අධික වර්ෂාපතනය අඩු වුවද ආපදා තත්ත්වය තවමත් පහව ගොස් නොමැති බැවින් සිය නිවෙස් කරා යෑමෙන් වළකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අතුල කරුණානායක සහන කඳවුරුවල සිටින ජනතාවගෙන් ඉල්ලා සිටී.
සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් සිදු වූ විදුලි රැහැන් පද්ධති කඩාවැටීම් තවමත් සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් කර නොමැති අතර අදාළ ආයතන විසින් ඒ පිළිබඳ නිසි දැනුම් දීමක් සිදු කරන තුරු ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙසද ඔහු දැනුම්දෙයි.
එමෙන්ම ගංවතුර බලපෑ ප්‍රදේශවල ළිං සුද්ධ පවිත්‍ර කිරීමෙන් තොරව, එම ජලය පානයෙන් වළකින ලෙසත්, එමගින් සෞඛ්‍ය ගැටලු රැසක් මහගරවා ගත හැකි බවත් අධ්යක්ෂ ජනරාල්වරයා දැනුම්දෙයි.
කෙසේනමුත් මෙහි වක්‍ර බලපෑම තවදුරටත් ලංකාවට පවතින බැවින් දිවයින තුළ සහ අවට මුහුදු තීරයේ සුළගේ වේගය පැයට කි.මි 60-70 දක්වා ඉහළ යාමේ තත්ත්වයක් පවතින බවත්, තද සුළං සමග මුහුද රළුවීමේ හැකියාව පවතින බැවින් අද දිනයේද ධීවර සහ නාවික කටයුතුවලින් වළකින ලෙසත් ඔහු ප්‍රකාශ කරයි.
මෙම වක්‍ර බලපෑමද නොවැම්බර් 30 වැනිදා වනවිට දිවයිනෙන් බැහැර වනු ඇති බවත්, ඉන් පසුව සාමාන්‍ය කාලගුණික රටාවක් ඇතිවනු ඇති බවත්, එවිට සාමාන්‍යයෙන් සවස් යාමයේ හෝ රාත්‍රි කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි නිර්මාණය වන තත්ත්වයක් පැවතිය හැකි බවත් අධ්යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.(PMD)