ලංකාවට දැනට දුන්න ජාත්‍යන්තර හයිය මෙන්න

unnamed (8)

‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ශ්‍රී ලංකාවට පළමුවෙන් ශ්‍රී ලංකාවට මානුෂීය ආධාර ලබා දීමට ඉදිරිපත් වූයේ, ඉන්දියාව සහ පකිස්ථානය යි.විපතට පත්වූ පිරිස් මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා මෙරටට ළඟා වී තිබූ ඉන්දීය යුද්ධ නෞකාවක් වන INS වික්‍රාන්ත්හි තිබූ චෙටක් වර්ගයේ හෙලිකොප්ටර් යානා දෙකක් පළමුව යෙදවීමට ඉන්දියාව පියවර ගත් අතර, INS වික්‍රාන්ත් සහ INS උදයගිරි යන නෞකා මගින් ටොන් 09කට ආසන්න අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොගයක් ද මෙරටට දුන්නේය.නොවැම්බර් මස 29 වන දා රාත්‍රියේදී C-130 J වර්ගයේ ඉන්දීය ගුවන් හමුදාවට අයත් යානයක් කටුනායක ගුවන් තොටුපොළට ළඟා වූයේ, ටොන් 12කට ආසන්න මානුෂීය ආධාර දුන් අතර, IL-76 වර්ගයේ ඉන්දීය ගුවන් හමුදා යානයක් මගින් මෙට්‍රික් ටොන් 09ක මානුෂීය ආධාර, ඉන්දීය ජාතික ආපදා ප්‍රතිචාර බළකායේ සාමාජිකයින් 80 දෙනෙකුගෙන් සමන්විත නාගරික සෙවුම් සහ ගලවා ගැනීමේ කණ්ඩායම් 2ක් මෙරටට ඒවීය.

නොවැම්බර් මස 30 වන දා ඉන්දියාව නැවතත් ශ්‍රී ලංකාවට ටොන් 10ක පමණ ආපදා ප්‍රතිචාර සැපයුම්, BHISHM කියුබ් සහ ස්ථානීය පුහුණුව සහ සහය සඳහා වන පස් දෙනෙකුගෙන් යුත් වෛද්‍ය කණ්ඩායමක් රැගත් C130J ගුවන් යානයක් මෙරටට එවීමට පියවර ගෙන තිබිණි.

එමෙන් ම, දෙසැම්බර් 01 වන දා ඉන්දීය නාවික හමුදාවට අයත් සුඛන්යා නෞකාව ටොන් 12කට ආසන්න මානුෂීය ආධාර ලැබිණි. සිය නාවික හමුදාවේ PNS SAIF නෞකාව මගින් ශ්‍රී ලංකා නාවික හමුදාව හරහා ජලගැලීම්වලින් පීඩාවට පත් පවුල්වලට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය එවීමට පකිස්ථානය කටයුතු කළේය.පකිස්ථානයේ PNS SAIF නෞකාවේ ඇති Z-9 වර්ගයේ හෙලිකොප්ටර් යානය ආපදා තත්ත්වයට මුහුණ පා ඇති ජනතාව මුදා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් ලබා දුනි.

ඇමෙරිකා එක්සත් ජනපදය විසින් මෙරට ගං ඉවුරු සවිමත් කිරීම සහ ඉහළ යන ජල මට්ටම් පාලනය සඳහා පොලිසැක් 20,000ක් මෙරටට ප්‍රදානය කළ අතර, විදුලි ජනන යන්ත්‍ර, උඳුන්, ජල බඳුන් සහ කූඩාරම් ආදිය ලෝක ආහාර වැඩසටහන (WFP) මගින් ලබා දීමට නියමිතය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් එවනු ලැබූ ආධාර රැගත් ගුවන් යානා 4ක් මෙරටට ළඟා විය.එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් එම ගුවන් යානා හරහා ශ්‍රී ලංකාවේ විපතට පත් වී සිටින ජනතාව සඳහා තාවකාලික නිවාස, ආහාර ඇසුරුම්, කූඩාරම්, ගලවා ගැනීමේ භට කණ්ඩායම් සඳහා යොදා ගන්නා වාහන, දුෂ්කර මාර්ගවල ධාවනය කළ හැකි යතුරු පැදි, විශේෂ ගලවා ගැනීමේ භට කණ්ඩායමක් සහ වැළලී ඇති මිනිසුන් සෙවීම සඳහා ඉව ඇති සුනඛයින් ද ඇතුළුව භාණ්ඩ විශාල තොගයක් එවා තිබිණි.

ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය ඩොලර් මිලියනය බැගින් වූ මූල්‍ය ආධාර ලබා දී ඇති අතර, නේපාලය ද සහන සැලසීමේ කටයුතු සඳහා ඇමෙරිකානු ඩොලර් 200,000ක දායකත්වයක් දී ඇත.ශ්‍රී ලංකාව වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියනයක මුදල් පරිත්‍යාගයක් සිදුකිරීමට චීන රජය තීරණය කර ඇත. මීට අමතරව චීන යුවාන් කෝටියක් වටිනා ද්‍රව්‍යමය පරිත්‍යාගයක් සිදුකිරීමට නියමිත බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.මාලදිවයින ද ඇමෙරිකානු ඩොලර් 50,000ක ආධාර ලබා දීමට සහ අවතැන් වූවන් වෙනුවෙන් ටූනා මාළු ටින් පෙට්ටි 25,000ක් පරිත්‍යාග කිරීමට ද පොරොන්දු වී ඇත.මාලදිවයිනේ සිටින ශ්‍රී ලාංකික ව්‍යාපාරික ප්‍රජාව දැනට ක්‍රියාත්මක යළි ගොඩනැඟීමේ වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගෙන යාම සඳහා ඇමෙරිකානු ඩොලර් 33,000ක දායකත්වයක් ලබා දී ඇත.

මූලික හදිසි වෛද්‍ය ප්‍රතිකාර පිළිබඳ සමීකරණයක් සිදු කර එම තොරතුරු ජපාන රජයේ සෞඛ්‍ය අමාත්‍යංශය වෙත ලබා දීම සදහා ජපාන විශේෂ වෛද්‍ය කණ්ඩායමක් නොවැම්බර් මස 30 වන දා පැමිණි අතර,ශ්‍රී ලාංකීය ජනතාවට මුහුණ දීමට සිදුවූ ව්‍යසනය පිළිබඳව රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින් සිය සංවේගය පළ කර ඇත.

චීනය, තුර්කිය, කියුබාව, බංග්ලාදේශය, යුරෝපා සංගමය, පලස්තීනය සහ නිකරගුවාව ඇතුළු තවත් රටවල් කිහිපයක් සහ ජාත්‍යන්තර හවුල්කරුවන් රැසක් මෙම ආපදා අවස්ථාවේදී සහ යළි ගොඩනැගීමේදී ශ්‍රී ලංකාව සමග රැඳී සිටින බව පවසයි.