අභාවප්‍රාප්ත ආණ්ඩුකරුගේ අවසන් කටයුතු සමනල ක්‍රීඩාංගනයේ දී.

බන්දුල හරිස්චන්ද්‍ර

අභාවප්‍රාප්ත දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර මහතාගේ දේහයේ අවසන් කටයුතු ලබන අඟහරුවාදා (18) ගාල්ල සමනල ක්‍රීඩාංගනයේ දී සිදු කිරීමට නියමිතයි.

දේහය අද (16) පස්වරු 2.00 සිට හෙට (17) පස්වරු 2.00 දක්වා කොළඹ පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තැබෙන අතර, අනතුරුව දේහය මහජන ගෞරවය සඳහා දකුණු පළාත් ආණ්ඩුකාර නිල නිවස වෙත රැගෙන යාමට නියමිතව තිබෙනවා.

දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර මහතා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී අද (16) අලුයම අභාවප්‍රාප්ත වූ අතර අභාවප්‍රාප්ත වන විට ඒ මහතා 62 වන වියේ පසු විය.

හරිස්චන්ද්‍ර මහතා ද්විතීයික අධ්‍යාපනය හොරණ ශ්‍රී පාලි විද්‍යාලයෙන් ලැබූ අතර කැලණිය විශ්ව විද්‍යාලය වෙතින් උපාධිය ලබා ගත්තේය. 1991 දී ඔහු ශ්‍රී ලංකා පරිපාලන සේවයට බැඳුණු අතර මුලින් අම්පාර දිස්ත්‍රික්කය සඳහා සහකාර දිස්ත්‍රික් මැතිවරණ කොමසාරිස්වරයා ලෙස පත් කරන ලදී. පසුව ඔහු ගාල්ල සහකාර දිස්ත්‍රික් මැතිවරණ කොමසාරිස්වරයා ලෙස සේවය කළේය.

හරිස්චන්ද්‍ර මහතා පසුව ගාල්ල හතර කොරලේ ප්‍රාදේශීය ලේකම් සහ ගාල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් ලෙස සේවය කළේය. ඔහු ගාල්ල විට්ටීය දිස්ත්‍රික් ලේකම් ලෙසද කටයුතු කළේය.

ඉන් අනතුරුව ඒ මහතා රත්නපුර දිස්ත්‍රික් ලේකම් සහ හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් ලෙස පත් කරන ලද අතර, පසුව සමාජ සවිබල ගැන්වීම, සුබසාධන සහ මහනුවර උරුමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් තනතුර භාර ගත්තේය. පසුව ඔහු වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ලේකම් සහ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ අතිරේක පාලක ජනරාල් ලෙස සේවය කළේය.

mr bandula harischandra – governor of the southern province 1024x614

අභාවප්‍රාප්ත වන විට බන්දුල හරිස්චන්ද්‍ර මහතා ජාතික ජන බලවේග ආණ්ඩුව යටතේ දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළේය.