රෙගරි පාරේ අංක 475 දරන ස්ථානයේ පව­ත්වා­ගෙන ගොස් ඇති බවයි. 2023  වස­රේදී ඒ සම්බ­න්ධ­යෙන් ස්ථිර ගොඩ­නැ­ඟි­ල්ලක අව­ශ්‍ය­තාව පෙන්වා දීමෙන් පසුව ඒ සඳහා ඉඩම් ඇමැ­ති­ව­රයා විසින් කැබි­නට් පත්‍රි­කා­වක් ඉදි­රි­පත් කර ඇත. එයින් දක්වා ඇත්තේ ඉඩම් අමා­ත්‍යාං­ශයේ සිවුවැනි මහල ඉඩම් ප්‍රති­සං­ස්ක­රණ කොමි­ෂන් සභාවේ  කාර්යා­ලය සඳහා අවශ්‍ය වන බවයි.

2023 නොවැ­ම්බර් 7 වැනිදා කැබි­නට් තීරණ අංක CM/23/186/615/002-II හරහා ඉඩම් අමා­ත්‍යාං­ශයේ සිවුවැනි මහලේ කාර්යා­ලය පිහි­ටු­වීම සඳහා කැබි­නට් අනු­මැ­තිය දී ඇත. එහෙත් ඒ අනු­මැ­තිය නොස­ලකා, ඉඩම් ප්‍රති­සං­ස්ක­රණ කොමි­ෂන් සභාව විසින් බදු පද­නම මත කාර්යා­ලය පව­ත්වා­ගෙන ගිය බත්ත­ර­මුල්ලේ ගොඩ­නැ­ඟිල්ල 2024 ජූනි මාස­යේදී රුපි­යල් මිලි­යන 240කට හෙවත් ලක්ෂ 2,400කට මිල දී ගෙන ඇත.

එම ගොඩ­නැ­ඟිල්ල කිසිසේත්ම කාර්යා­ල­ය­කට සුදුසු නොවන්නේ එය පිහි­නුම් තටාක, මංසන්ධි සහ කොරිඩෝ තිබීම නිසා ගොඩ­නැ­ඟිල්ල තුළ පව­තින අන්ධ­කා­රය නිසාය. එමෙන්ම විශාල කාර්යා­ල­ය­කට එය කිසිසේත්ම සුදුසු නොවන බව නිරී­ක්ෂ­ණය වී තිබේ. එය වඩාත් උචිත වන්නේ හෝට­ල­යක් වැනි ආය­ත­න­ය­කට හෝ නේවා­සික පහ­සු­කම් ඇති රෝහ­ල­කට බව නිරී­ක්ෂ­ණය වී ඇත.

එවන් පසු­බි­මක විශේ­ෂ­යෙන්ම ජනතා අව­ශ්‍යතා ඉටු කරන රාජ්‍ය ආය­ත­න­ය­කට කිසිසේත්ම නොගැ­ළ­පෙන ලෙස මෙසේ අති­වි­ශාල මුද­ල­කට ගොඩ­නැ­ඟි­ල්ලක් මිලට ගැනීම කිසිසේත්ම අනු­මත කළ නොහැක්කේ ඒ වන විටත් අමා­ත්‍යාං­ශයේ සිවුවැනි මහල කැබි­නට් අනු­මැ­ති­යෙන් ලබා දී තිබූ නිසාය. කෙසේ වෙතත් කොමි­ෂන් සභාව විසින් සිදු කරන ලද මේ අව­භා­වි­තය අනා­ව­ර­ණය වීමෙන් පසු ඒ සම්බ­න්ධ­යෙන් මේ වන විටත් අභ්‍ය­න්තර පරී­ක්ෂ­ණ­යක් ආරම්භ කර ඇති බව ඉඩම් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය සුසිල් රණ­සිංහ පවසා තිබිණි.

අපේ බොහෝ නිල­ධා­රීහු හරිම සූක්ෂ්මය. ඔවුන් අව­භා­විත කරන්නේ බෝලය තවත් අය­කුට පාස් කර­මිනි; එසේ නැති නම් අව­භා­වි­තය නීත්‍ය­නු­කූල කර­මිනි.

මහ­ජන සේවා ඉටු කිරී­මට මෙත­රම් උත්සා­හ­යක් තිබුණා නම් අද රට ස්වය­ංපෝ­ෂිත වනු ඇත. ගොඩ­නැ­ඟිල්ල මිලට ගැනීම අදාළ සියලු ලේඛන පරීක්ෂා කළ විට අනා­ව­ර­ණය වී ඇත්තේ ඒ සියල්ල නිසි ලෙස සිදු කර ඇති බවයි. එහෙත් කොමි­ෂන් සභා­ව­කට කිසි සේත් නොගැ­ළ­පෙන නුසු­දුසු ගොඩ­නැ­ඟි­ල්ලක් බව මේ වන විට අනා­ව­ර­ණය වී ඇත.

ඉඩම් ප්‍රති­සං­ස්ක­රණ කොමි­ෂන් සභාව විසින් මිලට ගත් එම ගොඩ­නැ­ඟිල්ල සහ යාබද ඉඩම, (පර්චස් 6.5ක යාබද හිස් ඉඩම ඇතු­ළුව) පර්චස් 29ක භූමි ප්‍රමා­ණ­යක ගොඩ­නැ­ඟිල්ලේ පරි­ශ්‍ර­යට අම­ත­රව රුපි­යල් මිලි­යන 240ක තක්සේරු වාර්තා ලබා ගැනී­මෙන් පසු මිල දී ගෙන තිබිණි. මේ ගොඩ­නැ­ගිල්ල සංව­ර්ධ­නය කිරීම සඳහා හඳු­නා­ගෙන තිබූ අතර, අදාළ කට­යුතු මධ්‍යම ඉංජි­නේරු උප­දේ­ශන කාර්යාං­ශයේ සහාය ඇතිව සිදු කර තිබිණි.

එමෙන්ම මිල දී ගත් එම ගොඩ­නැ­ඟිල්ල සංව­ර්ධ­නය කිරීම සහ පුළුල් කිරීම සඳහා මධ්‍යම ඉංජි­නේරු උප­දේ­ශන කාර්යාං­ශය පත් කිරී­ම­ටද පසු­ගිය වසරේ අගෝස්තු 28 වැනිදා පැවති කොමි­සමේ සැසි­වා­ර­යේදී අංක 12894 දරන කොමි­ෂන් සභා පත්‍රි­කාව හරහා අනු­මැ­තිය ගෙන තිබිණි.

මීට අම­ත­රව ඉඩම් ප්‍රති­සං­ස්ක­රණ කොමි­ෂන් සභාව විසින් දේපළ වෙළෙ­ඳාම් සමා­ග­ම­කට අක්කර 25ක් පර්ච­ස­යක් රුපි­යල් 28.72ක මුද­ල­කට ලබා දී ඇති බවද මේ වන විට අනා­ව­ර­ණය වී තිබේ.

ඒ අනුව එම අක්කර 25ක් රුපි­යල් 101,109ක මුද­ල­කට දී ඇති බව ද හෙළි වේ. අපූරු ගනු­දෙ­නු­වකි! රුපි­යල් ලක්ෂ­ය­කට අක්කර 25ක් මිලට ගැන්මට හැකි පෙදෙ­සක් මෙරට තිබේද? අදාළ සමා­ගම විසින් එම අක්කර 25ක් මිලට ගැනී­මෙන් පසු ඒ සමා­ගම විසින් පර්ච­ස­යක් රු. ලක්ෂ 6 බැගින් විකුණා ඇති බව මේ වන විට වාර්තා වී ඇත. රුපි­යල් 28.72කට ගත් පර්ච­ස­යක් රු. ලක්ෂ 6කට අලෙවි කිරීම අහ­සට පොළොව මෙනි. මෙවන් ගනු­දෙ­නු­ව­කට දූෂ­ණය, අක්‍ර­මි­ක­තාව නැති නම් අව­භා­වි­තය, එසේත් නැති නම් සොර­කම යන වචන හොඳ වැඩි බව අපේ හැඟී­මයි. එත­රම් නිහීන මහා පරි­මාණ වංචා දූෂ­ණ­යක් මෙහිදී සිදුව ඇති බව පැහැ­දි­ලිය.

තවත් වාර්තා­වක දැක්වෙන්නේ කොමි­ෂන් සභාව පව­රා­ගත් එම ඉඩ­මක් වෙනු­වට හන්තාන – ඌර­ගල වත්තෙන් අක්කර 25ක් කෑගල්ල දිස්ත්‍රි­ක්කයේ පුද්ග­ල­ය­කුට දුන් බවත්, ඔහු එය වෙනත් පුද්ග­ල­ය­කුට ඇටර්නි බල­ප­ත්‍ර­යක් මඟින් පවරා ඇති බවත්ය.

පසුව එම පුද්ග­ලයා විසින් එම ඉඩම දේපළ වෙළෙ­ඳාම් සමා­ග­ම­කට පවරා ඇති බවත් වාර්තා වේ. රජයේ ඉඩම් එසේ හිතෙන හිතෙන අයට අලෙවි කළ හැකිද? ඇටර්නි බල­පත්‍ර මඟින් හිතෙන හිතෙන අයට ලබා දිය හැකිද? එයින්ද නොනැ­ව­තුණු කොමි­ෂන් සභාව තවත් අපූරු කෙරු­වා­වල් රැස­ක­ටද දායක වී ඇත.

olympus digital camera
OLYMPUS DIGITAL CAMERA

විශේ­ෂ­යෙන්ම,  කෘෂි­කා­ර්මික ඉඩම් හිමි නොවන අයට විකල්ප ඉඩම් ලබා දීමට හැකි­යා­වක් නැති නමුත් කොමි­ෂන් සභාව විසින් එවැනි අය වෙත විකල්ප ඉඩම් මුදා­හැර ඇති බව අනා­ව­ර­ණය විය. එලෙ­සින් කෘෂි­කා­ර්මික ඉඩම් හිමි අයකු නොවන තැනැ­ත්ති­ය­කට හිමි රත්න­පුර දිස්ත්‍රි­ක්කයේ රාස්ස­ගල වත්තේ අක්කර 22ක් වෙනු­වට විකල්ප ලෙස ජනතා වතු සංව­ර්ධන මණ්ඩ­ල­යට අයත් හන්තාන වත්ත ඉඩ­මෙන් අක්කර 43කට වැඩි ප්‍රමා­ණ­යක් දී ඇත.

මෙහි තවත් අරු­ම­යක් වන්නේ රාස්ස­ගල වත්ත ඉඩම ඉඩම් ප්‍රති­සං­ස්ක­රණ කොමි­ෂන් සභා­වට අයත් නොවී­මයි. එය ජනතා වතු සංව­ර්ධන මණ්ඩ­ලය සතුව තිබූ බවට මේ වන විට අනා­ව­ර­ණය වී ඇත.

nilantha wijesingha
2019 සිට 2023 දක්වා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිලන්ත විජේසිංහ

මෙවන් අරුම පුදුම කෙරු­වා­වල් සිදු කෙරු­ණද කොමි­ෂන් සභාව ආරම්භ කර මේ වන විට වසර 50ක් ඉක්ම ගොස් ඇතත් කොමි­ෂන් සභාව සතු ඉඩ­ම්වල මායිම් නිසි පරිදි හඳු­නා­ගැ­නී­මට සුදුසු ක්‍රම­වේ­ද­යක් ක්‍රියා­ත්මක කිරී­මට කොමි­ෂන් සභාව සමත්ව නැත.

වාර්තා වන පරිදි ඇතැම් මායිම් හඳු­නා‌ගත නොහැකි නමුත් ඉඩම හඳු­නා­ගෙන ඇත. ඇතැම් තැන්හි ඉඩම් සහ ඉඩම හෝ මායිම හඳු­නා­ගෙන නැත. ඒ සඳහා කිසිදු විධි­මත් වැඩ­පි­ළි­වෙ­ළක් ගැන අව­ධා­නය යොමු කර නැත්තේ ඇයිද යන්න විශාල ගැට­ලු­වකි.

එම අව­ස්ථා­වේදී කොමි­ෂන් සභාවේ සභා­ප­ති­ව­රයා පවසා ඇත්තේ ප්‍රථම වතා­වට කොමි­ෂන් සභාව සතු ඉඩම් පිළි­බඳ ලැයි­ස්තු­වක් සකස් කර ඇති බවයි. කෙසේ වෙතත් මේ වන විට කොමි­ෂන් සභාව සඳහා 2026 – 2030ට අදාළ සුදුසු සංයුක්ත සැලැ­ස්මක් සකස් කරන ලෙස දුන් නිර්දේ­ශ­යට අනුව සංයුක්ත සැලැ­ස්මක් සකස් කොට අමා­ත්‍යාං­ශ­යට ලබාදී ඇති බවද වාර්තා වේ.

ඉඩම් සම්බ­න්ධ­යෙන් පම­ණක් නොව, ඉඩම් ප්‍රති­සං­ස්ක­රණ කොමි­ෂන් සභාවේ අධ්‍යක්ෂ ජන­රා­ල්ව­රයා පත් කිරීම ඇතුළු පසු­ගිය කාලය තුළ සිදු කරන ලද අනී­තික පත්වීම් නිවැ­රැදි කරන ලෙසට දෙන ලද නිර්දේ­ශ­යට අනුව පත් කිරීම් සියල්ල පිළි­බඳ මූලික වාර්තා කැඳවා එම වාර්තා පරීක්ෂා කිරී­මට විශේෂ කමි­ටු­වක් පත් කර ඇත.

කොමි­ෂන් සභාව විසින් සේව­ක­යන් සඳහා අර්ථ­සා­ධක අර­මු­ද­ලක් පිහි­ටු­වීම, සුභ­සා­ධන හා විනෝද ක්‍රීඩා පහ­සු­කම්, නිවාස හා නේවා­සි­කා­ගාර ආදිය සපයා සේව­ක­යන්ට පහ­සු­කම් සැල­සීම වෙනු­වට කොමි­ෂන් සභාවේ වසර 5ක් අඛණ්ඩ සේව­යක් හිමි සේව­ක­ය­කුට පර්චස් එකක් රුපි­යල් 1,000ක වටි­නා­ක­මට පර්චස් 20 බැගින් ලබා දීමේ ක්‍රම­වේ­ද­යක්ද අරඹා තිබිණි.

ඒ අනුව පර්චස් 20ක වටි­නා­කම රුපි­යල් 20,000කි. මේ ලෙස ශ්‍රීලංකන්, වරාය අධි­කා­රිය වැනි ආය­ත­න­ව­ලද එවන් ක්‍රම­වේ­ද­යක් ක්‍රියා­ත්මක කළේ නම්, නැව් පවා ගෙව­ල්ව­ලට ගෙන යන තත්ත්ව­යන් ඇති වන්නට තිබිණි! කෝච්චි පෙට්ටි­යක් ගෙදර ගෙන යන්නට දුම්රිය දෙපා­ර්ත­මේ­න්තුවේ වසර 40ක් පමණ සේවය කළ අයට හැකි වන්නට තිබිණි! මෙවන් ක්‍රම­වේද කෙසේ සකස් කළේද? අමා­ත්‍යාංශ අනු­මැතිය තිබු­ණේද? යන්න ගැන විම­ර්ශ­නය කළ යුතුය. එමෙන්ම  යුනෙස්කෝ ලෝක උරු­ම­යක් වන  සිංහ­රාජ වනා­න්ත­රයේ නැඟෙ­න­හිර බෑවු­මට මායිම්ව පිහිටි කොළොන්න ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­සයේ සැල­කිය යුතු ඉඩම් ප්‍රමා­ණ­යක් ඉඩම් ප්‍රති­සං­ස්ක­රණ කොමි­ෂන් සභා­වට අයත් කර­ගෙන ඇත. එම ඉඩම් අතු­රින් බොහෝ ඉඩම් වනා­න්තර හෝ ජල­පෝ­ෂක ඉඩම් ලෙස පව­තින ඉඩම්ය.

එම ඉඩම් සිංහ­රාජ වනා­න්ත­ර­යට පව­රා­ගැ­නී­මට කට­යුතු කළද වර්ත­මා­නය වන විට ඉඩම් ප්‍රති­සං­ස්ක­රණ කොමි­ෂන් සභාව ඒවා ඩැහැ­ගැ­නී­මට කට­යුතු කර ඇති බවද වාර්තා වේ. එමෙන්ම ප්‍රති­සං­ස්ක­රණ කොමි­ෂන් සභාව විසින් ඉඩම් පව­රා­ගැ­නී­මේදී හිමි­ක­රුට ඒ වෙනු­වෙන් විකල්ප ඉඩම් දිය යුතුය. එසේ තිබි­යදී ඉඩම් පව­රා­ගත් පාර්ශ්ව­යන්ට හිලව් ඉඩම් ලබා­දීම පවා සම්පූර්ණ කර නැති පසු­බි­මක, ඉඩම් නැති මිනි­සුන්ගේ ඉඩම් අව­ශ්‍ය­තාව සඳහා ඉඩම් වෙන් කර නැති පසු­බි­මක ඉඩම් ප්‍රති­සං­ස්ක­රණ කොමි­ෂන් සභාවේ නිල­ධා­රීන්ට රුචි පරිදි තම ඥාතීන්ට, හිත­ව­තුන්ට, දේශ­පා­ල­ක­යන්ට, ව්‍යාපා­රි­ක­යන්ට පෞද්ග­ලික ලාභා­පේ­ක්ෂා­වෙන් ඉඩම් දී ඇති බවද වාර්තා වේ.

යම් යම් පාර්ශ්ව විසින් මෙසේ ලබා­ගන්නා ඉඩම් අලෙවි කර මුදල් උප­යා­ගැ­නී­මද කාලා­න්ත­ර­යක් තිස්සේ සිදු වන්නකි.

එමෙන්ම එවැනි ඉඩ­ම්වල පස් කැපීම, කළු­ගල් කැඩීම මෙන්ම වෙනත් ඛනිජ කැණීම්ද මේ වන විට ඇතැ­මුන් විසින් නීත්‍ය­නු­කූල නොවන අව­සර මත සිදු කරනු ලබන අතර, කොමි­ෂන් සභාව විසින් දිය යුතු ඉඩම් වෙනු­වට ජනතා වතු සංව­ර්ධන මණ්ඩ­ලය සතු ඉඩම් දීමට කට­යුතු කිරීම තම ඉඩම වෙනු­වට අල්ලපු ගෙදර අයගේ ඉඩම් ගෙවල් අලෙවි කිරීම හා සමා­නය.

මීට අම­ත­රව, ඇඹි­ලි­පි­ටියේ අක්කර 100ක පමණ භූමි­ය­කට විවි­ධා­කාර පුද්ග­ල­යන් හිමි­කම් පෑම ආරම්භ කර ඇති අතර, ඒ වෙනු­වෙන් නිසි ආකා­රයේ හිමි­කම් ක්‍රම­වේ­ද­යක් කොමි­ෂන් සභාව විසින් සිදු කර නැත. ඒ ගැන පැමි­ණිලි රැසක් ලැබී ඇති නමුත් කොමි­ෂන් සභාව ඒ ගැන අව­ධා­නය යොමු නොක­රන්නේ ඒ සඳහා අත­යට අනු­මැ­ති­යක් ලබා දෙන්නට දෝ යන සැකය බොහෝ දෙනා තුළ තිබේ.

ඉඩම් ප්‍රති­සං­ස්ක­රණ කොමි­ෂන් සභාවේ තවත් අපූරු සිදු­වී­මක් අපට වාර්තා වන්නේ නැඟෙ­න­හිර පළා­තෙනි. මෙවන් සිදු­වීම් සම්බ­න්ධව සිළු­මිණ මීට පෙරද වාර්තා කරන ලදී. එහෙත් ඒ සම්බ­න්ධව අව­ධා­න­යක් යොමුව නැති බව මේ සිදු­වීම් දිගින් දිග­ටම සිදු­වීම නිසා අපට අනු­මාන කළ හැකිය.

ජීවත්ව සිටින අයට පම­ණක් නොව, මියගිය අය­ටද ඉඩම් දී එම ඉඩම් අව­භා­විත කරනා බව මේ වන විට හෙළිව තිබේ.

විශේ­ෂ­යෙන්ම ගෝඨා­භය රාජ­පක්ෂ ජනා­ධි­ප­ති­ව­ර­යාගේ සමයේ රන්බිම ඔප්පු ප්‍රදා­න­යේදී මඩ­ක­ල­පුව දිස්ත්‍රි­ක්කයේ උප්පාරු ප්‍රදේ­ශයේ මඩ/110 ගොනු­වට අයත් පිඹුරු අංක 976/2005 දිනැති සකස් කර අනු­මත කර ඇති පිඹුරේ, කැබලි අංක 4 හිමි සින්න තම්බි නඩේ­ස­පිල්ලෙ නමැති අය 2017.09.03 දින මිය­ගොස් ඇත. ඔහුට ඉඩම් ලබා දෙන්නේ 2020.02.24 දින පැවැති උත්ස­ව­ය­ක­දීය; එනම් ඔහු මිය­ගොස් වසර 3කට ආසන්න කාල­ය­ක­දීය. යම් හෙය­කින් ඉඩම් හිමි­යකු නම් කර මාස­යක් දෙකක් හෝ උප­රිම වශ­යෙන් මාස 3ක කාල­ය­කදී ඔහු මිය­ගොස් තිබුණ හොත් ඒ ගැන පසු විප­රම් කරන්න කාල­යක් නැති හෙයින් එසේ මියගිය තැනැ­ත්ත­කුට ඉඩ­මක් ලිය­වෙන්න ඉඩක් ඇත. එහෙත් වසර 3ක් යන තුරු එවන් සිදු­වී­මක් අනා­ව­ර­ණය නොවීම විශ්වාස කළ හැකිද? අදාළ මිය­ගිය තැනැ­ත්තාගේ අංක 9130 ලෙස ලියා­ප­දිංචි කර ඇති අතර, ඒ බව දැන දැනත් අංක 10984 දරන ඔප්පුව සින්න තම්බි නඩේ­ස­පි­ල්ලයි යන අයට කරුණු සඟවා වංච­නික ලෙස ලබා දී ඇත.

3f20012 09102025 6e64 esj cmy
2017.09.03 දින මිය­ගිය සින්න තම්බි නඩේ­ස­පි­ල්ලෙගෙ මරණ සහ­ති­කය

මෙම ඔප්පුව සින්න තම්බි නඩේ­ස­පි­ල්ලයි යන අයට නිකුත් කිරීම නීතිවිරෝධී  බව ඉඩම් ප්‍රති­සං­ස්ක­රණ කොමි­ෂන් සභාව අභ්‍ය­න්තර විග­ණන අංශය විසින් වාර්තා කර ඇති නමුත් ඒ අනා­ව­ර­ණය පවා ඇතැම් බල­ව­තුන් විසින් යට ගසා ඇත.

011 09102025 c17f esj cmy
  • මියගිය සින්න තම්බි
    නඩේ­ස­පි­ල්ලෙට ඉඩම් දීම සම්බන්ධ විග­ණන වාර්තාව

අද වන විට ඉඩම් ප්‍රති­සං­ස්ක­රණ කොමි­ෂන් සභාවේ කාර්යය කුමක්ද යන්න පවා එහි සිටිනා බොහෝ නිල­ධා­රීන්ට අව­බෝ­ධ­යක් නැති බවද පැහැ­දි­ලිය.

ඉඩම් ප්‍රති­සං­ස්ක­රණ කොමි­ෂන් සභාව වසර 50කට පමණ පෙර එව­කට අග­මැ­තිනි සිරි­මාවෝ බණ්ඩා­ර­නා­යක විසින් ස්ථාපිත කරන ලද්දේ පවුල් 6,000කට අයි­තිව තිබූ, ඉඩම් අක්කර ලක්ෂ 15කට ආසන්න ඉඩම් ප්‍රමා­ණ­යක් රජ­යට පවරා ගැනීම පිණි­සය. එසේ පිහිට වූ එම ආය­ත­නය අද වන විට දේශ­පා­ල­ක­යන්ගේ හා කොමි­ෂන් සභා­වට වරින් වර පත්ව ආ දේශ­පා­ල­න­ඥ­යන්ගේ හෙංච­යි­යන්ගේ  ආදා­යම් මාර්ග­යක් බවට පත්ව ඇත.

ඒ තත්ත්වය වෙනස් කර ඉඩම් ප්‍රති­සං­ස්ක­රණ කොමි­ෂන් සභාවේ නිත්‍ය කාර්යය පාර්ලි­මේන්තු පන­ත­කින්ම යළි ස්ථාපිත කළ යුතුය. එසේ නොවුවනහොත් මේ ලෙසින් ඉඩම් තම හිත­ව­තුන්ට පවරා දීම, විශේ­ෂ­යෙන්ම රක්ෂිත ඉඩම් අයථා පරි­හ­ර­ණය කිරීම මෙන්ම අව­ශ්‍ය­තා­වන්ට ඉඩම් නිද­හස් නොකි­රී­මෙන් සංව­ර්ධන කට­යුතු ඇන­හි­ටී­මද සිදු වනු ඇත. සිය­ල්ලට පෙර ඉඩම් ප්‍රති­සං­ස්ක­රණ කොමි­ෂන් සභා­වට අයත් ඉඩම් වප­ස­රිය හා එම ඉඩම් බදු දීම සම්බ­න්ධ­යෙන් නිශ්චිත ක්‍රම­වේ­ද­යක් ස්ථාපිත කළ යුතුය. එසේ නොක­රන තාක් මේ අව­භා­වි­ත­යන් නීත්‍ය­නු­කූ­ල­වම කර­න්නට ඒ වෙනු­වෙන්ම බලා සිටි­න්නන්ට හැකි වනු ඇත.

කෙසේ වෙතත් ඉතාම බරපතල සිදුවීම් වාර්තා වන්නේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමේ සභාපති ලෙස නීතීඥ නිලන්ත විජේසිංහ කටයුතු කළ අවදියේදී ය. ඒ සියල්ල ඉදිරියට අණාවරණය කෙරේ.