මාලිමා මන්ත්‍රීවරියගේ නිවසත් විෂ මත් ව්‍යසනයට ගොදුරුවෙයි

The home of an NPP MP is also a place vulnerable to drug abuse.

අනුරාධපුර, එප්පාවල ප්‍රදේශයේ ප්‍රාථමික පාසලක විදුහල්පතිවරයෙකු ලෙස කටයුතු කළ, ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරියකගේ සැමියා හෙරොයින් කිලෝ එකකට අධික ප්‍රමාණයක් සමඟ අත්අඩංගුවට ගෙන ඇති අතර එම මද්‍රව්‍ය තොගය ඇදගල ප්‍රදේශයේ පිහිටි ඔහුට අයත් හෝටලයක පිටුපස වල දමා තිබියදී සොයාගෙන තිබේ.

මිට අමතරව සැකකරු මත්ද්‍රව්‍ය මැනීමට භාවිතා කළ විද්‍යුත් තරාදිය සහ පොලිතීන් සීලර් යන්ත්‍රය ඒ අසළ පිහිටි වැවකට දමා තිබියදී සොයාගෙන තිබෙන බවයි පොලිසිය වාර්තා කරන්නේ.

අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් මින් පෙර අනුරාධපුර, එප්පාවල, නල්ලමුදාව පාර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් 30 හැවිරිදි පුද්ගලයෙකුගෙන් ලද ‍තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත.

සැකකාර විදුහල්පතිවරයාගේ පුත්‍රයා මීට මාසයකට පමණ ඉහත දී හෙරොයින් ග්‍රෑම් 25ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

කෙසේවෙතත් ජාතික ජන බලවේගය වෙනුවෙන් පළාත් පාලන මැතිවරණයේදී පෑලියගොඩ නගර සභාවට, රෝහණ කුමාර පෙදෙස නියෝජනය කරමින් තරඟ වැදුණු අපේක්ෂිකාවගේ සැමියා සහ දරුවා මෙලෙස මද්‍රව්‍ය සම්බන්ධ චෝදනාවලට අදාලව අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය මැතිවරණයෙන් පෑලියගොඩ නගර සභාවට තේරී පත් වී ඇත.

එම මන්ත්‍රීවරිය සිදුවීම පිළිබදව නිසියාකාරව ජාතික ජන බලවේගය දැනුවත් කර නොමැති අතර, ඇයට එරෙහිව පක්ෂය විසින් පියවර ගැනීමට නියමිත බවයි වාර්තාවන්නේ.

මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් වැඩිදුරටත් විමර්ශන සිදුකරමින් පවතී.