හුණ්ඩු පිටිවල නටන සැන්ඩි රැලි!

ap22194421759741

එක කාලෙක ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රවෘත්ති විකාශයේ ගිය තේමා වාදනය කාලයකට අමතක නොවන එකකි . ‘ඇන් ඇම්ට පුළුවන්ද ආණ්ඩුව පෙරළන්න’යන අර්ථය එහි වන බව සමහරු කීහ. ඒ කතාව වෙනස් කරගෙන දැන් කියන්නට තියෙන්නේ ‘සෙනඟකට පුළුවන්ද ආන්ඩුව පෙරළන්න’ කියලාය.

බොහෝ දෙනා විශ්වාස කරන්නේ සෙනග පෙන්වා දැවැන්ත ජනරැළි පැවැත්වීමෙන් ආණ්ඩු බලය ලබා ගත හැකි බවයි.එහෙත් ඇත්ත ඒක නොවේ. ඔය නුගේගොඩ නාඩගමත් එවැන්නක් මිස වෙන එකක් නොවේ.‘මේකද යහ පාලනේ-ගොං රනිල්ගේ පාලනේ කියලා 2017 විතර යහපාලනයට එරෙහිව රස්තියාදුවේ ගිය නාමල්ලා මෙදා අර රනිලුත් ගෝලයෝත් කැටුව නුගේගොඩ යති.

දැවැන්ත යයි පෙන්වන බොහෝ රැළිවල ඇත්තටම දැවැන්ත සෙනගක් නැත. හුණ්ඩුවක් වැනි කුඩා පිට්ටනියක් තෝරාගෙන එය පිරෙන්නට සෙනඟ ගෙන්වා පවත්වන ජන රැලියක ඡායාරූප පිටතට මුදා හරින්නේ අලුත් තාක්ෂණයට පින් සිද්ධ වෙන්නටය.ජනතා විමුක්ති පෙරමුණ තංගල්‍යයේ පැවැත්වූ ජන රැළියට ලක්ෂ ගණන් සෙනඟ ආ බව පැවසුවත් ඇත්තටම එම ස්ථානයට ලක්‍ෂයක් තබා විසි දහසක සෙනඟක්වත් කැඳවන්නට නොහැක.පන්දහසක සෙනඟ ලක්ෂයක් ලෙස පෙන්වීමට එම රැලිය පවත්වන ක්‍රීඩාංගනය හෝ ස්ථානය අපූරුවට යොදා ගත හැකිය.ඉන් අනතුරුව කළ යුත්තේ ඩ්‍රෝන් කැමරා පද්ධතියක් යොදාගෙන මහා සෙනගක් මවා පෙන්වීම ය.පසුගියදා සමගි ජන බලවේගය සිය මංගල රැළිය පැවැත්වූයේ කුරුණෑගල සත්‍යවාදී පිටියේය.එම ක්‍රීඩාංගනය පිරී ඉතිරී යන පරිදි ගාල් කළ හැක්කේ දස දහසකට අඩු ජනකායක්ය.හැබැයි ඔවුන් මවා පෙන්නන්නේ ලක්ෂ ගානක ජන සහභාගිත්වයක් ඊට තිබූ බවය.

මේ විහිළු සහගත චිත්‍ර සැබෑවක් බවට පත්වන්නේ මැතිවරණයෙන් පසුවය.

“ද ස්පරිට් ඕෆ් ලෝස්” කෘතියේ මොන්ටෙස්කපු පැවසූ ආකාරයට, මැතිවරණයකදී ජනතාව රටේ පාලකයන් මෙන්ම වැසියන් ද වෙති. ඡන්දය ප්‍රකාශ කිරීමේ දී වරණීය හැකියාවෙන් ඔවුහු පාලකයන් වෙති. විශේෂයෙන් ප්‍රජාතන්ත්‍රවාදයන් සහ ජන රජයන් වල ඇති විශේෂ ලක්ෂණ නම්, ජනතාවගෙන් සහ ජනතාව වෙනුවෙන් හදන රජයකට නෛතික බලය හිමි වන්නේ ජනතාවගේම කැමැත්තෙන් වීම ය.

61gcy9t0q7l. sl1360

හැත්තෑ හතේ මහ මැතිවරණය පවත්වන තුරුම, එවකට පැවැති මැතිනියගේ රජය විශාල ජන සහභාගිත්වයෙන් යුතු රැස්වීම් රට පුරාම තැබුවේය.ඒවාට දහස් ගණනින් සෙනග සහභාගි වූහ. බස් දමා සෙනඟ ඇදිල්ල ඇරැඹුවේ හැත්තෑවේ ආණ්ඩුව වූ අතර විද්‍යුත් ජනමාධ්‍ය නොතිබූ එකල, පුවත්පත් පිටු පිරෙන්නට සෙනග පෙන්වීම මගින් ජන රැල්ල තමන් ළඟ බව පෙන්වීමට රජය උත්සාහ ගත්තේය.

හැබැයි ඒ වෙනුවට එවක විරුද්ධ පක්ෂය වූ එක්සත් ජාතික පක්ෂය අනුගමනය කළේ වෙනස් වැඩපිළිවෙළකි.

ජේ ආර් කියන්නේ අමුතු මිනිහෙක්ය. විරෝධතා දැක්වීම සඳහා ‘පා ගමන්’ යොදා ගැනීමේ ආරම්භකයා ඔහුය. බණ්ඩාරනායක ආණ්ඩු කරන කාලයේ නුවරට පා ගමන් ගිය ජේ ආර් 70 – 77 කාලයේ රට පුරා සත්‍යග්‍රහ පැවැත්වීය.

හැබැයි ඒ කාලයේ ආණ්ඩුව තුට්ටුවකට කලබල වුණේ නැත.මැතිනියගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එදා හිතුවේ ජනතා රැලි වලට සහභාගී වන ජනකාය හේතු කොටගෙන ඔවුන් අනිවාර්යෙන්ම එම මැතිවරණය ජයග්‍රහණය කරන බවය.ඊට අමතරව ඒ කාලයේ වාමාංශිකයින් රතු තොප්පි දාගෙන ගම්වල සැරිසරමින් ඡන්ද එකතු කරමින් සිටියහ.ඔවුන් පවත්වන රැළි වලටද විශාල සෙනඟ පැමිණ සිටි අතර වාමාංශික පක්ෂ වලට 77 විශාල බලයක් ලැබෙන බවට පූර්ව නිගමන ද නිකුත් විය.

එහෙත් මැතිවරණ ප්‍රතිඵලය පූර්ව නිගමන සියල්ල බිඳ දමා තිබිණ. ශ්‍රී.ල.නි.ප.ය අන්ත පරාජයකට පත්ව මන්ත්‍රීවරුන් අට දෙනකුට පමණක් හිමි වී සිටියේය. වාමාංශික පක්ෂ දේශපාලන භූමියෙන් අතුගෑවී ගොස් සිටියේය. එ.ජා.ප.ය  හයෙන් පහක බලයක් හෙවත් අතිවිශාල ජන වරමක් විය

 77 මැතිවරණය එන්නේ ජේ ආර් පා ගමන් ගිය හින්දා නොව, ඉන්දියාවේ ගාන්ධිලාත් මැතිවරණයට යන්න පාර්ලිමේන්තුව විසිරුවපු හින්දාය. එවක සිරිමා ආණ්ඩුව වැඩ කළේ ඉන්දිරා හුස්ම ගන්න තාලයටය.

අන්තිමට දස දහස් ගණනින් සෙනග පෙන්වා මැතිවරණ ප්‍රචාරක රැලි කළ මැතිණිය පරාජයට පත් විය.පා ගමන් ගොස් ගම් මට්ටමේ සහ බිම් මට්ටමේ දේශපාලනය කළ ජේ.ආර්. ජයග්‍රහණය කළේය.

1987–89 මහා භීෂණ සමයේදී ජේ.ආර්. හා රජීව් ගාන්ධි අත්සන් කළ ඉන්දු-ලංකා ගිවිසුමට එරෙහිව සුවිශාල ජන සහභාගිත්වයකින් විරෝධතා ව්‍යාපාර පැවැත්විණි.ඒවා පිටුපස සිටියේ ජනතා විමුක්ති පෙරමුණය.ඔවුන් දැවැන්ත පරිමාණයේ රැස්වීම් සංවිධානය කළ අතර දහස් ගණන් ජනතාව ඊට සහභාගී වී සිටියහ.

එහෙත් භීෂණ සමයේ මහා ජීවිත හා දේපළ විනාශයෙන් පසුව 1989 පැවැත්වූ මහ මැතිවරණයේදී පැහැදිලි බහුතරයක් දිනාගන්නට එක්සත් ජාතික පක්ෂ රජය සමත්විය.එපමණක් නොව  ජනාධිපතිවරණයෙන් ද 1988 දී ජය ලැබුණේ එජාපයටය.එහෙත් , මැතිවරණ සමය තුළ එජාප රැස්වීම් බොහොමයක් තිබුණේ කුණාටුවකට හසුවය

ප්‍රේමදාස රැස්වීම් කළේ හිස් පිට්ටනිවල ය.යකඩ කටින් ඔහු නිවෙස්වල මිනිස්සුන්ට ඇහෙන්න කතා කළේය.

අන්තිමට ජවිපෙ රැල්ල සුන්විය.ප්‍රේමදාස දිනුවේය.

ප්‍රේමදාසගේ කාලයේ මහින්දලා ‘පාද යාත්‍රා’ගියහ. හැබැයි ආණ්ඩුව අවුරුදු ගාණක් යනකම් හෙල්ලුණේ නැත. 

dharman24071608

සෙනඟ ගෙන්වා ආණ්ඩුව හෙල්ලූ අනෙක් සමීපතම අවස්ථාව වාර්තා වෙන්නේ එජාපය කළ ‘ජනබල මෙහෙයුමෙන්’ය. දෙවුන්දර තුඩුවේ සිට කොළඹට එදා ජන බල මෙහෙයුම ගෙනාවේ ‘ජනාධිපතිවරණයක්’ ඉල්ලාය. ඒ කියන්නේ සටන පටන් ගත්තේ දකුණෙන්ය. එවක ජනපති චන්ද්‍රිකාය. විපක්ෂනායක රනිල්ය. හැබැයි එජාපයේ ජනබල මෙහෙයුමට ආශිර්වාද කළේ මහින්දය.ඉක්මන් ජනපතිවරණයක් ඔහුට ඕනෑ විය. මැතිවරණ කොමසාරිස් ජනාධිපතිවරණයට දින නියම කළේය. ඒ වෙනකොට රනිල් ජන බලය පෙන්වා සිටියේය. ඒ මහා සෙනඟක් කොළඹට ගෙන්වාය. ජනපතිවරණය ගැනීමේ ‘වීරයා’ රනිල් බව හැමතැනම කතා විය. අන්තිමට සෙනඟ පෙන්වූ රනිල් පරාජය වී පැත්තක සිටිය මහින්ද දිනුවේය.

සෙනඟ ආව පලියට ආණ්ඩු පෙරළෙන්නේ නැත. දේශපාලනය යනු බල අරගලයකි. මැකියාවෙලී ‘කුමාරයා’ හි ලියූ පරිදි එය බලය ලබාගැනීමට අරගල කිරීම, බලය ලබාගැනීම, බලය පවත්වාගෙන යාම වැනි බල ක්‍රියාන්විතයකි. ඒ උදෙසා නොයෙක් උපාය, උපක්‍රම භාවිත කිරීම දේශපාලන සංවිධානවල අනවරත ක්‍රියාදාමයකි. චිරාත්කාලයක් තිස්සේ එය දේශපාලනයේ අත්‍යන්ත ස්වභාවයකි. පෝස්ටර්, අත්පත්‍රිකා, දැන්වීම්, පෙළපාලි මැතිවරණ සමග සහසම්බන්ධ කාරණාය.

sajith 8

කරුණු කාරණා කෙසේ වෙතත්, මැතිවරණ රැළි සහ සෙනඟ මෙරට සමාජය තුළ මුල්බැසගෙන ඇත්තේ ‘ජනප්‍රිය’ අර්ථකථනයකිනි. කිසියම් රැළියක් සඳහා පැමිණෙන සෙනඟ අතිමහත් උජාරුවකින් උලුප්පා දක්වමින් සමාජගත කිරීමට වෑයම් කරනුයේ ‘මැතිවරණය ජයගන්නා හෝ පරාජය වන’ නියැදියය. එහෙත් ඒ වූ කලී හුදු භ්‍රමණයක් පමණක් බවට උදාහරණ ඕනෑ තරම් ගත හැකිය.

77 මහ මැතිවරණය වන විට එක් අතකින් එක්සත් ජාතික පක්ෂයත් අනෙක් අතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් දැවැන්ත ජනහමු පැවැත්වීය. ජේ. ආර්. ජයවර්ධන මහතාගේ රැළිවලට සේම සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ රැළිවලටද උතුරන්නට සෙනඟ පැමිණියහ. කවුරුන් දිනාවිදැයි සිතාගත නොහැකි තරමට රැළිවල සෙනඟය.

gettyimages 2667938 2048x2048
Mrs Sirimavo Bandaranaike, widow of the assassinated Prime Minister of Ceylon campaigns for the Freedom Party. (Photo by Keystone/Getty Images)

එහෙත් එජාපය මැතිවරණය ජයග්‍රහණය කළේ හයෙන් පහක බලයක් ලබාගෙනය.

494557650 2880108938827888 3521943073941162639 n

දෙවැනි ජනාධිපතිවරණය අවස්ථාවේ මෙරට සමාජයේ තිබුණේ රැස්වීමක් තබා දැන්වීමක්වත් ප්‍රදර්ශනය කළ නොහැකි වාතාවරණයකි. භීෂණයේ හස්තය රට පුරා ව්‍යප්තව පැවැතිණ. අපේක්ෂකයින් ජනහමු ඇමතුවේ ‘යකඩ කටට’ පිංසිදු වන්නටය. රැළිවලට මිනිස්සු පැමිණියේ නැත. එහෙත් රණසිංහ ප්‍රේමදාස මැතිවරණය දිනුවේය. සෙනඟ පෙන්වූ තරමට ඡන්ද දිනන්නට නොහැකි බවට ආසන්නම උදාහරණය ගත හැක්කේ ඉකුත් ජනාධිපතිවරණයෙනි.

k5i5d5ecu5cf1

එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රැළිවලට සෙනඟ රැස් කළේ දස දහස් ගණනින්ය. ඇතැම් රැළිවලට ලක්ෂයක පමණ සෙනඟක් රැස්කොට තිබිණි. අනුරාධපුරයේ පැවැත්වූයේ එවැනි රැළියකි. එවක මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ මංගල ජනරැළිය අනුරාධපුරයේදී පැවැත්වූ අතර ඊට ලංගම බස්රථ 1,200ක සංඛ්‍යාවකින් ජනතාව කැඳවා තිබුණි.

ඒ අනුව ඒවා ජනරැළිවලට එහා ගිය බස් රැළි බවට පත්ව තිබුණි. අනුරාධපුර එම රැස්වීම් භූමියේදී ජනතාව තෙරපීමට ලක්වීම හමුවේ 6 දෙනෙක් පමණ ක්ලාන්තව සිහිසුන් වූහ. ඊට පෙර 2009 දකුණු පළාත් සභා මැතිවරණ සමයේදී මැදමුලන දන්සල් භූමියේදී බත් පැකට් ලබාගැනීමට ජනතාව පොරකෑමේදී පෑගීමෙන් එක් අයෙක් මියගියේය. එහෙත් ප්‍රතිඵලය වූයේ අනුරාධපුරය මහින්ද පරාජය වීමය.

55c65130da96d

තත්ත්වය එසේ වුවද බොහෝ විට තවමත් සමහරු ‘සෙනඟ’ පෙන්වා මැතිවරණ ප්‍රතිඵල අනුමාන කිරීම සිදුකරති. විශේෂයෙන්ම ස්වකීය දේශපාලන න්‍යාය පත්‍රයට අනුව ක්‍රියාත්මක මාධ්‍ය, මැතිවරණ රැළිවල සෙනඟ පෙන්වීමට දන්නා සියලු උපක්‍රම භාවිත කරති. ඇතැමුන් මේ රැළිවලට සහභාගි වන්නේ සිය කුඩා දරුවන්ද කරපින්නාගෙනය. එයින් සිදු වන පීඩාව ගැන තැකීමක් නොකරන ඔවුහු රැළිවලට එක්වෙති. බොහෝ රැළි සඳහා සෙනඟ ගෙන්වීමේ ක්‍රියාන්විතය ‘කුඩා ප්‍රමාණයේ’ යුද්ධයක් තරමේ කටයුත්තකි.

බස් යොදවා සෙනඟ කැන්දවා, බත් පැකැට් පිරිනමා, බොන අයට ඒ අඩුවැඩියද සපයා ‘සූර්’ වූ පිරිසක් උන්මාදයෙන් මෙන් ගෙන්වීම සුලබව සිදුවන්නකි. සවිඥානිකව රැළියක සිටින්නන් සොයාගත හැක්කේ දුලබවය. ඒ අනුව බොහෝ දෙනෙකුට රැළිවලට සහභාගි වීම ‘ආතල්’ ගැනීමකට යාමක් වැනිය. හිට්ලර් ජර්මනියේ සිටි ආඥාදායකයෙකි. ඔහුගේ රැළිවලට සෙනඟ පැමිණියේ ලක්ෂ ගණනින්ය. එමතු නොව ඔහුට උන්මාදයෙන් මෙන් ‘ආදරය’ පෙන්වන කෘත්‍රිම ‘රටාවක්’ හිට්ලර්ගේ මාධ්‍ය විසින් ගොඩනංවා තිබිණි. එහෙත් තීරණාත්මක මොහොතක හිට්ලර්ගේ ආධිපත්‍යය දියවී ගියේය.

කෘත්‍රිම මවාපෑම්වල අවසානය එබඳුය.

හෙට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ , ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය, පොදුජන එක්සත් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ශ්‍රී ලංකා මහජන පක්ෂය, නව ජනතා පෙරමුණ ඇතුළු විපක්ෂයේ තවත් පක්ෂ රැසකගේ  සහභාගීත්වයෙන් නුගේගොඩ රැලිය  පැවැත්වේ.

ආණ්ඩුව ජනතාවට දුන් පොරොන්දු මතක් කිරීම අරමුණු කරගෙන “මහ ජන හඬ” යන්න තේමා කරගෙන මෙම ජන හමුව පැවැත්වෙන බව කියයි.

ආණ්ඩුවේ බහාලුම් මගඩිය හෙළි වුණ නිසා, කියපු විදිහට තෙල් මිල අඩු නොකළ නිසා, ලයිට් බිල 1/3කින් අඩු නොකළ නිසා, හාල්  මාෆියාව රැකපු නිසා, බදු බර වැඩි කරපු නිසා, ජාතියේ අභිමානය බිඳ හෙළුෑ නිසා, ගජ මිතුරු කල්ලි පාලනය නිසා, මැති -ඇමති වත්කම් වංචාව අපි දැන් දන්න නිසා, උපාධිධාරීන් හා සුදුසුකම් ලත් තරුණයන්ට රැකියා නොදුන් නිසා, ගොවීන් අසරණ කළ නිසා, ජීවන වියදම ඉහළ දාපු නිසා, නීතියේ ආධිපත්‍ය කෙලෙසපු නිසා, වෛරය පතුරු වන නිසා, සියල්ල දේශපාලනීකරණය කළ නිසා, ස්වදේශික සංස්කෘතිය විකෘති කළ නිසා, රණවිරුවන් දඩයම් කළ නිසා, බෙදුම්වාදීන් එක්ක හුරතල් වන නිසා, හොර ගිවිසුම් ගහපු නිසා, කියපු බොරු එළිවුණ නිසා, රටට වැඩක් නොකරපු නිසා, ඉදිරි වැඩපිළිවෙළක් නැති නිසා යන කරුණු  21ක් නුගේගොඩට එන්න හේතුව වශයෙන් දක්වා ඇත.

මේවට හිනා යන්නේ දෙකොනින් ය.

හරිනම් දාන්න තිබ්බේ ඉර පායන නිසා,ඉර පායන එක වෙලා යන නිසා,උදේට සීතල නිසා,දවල්ට රස්නේ නිසා,අහසේ තරු පායන නිසා, නොකෑවම බඩගිනිවෙන නිසා,මුහුණ සෝදන්න වෙන නිසා,ටොයිලට් ගියවිට අදාල කොටස් සෝදන්න වෙන නිසා මේවාට විරෝධය පා නුගෝගොඩට එන්න කියන එකය.

රැළිවලට සහභාගි වීම, දේශපාලනික කාරණා පිළිබඳව දැනුම්වත් වීම වරදක් හෝ ගැටලුවක් නොවේ. එහෙත් රටක පාලන තන්ත්‍රය වෙනස් කරනුයේ හෝ බිහි කරනුයේ උන්මාදයෙන් රැළිවලට යන මිනිසුන්ට වඩා, කල්පනාකාරීව තීන්දු ගන්නා මිනිසුන්ය. වගේ වගක් නැතිව ඔහේ යන එකට කියන්නේ ‘ගඩ්‍රිකා ප්‍රවාහය’ කියලාය. එදා මෙදාතුර ගිය ඕනෑම පාගමනකට, විරෝධතාවකට ඉලක්කයක් තිබුණි.

බැටලු දෙනක් පසුපස විචාරයකින් තොරව ඔහේ ගමන් ගන්නා බැටළු රංචුව හඳුන්වනුයේ ගඩ්‍රිකා ප්‍රවාහය කියායි. බැටලුවන්ට මොළයක් නැත. මහ බැටලුවාටද මොළයක් නැත. ඒ නිසා යන්නේ කොහිද, කරන්නේ මොනවාද කියා ගඩ්ඩරිකා ප්‍රවාහයේ යෙදෙන බැටලුවන් දන්නේ නැත. තැනක් නොතැනක් නැතත් දහස් ගාණක් ඔහේ ඇවිදිමින් සිටිති. ඒ ඔවුන් බැටලුවන් නිසාය. මිනිස්සුත් එහෙම වෙනවා නම් ඉතිං දෙයියන්ගේම පිහිටය.

මේඝනාද