ලුණුවිල හෙලිකොප්ටර් අනතුරෙන් මියගිය වින්ග් කමාන්ඩර් නිර්මාල් සියඹලාපිටිය වසර 20කටත් වඩා සේවා කාලයක් ඇති දක්ෂ ගුවන් නියමුවෙකි.
ඔහු වෙන්නප්පුව ලුණුවිල ප්‍රදේශයට ගුවන් යානය පදවාගෙන ගියේ එම ස්ථානයේ විපතට පත්වී සිටි ජනතාවට ගුවනේ සිට ආහාර ලබාදී තවත් ස්ථානයකට යෑමට වුවත් හදිසියේ ඇතිවූ කාර්මික දෝෂයක් නිසා ඔහු එහි රැස්ව සිටි ජනතාවටත් හානියක් නොවන පරිදි බෙල් 212 හෙලිකොප්ටර් යානය ආරක්ෂිත ස්ථානය වන ගිං ඔයට පහත් කිරීමට ගොස් අනතුරට පත්වීමෙන් ඔහුගේ ජීවිතය අහිමි වෙන්නට ඇතැයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කැප්ටන් එරන්ද ගීගනගේ පැවසීය.
මෙම අනතුර සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා උසස් නිලධාරියෙක් ඇතුළු නිලධාරීන් 09 දෙනකුගෙන් යුත් කමිටුවක් ගුවන් හමුදාපතිවරයා විසින් පත්කර තිබෙන බවද හෙතෙම පැවසීය.
වෙන්නප්පුව ජෝශප් වාස් විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා 2005 වසරේ ගුවන් හමුදාවට බැඳුණු වින්ග් කමාන්ඩර් නිර්මාල් වසර 20කට වඩා සේවා කාලයක් මෙන්ම ගුවන් පියාසර පැය 3000කට වඩා පියාසර කළ දක්ෂ ගුවන් නියමුවෙකි. 41 හැවිරිදි වියේ පසු වූ ඔහු බෙල් 212 හෙලිකොප්ටර් යානයෙන් සහාය නියමුවා සහ තවත් තිදෙනකු සමග ගුවන්ගත වන්නේ පෙරේදා (30දා) සවස 5.40ට පමණය.
වීඩියෝ කරමින් පැමිණි පිරිස ඉවත් කරගන්න හෙලිකොප්ටරයේ පිරිස වෑයම් කරන අයුරු කැමරාවේ මෙලෙස සටහන්ව ඇත.
දින කිහිපයක් තිස්සේ විපතට පත් ජනතාව මුදාගැනීමට සහ ඔවුන්ට ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ ලබාදීමට ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා 09ක් යොදා තිබූ අතර ඉන් එක් යානයක ප්‍රධාන නියමුවා ලෙස කටයුතු කළේ නිර්මාල් සියඹලාපිටිය ය.
ඔහු ඇතුළු කණ්ඩායමට පැවරී තිබුණේ ලුණුවිල ප්‍රදේශයට සහ තවත් ස්ථාන කිහිපයකට ආහාර ලබාදීමටය.
මෙම හෙලිකොප්ටර් යානයෙන් රැගෙන ගිය ආහාර පාර්සල් අඩි 75ක පමණ උසක සිට බිමට මුදාහැර නැවත වෙනත් ස්ථානයකට යෑමට උත්සාහ කළ අවස්ථාවේ හෙලිකොප්ටරයේ ඇති වූ හදිසි කාර්මික දෝෂයක් නිසා එය අනතුරට පත්වන්නට ඇති බවට සැකකරන බවත්, ඒ සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයෙන් පසු අනතුර පිළිබඳව නිශ්චිතව ප්‍රකාශ කිරීමට හැකිවනු ඇතැයි ද ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගීගනගේ කීය.
මියගිය සියඹලාපිටිය වෙන්නප්පුව ප්‍රදේශයේම ඉපිද වෙන්නප්පුව ජෝශප් වාස් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා අයහපත් කාලගුණයෙන් එම ප්‍රදේශයේම විපතට පත් ජනතාවට සේවය කිරීමට ගොස් ජීවිතය අහිමිවීම දෛවයේ සරදමක් දැයි කෙනකුට සිතිය හැකිය.
වෙන්නප්පුව කිරිමැටියාන තුලාවල ඔහුගේ ගම් ප්රදේශයයි.
හදිසියේ ජීවිතයෙන් සමුගත් මෙම ගුවන් නියමුවා ගැන සමාජ මාධ්‍ය පුරා සංවේදී සටහන් බොහෝමයක් පළ වී තිබුණි.
මේ එවන් එක් උපුටාගැනීමකි…
පුංචි ..පුතකුගේ ආදරණීය පියකු වූ නිර්මාල්
DITWA සුළි කුණාටුව නිසා
තම …ජීවිතය අකල් හි පූජා කල
ශ්‍රී ලාංකිකයන් අතරට
ඊයේ දිනයේදී එක්වුවේ
මිල කල නොහැකි ශ්‍රී ලාංකික
ගුවන් නියමුවරයෙක් ලෙස ..
රටේ හදවත් තුල
නොමැකෙන සිහිවටනයක් තබමින්…
රටේ සෑම ප්‍රදේශයකම වෙසෙන විශාල පිරිසක් මේ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින අතර මෙය මෑතක දී ශ්‍රී ලංකාවට බලපෑ දරුණු වැසි තත්ත්වයක් බවට කාලගුණ අංශ පෙන්වා දෙයි.
මෙවැනි තත්ත්වයක දී තම දිවි දෙවැනි කොට පීඩාවට පත්ව සිටින ජනතාව බේරාගැනීම වෙනුවෙන් ඉදිරිපත්ව සිටින පිරිසට ජාතියේ ගෞරවය නොමඳව හිමිවිය යුතුය. පීඩාවට පත්ව සිටින ජනතාව නිරුපද්‍රිතව බේරා ගනිමින් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඉටුකරන කාර්යය සුළුපටු නොවේ.
මෙලෙස ශ්‍රී ලංකාවට බලපා තිබෙන අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාව බේරා ගැනීමේ අරමුණ ඇතිව පියාසර කළ බෙල්- 212 හෙලිකොප්ටර් යානය පෙරේදා (30) වෙන්නප්පුව, ලුණුවිල පාලම ආසන්නයේ දී අනතුරට ලක්විය. ඒ අවස්ථාවේ මේ හෙලිකොප්ටර් යානයේ ප්‍රධාන නියමුවා වශයෙන් කටයුතු කළේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු පළපුරුදු නියමුවෙකු වන වින්කමාන්ඩර් නිර්මාල් සියඹලාපිටිය මහතායි. ඔහු සමඟ තවත් නියමුවෙක් හා සෙසු නිලයන් තිදෙනෙක් මේ ගුවන් චාරිකාවට එක්විය.
කෙසේ වෙතත් අවාසනාවන්ත ලෙස ප්‍රධාන නියමුවා වශයෙන් කටයුතු කළ වින්කමාන්ඩර් නිර්මාල් සියඹලාපිටිය මහතා එම ගුවන් අනතුරින් ජීවිතක්ෂයට පත්විය. ලක්වාසී ජන හදවත්වල නොමැකෙන සිහිවටනයක් තබමින් ඒ මහතා මියගියේ ව්‍යසනකාරී තත්ත්වය හේතුවෙන් තම ජීවිතය ශ්‍රී ලාංකික ගුවන් නියමුවෙක් ලෙසය.
2005 වසරේ ජූලි මස 6දා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එක්ව තිබෙන වින්කමාන්ඩර් නිර්මාල් සියඹලාපිටිය මේ වන විට සම්පූර්ණ කර තිබෙන පියාසර පැය ගණන 3000කි. ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතුව සිටි අත්දැකීම් රැසකින් සමන්විත පළපුරුදු නියමුවෙක් වන වින්කමාන්ඩර් නිර්මාල් සියඹලාපිටිය දේශීය වශයෙන් මෙන්ම විදේශීය වශයෙන් ද පුහුණුව ලබා තිබේ. දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම්වල රාජකාරි කටයුතු සිදුකර තිබෙන ඔහු තම වෘත්තීය ජීවිතයේ කැපවීමෙන් කටයුතු කර තිබේ.
විසි වසරක කීර්තිමත් වෘත්තීය ජීවිතයේ ඔහු VVIP කපිතාන්වරයකු සහ මාස්ටර් ග්‍රීන් ශ්‍රේණිගත නියමුවකු ලෙස කටයුතු කර තිබෙන අතර බෙල් 412, බෙල් 212, Mi-17 සහ ජෙට් රේන්ජර් ගුවන් යානාවල නියමුවකු ලෙස කටයුතු කර ඇත. මිය යනවිට ඔහු ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කඳවුරේ අංක 4 හෙලිකොප්ටර් බලගණයේ සේවය කර තිබේ.
ජාතික ආරක්ෂාව සහ මානුෂීය මෙහෙයුම් සඳහා ඔහු දැක්වූ දායකත්වය වෙනුවෙන්, වින්කමාන්ඩර් සියඹලාපිටියට නැඟෙනහිර මානුෂීය ව්‍යාපාර පදක්කම, උතුරු මානුෂීය ව්‍යාපාර පදක්කම, විදේශ සේවා පදක්කම සහ එක්සත් ජාතීන්ගේ පදක්කම – දකුණු සුඩානය යන සම්මාන හිමිකරගෙන තිබෙන අතර මෑතක දී දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ විනාශකාරී ගංවතුරෙන් පසු මානුෂීය ආධාර සහ ආපදා සහන මෙහෙයුම්වලදී, ඔහු ධෛර්යයකින් යුතුව රාජකාරියේ යෙදී සිටියේය.
වෙන්නප්පුව ශාන්ත ජෝසප් වාස් විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයකු වූ වින්කමාන්ඩර් නිර්මාල් සියඹලාපිටිය මහතා එක්දරු පියෙකි. ඔහුගේ දේහය නො. 110, නව ගුවන් තොටුපොළ පාර, රත්මලාන ලිපිනයේ පිහිටි නිවෙස වෙත රැගෙන ඒමට නියමිතයි.