වනජීවි සංරක්ෂණ සංසදය වාර්තා කර ඇත්තේ ගතවූ පැය 24 තුළ කුරුණෑගල ඇතුළු දිවයිනේ ප්‍රදේශ කිහිපයක වන අලි මරණ 6ක් වාර්තා වූ බවයි.
කොළඹ – කොටුව සිට අනුරාධපුරය දක්වා භාණ්ඩ ප්‍රවාහනය කළ දුම්රියක ගැටීමෙන් ගල්ගමුව තේක්ක රක්ෂිතයේ සිට ආහාර සොයා ගම්වැදීමට උත්සහ කළ අලි රංචුවක සිටි වන අලියෙකු මියගොස් තිබේ.
මෙම අනතුර සිදු වූ ස්ථානයේ සිට ඒ පිළිබඳව වාර්තා කළ මාධ්‍යවේදියෙකු පැවසූයේ මෙසේය.
රාත්‍රී 8.30ට පමණ ගල්ගමුව හා අඹන්පොළ අතර දී වන අලි දෙදෙනෙකු ගැටී ඇති අතර එහිදී පැටවෙකු දුම්රියට සිරවී එම ස්ථානයේම මිය ගොස් ඇත. අනෙක් අලියා එම ස්ථානයේ නොමැති අතර රංචුව සමඟ බොහෝදුරට ආබාධිතව ගමන් කර ඇත. රංචුව බොහෝ වෙලාවක් එම ස්ථානයේ රැඳී ඇත. අවසන් වරට ගල්ගමුව ආශ්‍රිතව දුම්රිය අනතුරක් සිදුවූයේ 2023 වර්ෂයේදීය. ගැටදිවුල අලි මංකඩ අවහිර වී මෙලෙස සිදුවීමට බොහෝ ඉඩකඩ ඇති බවට මීට සති දෙකකට පමණ අප වාර්තා කළ අතර බලධාරින් කිසිදු පියවරක් ගත්තේ නැත. කෙසේ වුවත් අද දිනට පමණක් වන අලි 05ක් මිය ගිය බවට ප්‍රසිද්ධ වූ මරණවලින් වාර්තා වී ඇත.
එමෙන්ම පොළොන්නරුව, ඇලහැර, අත්තනකඩවල, මඩුදමන ප්‍රදේශයේ නිවසකට අද (29) අලුයම වන අලියෙකු පහර දී ඇත. එම අලියා විසින් නිවසේ තිබූ වී මිටි තුනක් ද ආහාරයට ගෙන ඇති අතර ප්‍රදේශයේ නිවාස 40 කට ආසන්න ප්‍රමාණයක් මේ වනවිට වන අලි පහරදීමෙන් විනාශ වී ඇති බව ප්‍රදේශවාසීන් පවසයි.
මේ අතර යාල ජාතික වනෝද්‍යානයට සෆාරි ජීප් රථ ඇතුළු කිරීමේ දෛනික සීමාව 600 සිට 1000 දක්වා වැඩි කරන ලෙස ඉල්ලමින් සෆාරි ජීප් රථ හිමියන් පිරිසක් අද තිස්සමහාරාම නගරයේදී රථ පෙළපාලියක යෙදී ඇත.