දේශබන්දුටයි මන්ත්‍රී පිරිසකටයි වැඩ වරදී
2022 මැයි මාසයේදී ගාලුමුවදොර ‘ගෝඨාගෝගම’ අරගලයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 31 දෙනෙකු හඳුනාගෙන ඇති බවත්, ඔවුන්ට එරෙහිව අධි චෝදනා ගොනු කිරීමට සූදානම් බවත් නීතිපතිවරයා ඊයේ (04) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.
අධිකරණය හමුවේ කරුණු දක්වමින්, නීතිපති වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ සජිත් බණ්ඩාර මහතා පැවසුවේ, අභියාචනාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අත්හිටුවූ පසු විමර්ශන ඉදිරියට ගෙන යෑමට හැකි වූ බවත්, එහිදී සැකකරුවන් 31ක් හඳුනාගත් බවත්ය.
මෙලෙස හඳුනාගත් සැකකරුවන් අතර එවකට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිහිපදෙනෙකුද ඇතුළත් වන අතර, අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ චෝදනා ගොනු කෙරන බව බණ්ඩාර මහතා සඳහන් කළේය.

මේ බව හෙළිදරව් වූයේ නීතිපති ක්‍රියාකාරීන් පිරිසක් විසින් පොලිසිය වගකීම් අභියෝග කරමින්, ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 05ක්, අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, ශිරාන් ගුණරත්න සහ අචල වෙංගප්පුලි මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මඩුල්ල ඉදිරියේ විභාගයට ගත් අවස්ථාවේදීය.
,
මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, දේශබන්ධු තෙන්නකෝන් ඇතුළු නිලධාරීන් නම් කර තිබේ.
පෙත්සම්කරුවන් විසින් පොලිස් අකර්මණ්‍යතාව පිළිබඳව චෝදනා නගා ඇති අතර, රජයේ නීතිඥවරයා පෙන්වා දුන්නේ සිද්ධියේදී පොලිස් නිලධාරීන් සහ ජල ප්‍රහාරක රථ සිටි නමුත් නිසි ලෙස භාවිතා නොකර ඇති බවයි. එබැවින් එවක භූමියේ ජ්‍යෙෂ්ඨම නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන්ට එරෙහිවද චෝදනා ගොනු වන බව ඔහු තවදුරටත් පැවසීය.

තෙන්නකෝන් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සංජීව වීරවික්රම මහතා මෙහිදී යෝජනා කර තිබුනේ, අපරාධ නඩු අවසන් වන තුරු මෙම පෙත්සම් විභාගය නවත්වන ලෙසයි.
කෙසේවෙතත්, පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබූ හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව නඩු නොමැති බැවින් ඔවුන්ට එරෙහි පෙත්සම් ඉවත් කිරීමට පාර්ශ්වයන් එකඟ වූහ.
තීන්දුව ප්‍රකාශයට පත් කිරීම පසුවට කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කරන ලදී.