විපක්ෂ නායක සජිත් ඉන්දියාවට ගියේ මෝදි අගමැතිවරයාගේ රජයෙන් ලැබුණු නිල ඇරයුමෙනි. ජනාධිපති අනුර දිසානායක එම පදවියට පත්වීමෙන් පසු කරන ලද පළමු නිල සංචාරය වන ඉන්දීය සංචාරයේදී එකඟ වූ ව්‍යාපෘති කිසිවක්ම ඉටුවී නොමැති පසුබිමක කළ මේ ආරාධනය ගැන විශාල අවධානයක් යොමුව තිබේ.දෙරට නායකයන් අත්සන් කළ ගිවිසුම් ගණනාවක්ම ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රජයේ පාර්ශ්වයෙන් තවමත් ලොකු ඉදිරි පියවරක් නැත. ඉන්දියාවේ තවත් ඉල්ලීමක් වන පළාත් සභා මැතිවරණය පැවැත්වීමටද ශ්‍රී ලංකා රජය තීරණාත්මක පියවරක් ගෙන නැත.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ සමීපතමයකු වන ප්‍රකට ව්‍යාපාරික අදානිට ලබාදී තිබූ මන්නාරම සහ උතුරේ විදුලිබල ව්‍යාපෘති අනුර දිසානායක ජනාධිපතිවරයාගේ රජය යටතේ කුඩම්මාගේ සැලකිල්ලට ලක්වීම,ඉන්දියාව මහත් බලාපොරොත්තුවෙන් සිටි දෙරට යා කරන තමිල්නාඩු හා මන්නාරම මුහුදු පාලමද තවමත් සැලසුමට පමණක් සීමාවූ කඩදාසි කොළයක් පමණක් වීම ද මෙහිදී බොහෝ දෙනාගේ අවධානයට ලක්ව තිබේ. සජිත් සහ ඉන්දීය විදේශ ඇමැති ආචාර්ය ජයිශංකර් අතර පැවැති සාකච්ඡාවේදී මෙම ප්‍රශ්න කිහිපයක් ගැනම සාකච්ඡා කෙරි ඇති අතර, වෙළෙඳාම, බලශක්තිය සහ යටිතල පහසුකම් ක්ෂේත්‍රයේ සහයෝගීතාව ශක්තිමත් කිරීම ප්‍රධාන මාතෘකාවක් විය. ඔරොත්තු දීමේ හැකියාව සහ වර්ධනය සහතික කිරීම සඳහා ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ධාරිතාව සහ ජාල සම්බන්ධතාව පුළුල් කිරීමේ අවශ්‍යතාව විපක්ෂ නායකවරයා අවධාරණය කළේය. මෙහිදී ඉන්දීය විදේශ ඇමැතිවරයා කියා සිටියේ භූතානය සහ නේපාලය සමග ඉන්දියාවේ සාර්ථක හවුල්කාරීත්වය උපයෝගී කර ගනිමින් විදුලිබල හා බලශක්ති අංශවල සහයෝගීතාව ගවේෂණය කිරීම සඳහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පහසුකම් සපයන බවය.

ඔය අතර ජවිපේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඉන්දීය සංචාරයක නිරත වීමට සැලසුම් කොට ඇති බව වාර්තා වේ.ඔහු, සති 3ක දීර්ඝ චීන සංචාරයෙන් අනතුරුව මෙසේ ඉන්දීය සංචාරයක නිරත වීම පිළිබඳව විශාල කතාබහක් ඇතිවී තිබෙන අතර විපක්ෂ නායක සජිත්ගෙන් පසු ආණ්ඩුව පාර්ශවයෙන් ඉහළම නියෝජිතයෙකු ඉන්දියාවට යාම පිළිබඳවද අවධානය යොමුව තිබේ.