අයථා ලෙස වත්කම් රැස්කිරීමේ චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් රඹුක්වැල්ල මහතාට කොළඹ මහාධිකරණය හමුවේ අද (11) අධිචෝදනා භාරදීම සිදුවුණි.
මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී අල්ලස් කොමිසම විසින් විත්තිකරුට එරෙහිව ගොනුකර තිබූ අධිචෝදනා භාරදීම සිදුවුණි.
ඉන් අනතුරුව විත්තිකරු රුපියල් 50,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ10 බැගින් වූ ශරීර ඇප දෙකක් මතම මුදාහැරීමට විනිසුරුවරයා නියම කළේය.
විත්තිකරුගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තාවක් කැඳවන ලෙසත් මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර සිටියේය.
2022 වසරේ ජනවාරි මස 01 වනදා සහ 2023 වසරේ නොවැම්බර් මස 14 වනදා අතර දක්වා කාලසීමාව තුළ රුපියල් 296,566, 444.76ක් වටිනා වත්කම් හා දේපොළ උපයාගෙන ඉන් රුපියල් 275,302,616.06 ක වටිනාකමකින් යුත් මුදල් හා දේපොළ උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීමේ චෝදනා මත කෙහෙළිය රඹුක්වැල්ල හිටපු අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරයා වශයෙන්ද කටයුතු කර ඇති මෙම විත්තිකරුට එරෙහිව දූෂණ විරෝධී පනත යටතේ මෙම නඩුව ඉදිරිපත් කර තිබේ.
රමිත් රඹුක්වැල්ලගේ මහජන, ජනමාධ්‍ය සහ අධිකරණ ගෞරව මුද්‍රාව!
( 2025 නොවැම්බර් 11 වැනිදා කොළඹ මහාධිකරණ මගින් අධිචෝදනා බාර දීමෙන් පසු ඇප මත මුදා හරින ලද රමිත් රඹුක්වැල්ල මාධ්‍යයට පෙන් වූ හස්ත මුද්‍රාව)
‘ගුවන්ගතව තිබූ බ්‍රිටිෂ් එයාර්වේස් ගුවන් සේවයට අයත් ගුවන් යානයක ප්‍රධාන දොරටුවේ අගුල විනාඩි දෙකක පමණ කාළයක් තදින් අදිමින් රමිත් රඹුක්වැල්ල කලහකාරී ලෙස හැසිරුණු බව ප්‍රකාශ වුණේ 2013 ජූලි මාසයේදීය. ඇසින් දුටුවන්ට සහ එම ගුවන් සේවයේ නියුතු කාර්යමණ්ඩලයට අනුව ඔහු ඒ වනවිට බීමත්ව සිටි බව ප්‍රකාශ විය. බටහිර ඉන්දීය කොදෙව් දූපථි ශාන්ත ලුෂියා සිට ලන්ඩනයේ ගැට්වික් බලා පැමිණෙන අතරතුරදී මෙම සිදුවීම සිදුව තිබූ අතර බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් සංචාරයක් නිමවා පෙරලා පැමිණෙමින් සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ කණ්ඩායම සමග ඔහු සිට ඇත. 2013 ජූලි 18 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන පරිදි රමිත් රඹුක්වැල්ලට දැඩිසේ අවවාද කොට නියම කර ඇති දඩය තරග ආදායමින් අඩක් විය. එම පරීක්ෂණයේදී රමිත් පවසා ඇත්තේ සිහිනෙන් ඇවිදිමින් සිටි තමනට වැසිකිළි දොර යයි ගුවන් යානා දොර වැරදී ගිය බවයි.
2016 සැප්තැම්බර් 22 වැනිදා රමිත් රඹුක්වැල්ල පොලිස් අත්අඩංගුවට පත් වූයේ බීමතින් රිය පැදවීම සහ කොළඹ 07 පිහිටි සුප්‍රසිද්ධ බාලිකා විද්‍යාලයක තාප්පයකට අලාභ හානී කිරීම යන වැරදි මූලික කරගනිමිනි. කෙසේ වෙතත් ඊට සුළු මොහොතකට පසු ඔහුව පොලිස් ඇප මත නිදහස් කරන ලදි.
එම නඩුවට අදාළව 2016 සැප්තැම්බර් 16 වැනිදා ඔහුට එල්ල වූ එම රථවාහන චෝදනා දෙකකට පමණක් වරද පිළිගන්නා බව රමිත් රඹුක්වැල්ල වෙනුවෙන් පෙනී සිටින නීතිඥයින් අධිකරණය හමුවේ ප්‍රකාශ කරන ලදි. අපරීක්ෂාකාරී ලෙස රිය පැදවීම, අනතුරක් වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සහ බිමත්ව රිය පැදවීම ඇතුළු චෝදනා පහක් යටතේ පොලිසිය විසින් නඩු පවරණු ලැබිණි. අදාළ නඩුව විභාගයට ගත් අවස්ථාවේ රමිත් රඹුක්වැල්ල වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අධිකරණය හමුවේ කියා සිටියේ අපරික්ෂාකාරී ලෙස රිය පැදවීම සහ අනතුරක් වළක්වා ගැනීමට කටයුතු නොකිරීම යන චෝදනාවලට පමණක් වරද පිළිගැනීමට ඔහු සූදානම් බවය. ඒ අනුව රමිත් රඹුක්වැල්ලගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට කොළඹ රථවාහන මහේස්ත්‍රාත් අධිකරණය නියම කරන ලදි. ඉන් පසු ඔහුව පොලිස් ඇප මත මුදා හැරි අතර එවක මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ කැබිනට් ප්‍රකාශකවරයා ලෙස කටයුතු කළ කෙහෙළිය රඹුක්වැල්ල සිය පුත්‍රයා ගැන අධිකරණයට රැස්ව සිටි මාධ්‍යවේදීන් අමතමින් පැවසුවේ ‘මේක ලෝකයේ සිදු වුණු පළමුවැනි රිය අනතුර නොවෙයි. අධිකරණය සාධාරණ තීන්දුවක් දේවි.’ යනුවෙනි. 2016 ඔක්තෝබර් 11 වැනිදා අදාළ නඩුව මෝසමක් මගින් කැඳවු අවස්ථාවේ චෝදනාවලට තමා වරද පිළිගන්නා බව රමිත් රඹුක්වැල්ල අධිකරණය හමුවේ ප්‍රකාශ කරන ලදි. ඒ අනුව ඔහුට රුපියල් 29,000ක දඩයක් රථ වාහන මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය නියම කළ අතර තාවකාලිකව අත්හිටුවා තිබූ රමිත් රඹුක්වැල්ලගේ රියදුරු බලපත්‍රය මුදාහැරීමට ද මහේස්ත්‍රාත්වරයා නියම කළේය.
ඉන් පසුව රමිත්ව අත්අඩංගුවට පත් වන්නේ 2018 මාර්තු 10වැනිදාය. ඒ නාරාහේන්පිට ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් පසු තරුණයින් දෙදෙනෙකුට ගිනිඅවියක් පෙන්වා තර්ජනය කර පහර දෙන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙනි. එහිදී පොලීසිය ප්‍රකාශ කළේ රමිත් රඹුක්වැල්ල එදින අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවය. බීමතින් රිය ධාවනය කොට විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනෙකු අනතුරට පත්කිරීමේ චෝදනා ලැබ සිටි රමිත් රඹුක්වැල්ල වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ රථ වාහන මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය නියම කළේය.
රමිත් අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් මහේස්ත්‍රාත්වරයා එලෙස නියම කළ අතර 2018 මාර්තු 09 වැනිදා හෝ ඊට ආසන්න දිනයක නාරාහේන්පිට ලේක් ඩ්‍රයිව්හිදී බීමත්ව, අධික වේගයෙන්, අපරික්ෂාකාරී අන්දමින්, රිය ධාවනය කොට යතුරුපැදියක ඝට්ටනය කොට එහි ගමන්ගත් දෙදෙනෙකු අනතුරට පත් කොට බරපතළ තුවාල කිරීම සම්බන්ධයෙන් වූ චෝදනා විත්තිකරුට එරෙහිව ඉදිරිපත් කොට තිබිණි. මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකරු අධිකරණයේ පෙනී නොසිටි අතර නීතිඥ නෙරන්ජන් ඊරියගොල්ල කරුණු ඉදිරිපත් කරමින් තම සේවාදායකයා රෝගී වී ඇතැයි දැනුම් දුන්නේය.
නමුත් සැකකරුගේ රෝගී තත්ත්වය සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කොට නොමැති බව සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා මෙලෙස සැකකරු අත්අඩංගුවට ගන්නා ලෙස නියම කරමින් වරෙන්තු නිකුත් කරන ලදි.
කෙසේ වෙතත් 2025 වනවිට හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල ඇතුළු සිය පවුලටම අල්ලස් කොමිසම මගින් නඩු පවරන ලදි. ඒ අතර රමිත් රඹුක්වැල්ලට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ 2025 සැප්තැම්බර් 12 වැනිදා අධිචෝදනා ගොනු කළේය.
කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ මාස 21ක කාලයක් තුළ රමිත් රඹුක්වැල්ල රුපියල් කෝටි 27කට අධික වටිනාකමකින් යුත් වත්කම් උපයාගෙන ඇතත්, උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් එම අධිචෝදනා ගොනු කරන ලදි. එලෙස උපයාගත් ආකාරය අනාවරණ කිරීමට නොහැකි වත්කම් අතර සුඛෝපභෝගි නිවාස, ජීප් රථ ඇතුළු වත්කම් රැසක් පවතින බව වාර්තා වූ අතර කෙහෙළිය රඹුක්වැල්ල ගෝඨාභය රාජපක්ෂ රජයේ සෞඛ්‍ය අමාත්‍ය ධුරය දරන සමයේදී රමිත් ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා වශයෙන් ද කටයුතු කර තිබුණි.
එම ධුරයේ කටයුතු කරන අතරතුර 2022 වසරේ ජනවාරි 01 වැනිදා සහ 2023 නොවැම්බර් 14 වැනිදා අතර දක්වා මාස 21ක කාලසීමාව තුළ ඔහු රුපියල් 296,566, 444.76 ක් වටිනා වත්කම් හා දේපොළ උපයාගෙන ඇත. ඉන් රුපියල් 275,302,616.06ක වටිනාකමකින් යුත් මුදල් හා දේපළ උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට රමිත් රඹුක්වැල්ල අපොහොසත් වී තිබේ. අල්ලස් කොමිසම දූෂණ විරෝධී පනත යටතේ ඔහුට විරුද්ධව අධිචෝදනා ගොනු කර ඇත්තේ ඒ අනුවය. තවද එලෙස උපයාගත් ආකාරය අනාවරණ කිරීමට නොහැකි වූ වත්කම් අතර, කොළඹ 07 ධර්මපාල මාවතේ පිහිටි සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක රුපියල් කෝටි 8ක් සහ රුපියල් හය කෝටි පනස් ලක්ෂයක් වටිනා නිවාස 02ක් ද ඇත. එමෙන්ම රමිත්ගේ නමින් තිබෙන බැංකු ගිණුම් 04ක්, ඔහුගේ බිරිඳට අයත් බැංකු ගිණුම් 04ක්, එක්කෝටි අසූ ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් ඩිස්කවරි ජීප් රථයක් ඇතුළු වත්කම් රැසක් පවතින බව මාධ්‍ය වාර්තා කරන ලදි. විත්තිකරුගේ හා බිරිඳගේ නම්වලින් ඇති බැංකු ගිණුම්වල ස්ථාවර තැන්පතු ආරම්භ කර ඇතැයිද අල්ලස් කොමිසම අනාවරණ කරගෙන අධිකරණයට කරුණු දක්වන ලදි. ‘
සටහන උපුටා ගැනීම -කසුන් පුස්සෙවෙලගේ ෆේස්බුක් පිටුවෙනි!
අපරාධ රාජ්‍යයක් – අසංක්ෂිප්ත පරිච්ඡේදයක්