වසර 14කට පෙර ඇඹිලිපිටිය, මුල්ලගස්යාය ප්රදේශයේදී තරුණයකු කපා කොටා ගල්මුල්වලින් පහරදී ඝාතනය කිරීමේ චෝදනාවට වැරදිකරුවන් වූ කාන්තාවන් තිදෙනකු ඇතුළු දස දෙනකුට ඇඹිලිපිටිය මහාධිකරණය ඊයේ (24) මරණ දණ්ඩනය නියම කෙළේය.
මෙලෙස මරණ දණ්ඩනය නියම වූයේ මුල්ලගස්යාය කාවන්තිස්සපුර ඇඹිලිපිටිය ප්රදේශයේ පදිංචි එස්.පී .අන්ද්රියස් අප්පුහාමි(64), ජේ.ඒ ශෂී කුමුදු සුරංග(40), එස්.පී අමරසේන(66), ජේ.ඒ සරත්(62), එස්.පී දියොනිස් අප්පුහාමි(75), එස්.පී කරුණාවතී(56), කුඹුගොඩආර, ඇඹිලිපිටිය පදිංචි එස්.පී. ආරියවතී, ප්රියදර්ශන මාවත, කොළඹ 10 පදිංචි එස්.පී. චින්තා නිමාලි(54), අංක 165, කණබැඳිආර, ඇඹිලිපිටිය පදිංචි එස්.පී. විමලදාස(71) හා දබරැල්ල, උතුරු කාරියමඩිත්ත පදිංචි එස්.පී. දිමුතු සුරංග(39) නමැති සැකකරුවන් හත් දෙනාට සහ සැකකාරියන් තිදෙනාටයි.
චූදිතයන් විසින් 2011 .10.11 වැනි දින ඇඹිලිපිටිය මුල්ලගස්යාය ප්රදේශයේ පදිංචිව සිටි 30 හැවිරිදි පුද්ගලයකු සමඟ ඇතිවූ පෞද්ගලික ආරාවුලක් දුර දිග යාමෙන් පසු චූදිතයන් විසින් අදාළ තරුණයා තියුණු ආයුධවලින් කපා කොටා ගල් මුල්වලින් පහරදී ඝාතනය කර තිබිණි. පසුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ ඇඹිලිපිටිය මූලස්ථාන පොලීසියේ නිලධාරීන් විසින් සිද්ධියට සම්බන්ධව පිරිමි පුද්ගලයන් අට දෙනකු හා කාන්තාවන් සිවු දෙනකු අත්අඩංගුවට ගෙන ඇඹිලිපිටිය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පැවැති මූලික නඩු විභාගයෙන් අනතුරුව පිරිමි පුද්ගලයන් අට දෙනකුට හා කාන්තාවන් සිවු දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් ඇඹිලිපිටිය මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබේ.
ඒ අනුව පැවැති දීර්ඝ නඩු විභාගයකින් පසු නීතිපතිවරයා වෙනුවෙන් පෙනී රජයේ අධිනීතිඥවරයා විසින් චූදිත පුද්ගලයන් 07 දෙනකුට හා චූදිත කාන්තාවන් 03කට එරෙහිව නඟා තිබූ චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට සමත් විය.
එමෙන්ම නඩුවට අදාළව චෝදනා එල්ලව සිටි ප්රියදර්ශන මාවත කොළඹ 10 පදිංචි 34 හැවිරිදි කරෝලිස් සුබසිංහගේ නුවන් හා සම්පත්ගම, දෙයියන්දර ලිපිනයේ පදිංචි 37 හැවිරිදි එස්.පී සඳමාලි නිසංසලා නමැති දෙදෙනා අදාළ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලදි.
තීන්දුව ප්රකාශයට පත්කරමින් ඇඹිලිපිටිය මහාධිකරණ විනිසුරුවරයා විසින් අදාළ චෝදනාවට වැරදිකරුවන් වූ චූදිතයන් දස දෙනා ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිවරයා විසින් නියම කරන දිනයක දී ස්ථානයක දී හා වේලාවක දී බෙල්ලෙන් එල්ලා මරණයට පත් කරන තෙක් වැලිකඩ බන්ධනාගාරයේ රඳවා තබන ලෙස බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කරන ලදි.