ලිංගික අපචාර සහ පීඩනවලින් වැළකී සිටීම සඳහා වයසට සුදුසු පරිදි ලිංගික අධ්‍යාපන ක්‍රමවේදයක් දරුවන් වෙත ඉදිරිපත් කළ යුතු බවත්, ඒ සඳහා සැලසුම් සකස් කිරීම විශේෂඥයින්ගේ නිර්දේශ සහ උපදෙස් ලබාගෙන ක්‍රියාත්මක කරන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ මහනුවර දිස්ත්‍රික්කයේ මහජන නියෝජිතයින් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් මෙලෙස පැවැත්වුණි.
එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,
“6 වසරට, වයසට ගැලපෙන විදියට පොතක් අපි සකස් කරලා තියෙන්නේ. ලිංගික අධ්‍යාපනය ලබා දිය යුතුයි කියන ඒක සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විශේෂයෙන්ම පවුල් සෞඛ්‍ය ඒකක විසින් නිරන්තරයෙන්ම කියන දෙයක්. අපේ රට තුල ලිංගික අපචාරයට සහ පීඩනයට දරුවන් ලක් වීමේ ප්‍රවනතාව එන්න එන්නම වැඩි වන නිසා . මෙකෙන් ආරක්ෂා වීමට නම් දරුවන්නට මේ ගැන ඉගැන්විය යුතුයි කියලා පවුල් සෞඛ්‍ය ඒකක, සෞඛ්‍ය අමාත්‍යාංශය නිරන්තරයෙන් අපට කියන දෙයක්. ඒ වගේම තමයි ළමා ආරක්ෂණ අධිකාරියෙනුත් අපිට කියලා තියෙනවා මේත බරපතල ප්‍රශ්නයක්. තමන්ගේ ශරීරය ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් දරුවන් දැනුම්වත් විය යුතුයි කියලා. ඒ ගැන අපි සාකච්ඡාවක් කරනවා ඒ ඒ අමාත්‍යාංශ සහ අධිකාරි සමඟ. ඔවුන්ගේ නිර්දේශ ලබා දෙමින් පවතිනවා. කොහොම ද, කවදා ද කොයි වයසට ද ඉදිරිපත් කරන්නේ කියලා තීරණයක් තාම නෑ. ඒ සකච්ඡා අනුව වයසට සුදුසු පරිදි තමා ආරක්ෂා විය යුතු විදිය ගැන තමන්ගේ ශරීරය වෙනස් වන විට ඒ පිළිබඳව නිවැරදි අධ්‍යාපනයක් ලැබිය යුතුයි කියලා අපි හිතනවා. ඒ දේවල් අපි කරන්නේ විශේෂඥ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අයගේ උපදෙසුත් අනුව.
නොගැලපෙන ලිංගික අධ්‍යාපනයක් මෙරට පාසල් විෂය පද්ධතියට ඇතුළත් කිරීම මගින් දරුවන් නොමග යවන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙමින් පවතින බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මීට පෙර පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්,
”දැන් කුඩා දරුවන්ට හයවෙනි වසරේ සිට ලිංගික අධ්‍යාපනය ලබා දීම සඳහා අලුත් පාඨමාලාවක් හදාගෙන යනවලු. පන්තිභාර ගුරුවරුන් මේ සඳහා සූදානම් කරන්න යනවලු. සම්මේලන පවත්වන්න යනවලු. මේක අධ්‍යාපනයද? මොනවද මේ? දෙමව්පියන්ට නේද ඒ වගකීම තියෙන්නේ? දරුවන්ට ඒ වගේ දේවල් ගැන අවශ්‍ය වෙලාවට කියලා දෙන්න. දරුවන්ට වැඩිමල් වියට යන කොට යම් යම් දේවල් කියාදීමේ ක්‍රමවේදය මොකක්ද කියලා දෙමව්පියන්ව දැනුවත් කරන්න. මේවා අතර විශේෂයෙන්ම ඔය සමලිංගික සම්බන්ධතා ඇතිකර ගැනීම පිළිබඳව දැනුවත් කිරීමක් කරන්නට යනවලු. උත්පත්ති පාලනය පිළිබඳව දැනුවත් කිරීමක් කරන්න යනවලු. මේ හැම දෙයක් පිටිපස්සෙම ඉන්නේ අපේ රට විනාශ කරන්නට අර අදින ජාත්‍යන්තර සංවිධාන. ඒවා අතර විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ පවුල් පාලන සංගමය.UNFPA කියන එක. ඒගොල්ලෝ මේ ආණ්ඩුවට සල්ලි දීලා අධ්‍යාපන අමාත්‍යංශය සල්ලි දීලා ඒ සඳහා අවශ්‍ය පොත්පත් මුද්‍රණය කරලා මේ දරුවන්ව නොමඟ යවන වැඩපිළිවෙලක් අද ලංකාව තුළ ක්‍රියාත්මක වෙමින් පවතිනවා.
ලබන ජනවාරි මාසයේ විසි හත් වෙනිදා ඉඳලා මේ පාඩම් උගන්වන්නට යනවලු අපේ ඉස්කෝලවල. හයවෙනි වසරේ දරුවන්ගේ ඉඳලා. මේ අපේ දරුවන්ව විනාශ කරන්න නේද මේ වැඩේ කරන්නේ? මේ බටහිර ලෝකයේ පිරිහුණු ලෝකයේ ආගමක්, ධර්මයක් නැති ලෝකේ මිනිස්සුන්ගේ වටිනාකම් තමයි, අපේ රටටත් ගේන්න හදන්නේ. ඒ නිසා, අපි කියන්නට ඕනේ අනිවාර්යයෙන්ම, මේ අසීලාචාර දේවල් අපේ දරුවන්ට උගන්වන්න යන්න එපා. මේ හය හතරක් නොතේරෙන කිරි සප්පයන්ව මේ වැරදි මාර්ගයේ ගෙනියන්න රාජ්‍ය අධ්‍යාපන අමාත්‍යංශය කටයුතු කරනවා නම් ඒක සම්පූර්ණයෙන්ම අපි හෙළා දැකිය යුතුයි. කොහොමද මෙවැනි දේවල්වලට ශීලාචාර ආණ්ඩුවක් ඉඩ දෙන්නේ? මේ රට තුළ අපේ සංස්කෘතිය, අපේ සභ්‍යත්වය විනාශ කරන්න දෙන්න බැහැ අපිට. මේවා ගැන අපේ ජනාධිපතිතුමා දන්නවද කියලා මම දන්නේ නැහැ. නමුත් එතුමාගෙනුත් මම ඉල්ලන්නට කැමතියි කරුණාකරලා මේ දේවල් ඔය අමාත්‍යංශවල නිලධාරීන්ට ඕන විදිහට හරවන්න ඉඩ දෙන්න එපා.”