මිරිහාන පොලිස් වසමේ මාදිවෙල, කිඹුලාවල ප්‍රදේශයේ වෙල්යායක් අසබඩ පිහිටි “කමත” නමැති ස්ථානයේ පැවැති DJ සංගීත ප්‍රසංගයක් නැරඹීමට පැමිණි තරුණ තරුණියන් 31ක් සන්තකයේ තිබී විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය පෙරේදා (01) නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන මෙහෙයුම් ඒකකයෙන් අත්අඩංගුවට ගෙන ඇත.
One Lon Love Miracle Garden DJ Party නමින් මුහුණු පොත හරහා මෙන්ම විවිධ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය දෙමින් ඔවුන් මේ අවස්ථාවට ගෙන්වා ඇති අතර, මේ සාදයට තරුණ තරුණියෝ 600ක් පමණ සහභාගි වී තිබේ.
‘රටම එකට’ මත්ද්‍රව්‍ය රටින් තුරන් කිරීමේ ව්‍යාපෘතියට සමගාමීව සිදු කරන මෙහෙයුම් අතරතුර නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට ලද රහසිගත තොරතුරක් මත මේ සංගීත ප්‍රසංගය පැවති ස්ථානය අවට මෙහෙයුමක් සිදු කර මේ පිරිස අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
මෙහි සිටි තරුණ තරුණියන් 600ක් අතරින් සැකකටයුතු ලෙස හැසිරුණු කිහිප දෙනකු අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී සහ ප්‍රශ්න කිරීමේදී මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි තරුණ පිරිස අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය අතර කුෂ්, පිල් නමැති වර්ගයේ ඩාන්සින් ටැබ්ලට්, මැන්ඩි, හෑෂ්, ගංජා, කේරළ ගංජා, ෆී කැප් නමැති මත්කරල්, විදෙස් රටවල නිෂ්පාදිත නීති විරෝධී දුම්වැටි සහ අයිස් මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් තිබූ බව ද පොලීසිය පැවසීය.
අත්අඩංගුවට පත් තරුණ තරුණියන් මීගමුව, අනුරාධපුර, ගාල්ල, කඩුවෙල, හෝමාගම, නුගේගොඩ, නුවරඑළිය, හැටන් ඇතුළු විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන් බවත්, මොවුන් වයස අවුරුදු 16 සිට 35 අතර වයස් කාණ්ඩවල පසුවන බවත් පොලීසිය පැවසීය.
දිවයිනේ විවිධ ප්‍රදේශවල පැවැත්වෙන මෙවැනි සාදවලට පැමිණෙන තරුණ තරුණියන් පිළිබඳව මවුපියන් මීට වඩා සැලකිලිමත්ව සොයා බලා ක්‍රියා කළ යුතු බවත්, නැතහොත් ඉදිරියේදී තරුණ පිරිස මත්රකුසාගෙන් බේරාගැනීම එතරම් පහසු කාර්යයක් නොවන බවත් පොලීසිය මවුපියන්ට දැනුම් දීමක් ද සිදු කරයි.
අත්අඩංගුවට ගත් තරුණ පිරිස නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.