අයුක්තියට එරෙහි වූ සංඝ සේනාපති!

1 71

අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත නායක මාහිමියන් අපවත් වී නොවැම්බර් 09 දාට වසර 10ක් සම්පූර්ණ විය. ඒ ගෙවුණ දශකය පුරා ලාංකේය සමාජය තුළ බලවත් රික්තයක් දැකගත හැකි විය. ඒ අප රටට අප සමාජයට මඟපෙන්වීමට දැවැන්ත වීර චරිතයක් මතු නොවීම නිසා දක්නට ලැබුණ අඩුවයි. එම දැවැන්ත අඩුව පුරවාලීමට රටක් ලෙස අප සමත් නොවන තාක් කල් ලාංකේය සමාජයේ හෙට දවස ගැන සතුටක්, සැනසුමක්, අපේක්ෂාවක් අපට දල්වා ගැනීමට නොහැකි වනු ඇත. අති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමියන්ට ලබාදිය යුතුවම පවත්නා ගරුත්වය අපට ලබාදිය හැකි වනු ඇත්තේ එකී අඩුව දුරලන්නට හැකි මහා චරිතයක ආගමනයකින් පමණක්මය.

සෝභිත නායක හාමුදුරුවන් අපට එතරම්ම වැදගත් වන්නේ ඇයි?

පළමු හා වැදගත්ම කරුණ වන්නේ බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් ලෙස උන්වහන්සේගේ ජීවන ප්‍රතිපදාව බුදුන් වහන්සේ අනුදැන වදාළ මඟෙහිම අනුගත වීමය. එනම් සසර බිය තේරුම් ගෙන ඉන් මිදීමේ ඇති වැදගත්කම අවබෝධ කරගනිමින් එය තම දායක කාරකාදීන්ට මෙන්ම සමස්ත ජන සමූහයටම පෙන්වා දීමය. ධර්ම දේශකයාණන් වහන්සේ නමක් ලෙස උන්වහන්සේ සතු වූ පතළ කීර්තිය එයට නිදසුන් ය. ධර්ම දේශනාවන්හිදී උන්වහන්සේගේ බස සරලය. සුගමය. උන්වහන්සේටම අනන්‍ය වූ ගැඹුරු හඬ ළයාන්විත ද විය. ධර්මධර මහ තෙරුන් වහන්සේලා තුළ පමණක් නිධන්ගත ගැඹුරු දහම් කරුණු උන්වහන්සේගේ මුවින් ගලා ආයේ බරසාර බවටත් වඩා හරසාරවය. එනිසා උන්වහන්සේ එදත්, අදත් සකල ශ්‍රී ලංකාවාසී බෞද්ධ ජනතාව වෙතින් බුහුමන් ලබන්නේ ඉහළම මට්ටමේ විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක් ලෙසටය. සෝභිත නාහිමියන්ගේ ධර්ම දේශනයක් නොපැවති නගරයක්, ගමක්, පන්සලක් මෙලක ඉතා දුර්ලභ වන්නේ එබැවිනි.

දෙවැන්න බෞද්ධ අධ්‍යාපන ක්ෂේත්‍රයට උන්වහන්සේ ලබා දී ඇති අනුපමේය දායකත්වයයි. විද්‍යාලංකාර මහ පිරිවෙනින් හා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ලද අධ්‍යාපනයෙන් පසුව උන්වහන්සේගේ ගුරු භූමිකාව ගිහි පැවිදි මතු පරපුරක යහපත සඳහාම විය.

තෙවැන්න ජාතික, ආගමික හා ශාසනික වශයෙන් රටට ලබාදුන් නායකත්වයයි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයට නායකත්වය දෙමින් පැවිදි සිසුවෙකු ලෙස ප්‍රකට කළ නායකත්ව ගුණය පසුකලක මහා යතිවරයෙකු ලෙස සමස්ත ජාතියටම ලබාදුන්නේ ප්‍රදීපාගාරයක් ලෙසට ය. එය කෝට්ටේ ශ්‍රී නාග විහාරයට, තම විහාර ඝණයට, කෝට්ටේ ශ්‍රී කළ්‍යාණි මහා සංඝ සභාවට කිසිවිටක සීමා නොවීය. තුන් නිකායන්හිම මහා සංඝ සභාවන්හි හැම විටකම උන්වහන්සේ වඩාහිඳවනු ලැබූවේ ඉදිරිම පෙළෙහිය. ඒ සෑම තැනකදීම උන්වහන්සේගේ දැක්ම, ක්‍රියාකාරිත්වය හා මඟපෙන්වීම ඉහළින්ම ඇගයුමට ලක්ව ඇත්තේ බුහුමන් සහිතවය.

එපමණකින් එය සීමා නොවීය. රට දැය සමයට අගතියක් විපතක් හෝ අභියෝගයක් මතු වූ සෑම අවස්ථාවකදීම උන්වහන්සේ වැඩසිටියේ අන් සියල්ලන්ටම වඩා බොහෝ ඉදිරියෙනි. පෙරමුණෙහිම ය. කලෙක අප රටෙහි සිටි බලවත්ම ජනාධිපතිවරයෙකු ගැටඹේ රාජෝපවනාරාම මහා විහාරයට කටුකම්බි ගසා හිරිහැර කරද්දි ඊට එරෙහිව උන්වහන්සේ පෙනී සිටියේ අන් සියල්ලන්ටම වඩා ඉදිරියෙන් සිටිමිනි.

ප්‍රථම වරට ශ්‍රී ලංකාව තුළ මැයි දිනය තහනම් කළ 1987 වසරේදී නාරාහේන්පිට අභයාරාමයේ දී මව්බිම සුරැකීමේ සංවිධානය මෙහෙය වූ දැවැන්ත විරෝධතාවකට වෙඩි ප්‍රහාර එල්ල වෙද්දීත් බලහත්කාරී ලෙස රට මත පැට වූ ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව පැන නැඟුණු හැම ආකාරයකම විරෝධතාවයන්හිදීත්, බෙඳුම්වාදය වර්ධනය කරමින් උතුරු නැගෙනහිර ද ඇතුළුව සමස්ත ලංකාවම වෙලාගත් ත්‍රස්තවාදි ප්‍රහාරයන් හමුවේ අසරණ වූ සෑම ජන කොටසකම අයිතිවාසිකම් හා ආරක්ෂාව උදෙසාත් උන්වහන්සේ පෙනී සිටියේ පෙරමුණටම වැඩම කරමිනි.

එකී පෙනී සිටීම කිසිවිටෙක පක්ෂයකට රාජ්‍ය නායකත්වයකට, එක් කණ්ඩායමකට එරෙහි නොවූ පෙනිසිටීම් නොවීය. එකී සමස්ත කාලය තුළ මේ රට පාලනය කළ සෑම පාලන තන්ත්‍රයන්ම හා රාජ්‍ය නායකත්වයන් ඉදිරියේ උන්වහන්සේගේ පෙනීසිටීම යුත්කිය හා සාධාරණත්වය උදෙසා කළ අරගලයන් වේ. ඒ රට වෙනුවෙනි. රටේ සමස්ත පුරවැසි ප්‍රජාව වෙනුවෙන් සිදු කරන ලද පාරමිතාවන් සේ සැළකිය හැකි ය. එහෙත් ඒ නිසාම උන්වහන්සේට අත්විදින්නට සිදු වූ නින්දා සහ අවමන් අපමණය. තර්ජන, සිරගත කිරීම්, ඝාතන ප්‍රයත්න අතෝරක් නැතිව සිදු විය. එහෙත් උන්වහන්සේගේ පවිත්‍ර චේතනාවන් තුළ ගැබ් වූ අධිෂ්ඨානයන් හමුවේ ඒ කිසිවකින් උන්වහන්සේ ආපසු හරවාලිය නොහැකි විය.

අතිපූජ්‍ය මාදුළුාවේ සෝභිත නායක මාහිමිපාණන් වහන්සේට සැත්තෑ විය එළැඹෙන විට මේ රටේ අති සම්භාවනීය ගිහි පැවිදි මහ පිරිසක් එක්ව උන්වහන්සේට චිර ජීවනය ප්‍රාර්ථනා කරමින් සුබ පැතුම් හා ආශිර්වාද පළකරද්දි උන්වහන්සේ ආවර්ජනය කළේ තම ජිවිතයේ ගෙවුණ දශක හත පිළිබඳවය. එකී කාල පරාසය තුළ රටක් ලෙස අත්දුටු ඛේදවාචකයන්, සමස්ත ජනතාවටම අත්විඳින්නට සිදු වූ අනේක විධ දුක්ඛ දෝමනස්සයන් පිළිබඳවය. එහිදී සමාජයක් ලෙස අත්විඳි බොහෝ ඛේදවාචකයන්ට හා වරද්දා ගැනීම්වලට මූලික පසුබිම සැපයූ හේතුව රටේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන දුර්වල කරමින් තහවුරු වී පැවති ව්‍යවස්ථාපිත ඒකාධිපති පාලනයන් බව එහිදී උන්වහන්සේ මැනවින් හඳුනා ගත්තේය. විධායක ජනාධිපති ක්‍රමය එහිදී ඉහළින්ම පවත්නා බව උන්වහන්සේ නිවැරැදිව තේරුම් ගත්තේ ය. එබැවින් උන්වහන්සේගේ ඉතිරි ජීවිත කාලය එයට එරෙහිව කැපකිරීමේ ඇති අවශ්‍යතාව උන්වහන්සේ තේරුම්ගෙන තිබේ. මතු පරපුරේ යහපත උදෙසා රට තුළ තහවුරු කළ යුතුව ඇති ප්‍රජාතන්ත්‍රවාදය හා ඒ මත ගොඩනැඟිය යුතු යහපත් ආණ්ඩුකරණයක ඇති අවශ්‍යතාවය වෙනුවෙන් තමන් වහන්සේගේ ඉදිරි ජිවිත කාලය කැප කරන බව අධිෂ්ඨානශීලීව එදා උන්වහන්සේ විසින් සපථ කරන ලද්දේ ඒ නිසා ය.

ඒ හරහා නව දේශපාලන විප්ලවයකට මූලික පියවර තැබීම උන්වහන්සේගේ අපේක්ෂාව විය. උන්වහන්සේ අපේක්ෂා කළ පරිදිම බල පෙරළියක් සිදු වූ බව සැබෑ ය. ඉන් අනතුරුව ඒ වන විටත් තහවුරු වී පැවති විධායක ජනාධිපති ධුරය සතු වූ අසීමිත බල අධිකාරිත්වය 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා සීමා කරන්නට උන්වහන්සේගේ බලපෑම හේතු වූ බව ද සත්‍යයකි. නමුත් උන්වහන්සේ අපේක්ෂා කළ ප්‍රධානතම අරමුණ ජයග්‍රහණය කරවීමේ ඊළඟ පියවරට යොමුවන්නට කාලයක් නොතබමින් උන්වහන්සේගේ අපවත්වීම සිදුවිය. එය මුළු මහත් ජාතියේම කම්පාවටත්, සංවේගයටත් හේතු වූ කාරණයක් විය.

එහිදි කිසිදු දේශපාලන පක්ෂයක්, නායකත්වයක් සමඟ පුද්ගලික වශයෙන් උන්වහන්සේගේ ආරෝවක් නොවී ය. ක්‍රම වෙනසක් හරහා සාධාරණ සමාජයක් සඳහා වන අභිලාෂය පමණක් එකී අධිෂ්ඨානය තුළ පැහැදිලිවම දැකගත හැකි විය. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරමින් ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන නව ආණ්ඩුක්‍රම පරිවර්තනයක් උදෙසා පෙනී සිටින්නේ නම් තම පූර්ණ සහය හා ආශිර්වාදය එවකට ජනාධිපති ධූරය දැරූ මහින්ද රාජපක්ෂ මහතා වෙත ලබා දෙන්නට තමන් වහන්සේ සූදානම් බව උන්වහන්සේ ප්‍රසිද්ධියේම ප්‍රකාශ කරන ලද්දේ එබැවිනි.

user comment
user comment

එහෙත් එය ඉටු නොවන බව පැහැදිලිවම පෙනී යෑම හේතුවෙන් ඊළඟ ජනාධිපතිවරණයේදී නව අපේක්ෂාවක් වෙනුවෙන් නායකත්වය ලබා දෙන්නට උන්වහන්සේ පෙරට පැමිණියහ. එහිදි එකී ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙමින් එම අභිලාෂය ජයග්‍රහණය කරවන ලෙස බොහෝ පාර්ශ්ව පෞද්ගලිකවත්, ප්‍රසිද්ධියේත් උන්වහන්සේගෙන් ඉල්ලා සිටිය ද උදාර අරමුණක් තුළ පවා රජවීම සඳහා උන්වහන්සේ තුළ අපේක්ෂාවක් නොවීය. එබැවින් ඒ සියලු ඉල්ලීම් සහ ආරාධනයන් මෙත් සිතින් බැහැර කළ උන්වහන්සේ 2015 ජනාධිපතිවරණයේදි රටේ බහුතර දේශපාලන ධාරාවන් එකඟ කරවාගනිමින් පොදු අපේක්ෂකයකු තරඟ බිමට අවතීර්ණ කරවන්නට කටයුතු සම්පාදනය කළහ.

උන්වහන්සේගේ අපවත් වීමෙන් ජාතියට අහිමි වූයේ පටු ජාති, ආගම් භේදයන්ගෙන් තොර වූ සැබෑ ජාතික නායකයෙකි. රටේ ජනතාවගේ සහ මතු පරපුරේ යහපත මිස බලාධිකාරිත්වයක් හෝ ධන තණ්හාවක් නොතිබූ සැබෑ ජාති මාමකයෙකි. වාර්ගික, ආගමික, ප්‍රදේශ, කුල, පන්ති ආදි පටු සීමාවන් ඉක්මවා ලූ ඒ සෑම පාර්ශ්වයකම ගෞරවය හා ආදරය දිනාගත් සැබෑ ජාතික වීරයෙකි. මේ රටේ අනාගත යහපත උදෙසා එවන් ජාතික වීරයන් තව තවත් අපට අවශ්‍ය වී තිබේ. අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමිපාණන් වහන්සේට ලබාදිය යුතු සැබෑ ගෞරවය අපට ලබාදිය හැකි වනු ඇත්තේ එකී අඩුව දුරලන්නට හැකි ආගමනයකින් පමණක්මය.

dharman121105.
1987 හෙදි වර්ජනය විසදන ලෙස ඉල්ලමින් තුන්මුල්ලේදී උපවාසකල භික්ෂූන් පැහැර ගැනීමට එරෙහිව විරෝධය පලකරමින් සෝභිත හිමියන් නායකත්වය දුන් සත්‍යග්‍රහය.

ඒ සමගම උන්වහන්සේට ජාතියේ ප්‍රණාමය පුද කළ හැකි අනෙක් මඟ වන්නේ උන්වහන්සේගේ අවසන් මොහොතේද පැවැති අධිෂ්ඨානය ඉටුකිරීමෙනි. ඒ රටේ අනාගත යහපත උදෙසා අද වනවිටද බලාත්මකව පවතින විධායක ජනාධිපති ක්‍රමය ඉවත් කිරීමට දායක වීමෙනි.

විධායක ජනාධිපති පදවිය අහෝසි කරන බවට ජාතික ජන බලවේගය “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” – ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ ස්ථිරව ප්‍රකාශ කර ඇති නිසා ඒ පොරොන්දුව කෙරෙහි ජනතා විශ්වාසය ද පවතී. ඊට අමතරව ජනාධිපතිතුමන්, ටිල්වින් සිල්වා ලේකම්තුමා සහ තවත් අමාත්‍යවරුන් ගණනාවක් විසින් නොයෙක් වර ප්‍රකාශ කර ඇති පරිදි 2024 වර්ෂයේ දී පැවැත්වූයේ ලංකාවේ අවසන් ජනාධිපතිවරණය නම් එය ඉටුකළ යුතුව ඇත්තේ නොපමාවය.

පාර්ලිමේන්තුවේ බලයත් සමඟ එම නිර්දේශය පහසුවෙන්ම ක්‍රියාත්මක කළ හැක. ඒ තුළින් පදවි තානාන්තර සඳහා වර්තමානයේ පවතින ගැටුම් නිමාවී පිරිසිදු දේශපාලන සංස්කෘතියක් මෙරට තුළ බිහිකළ හැකිය. 2015 වසරේදී ගෞරවනීය මාදුළුවාවේ ශ්‍රී සෝභිත නාහිමියන්ගේ පැතුම අපගේද පැතුම වේ. ජාතික ජන බලවේගයේ මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇති එම පොරොන්දුව ඉටුවනු දැකීම ජනතා බලාපොරොත්තුවයි. ඒ කෙරෙහි විශ්වාසය හා ඒ ගැන වන බලාපොරොත්තුව අප තුළද පවතී.

දේශමාන්‍ය කරූ ජයසූරිය